Skip to main content

Follow on YouTube

සාහිත්‍ය රසාස්වාදය 06 - ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01

ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය (ඉගිළෙන සිහින පිටමන් කල නොහැක හිසින් )

"ටෙනිසන්" නම් ඉංග්‍රීසි කවියාගේ "ඊනොන් ආඩ්න්" කාව්‍ය ඇසුරින් ලියැවුණු "සුදෝසුදු" කවි කතාවත් සමග ජනාදරයට පත් වූ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි නමින් පසු කාලයේ පැවිදි දිවියට පිවිසි "කේයස්" නම් අනුවර්ත නාමයකින් ප්‍රසිද්ධියට පත් සාගර පලන්සූරිය කවියා කොළඹ යුගයේ දෙවන කවි පරපුරෙහි සුවිශේෂ කවියෙකු ලෙස සැලකෙයි. 

කාලකණ්ණියා, කැලණි විත්ති, ගොවි පෙරමුණ, විසිවුණු තරු, මල්හාමි යනාදී නිර්මාණ කෘති වල කර්තෘත්වයට හිමිකම් කියන සාගර පලන්සූරිය කවියාගේ ඉගිලෙන සිහින පද්‍ය පන්තියේ තේමාව නම් පක්ෂියෙකුට ඇති ඉගිළෙන සිහිනයයි. කුරුලු පැටවකු තම කැදැල්ලෙන් පිටතට පියාසර කිරීමට සිහින දකින ජීවිතයයි. 

"මිනිහා නගන කටහඬ නො ම වැකෙන කනේ 
 ඇත මේ කුරුලු කූඩුව උස ගහක          බෙනේ
 නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ     වුණේ
 පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස   පෙනේ"

මෙහිදී සාගර පලන්සූරිය කවියා විසින් රචනා කර ඇති ආකාරයට "මිනිහා නගන කටහඬ නො ම වැකෙන කනේ" යනුවෙන් සඳහන් කිරීම මත හැඟී යන්නේ එම කුරුලු පැටවාගේ කුරුලු දෙමව්පියන් තම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරමින් මිනිස් වාසයෙන් තොරව මිනිස් කටහඬක් වත් කනට නොවැටෙන ස්ථානයක ඔවුන්ට ජීවත් වීමට කැදැල්ල තනා ගෙන ඇති බවයි. ඒ මව්පිය සෙනෙහස මිනිසා හෝ සත්වයා කියා අපට වෙන් කළ නොහැකි තරම් වූ ප්‍රබල හැඟීමකි.

"නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ" කවියා මෙම පද්‍ය පන්තිය රචනා කිරීමේදී ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය යොදාගෙන ඇත. ඔහු සදහන් කරන්නේ කුරුලු මවුපියන් ආරක්ෂාකාරීව තම කැදැල්ල තනා ඇති සේම ඔවුන්ට මේ තාක් කල් උවදුරක් කරදරයක් සිදු වුයේ නැති බවයි. නමුත් කවියා පවසන්නේ ළමා මනස ක්‍රියා කරන ආකාරයටම ක්‍රියා කරන කුඩා කුරුලු පැටවාටද කූඩුව තුළ ඇති දේට වඩා වැඩි අවධානයක් පිටතින් පෙනෙන නිල් අහස දෙසට විහිදෙන බවයි. "පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ" යනුවෙන් ව්‍යංගවත්ව රසවත්ව කවියා තම අදහස් පද බැද ඇති ආකාරය පැසසිය යුතුය. 

දෙමාපියන් කුඩා කුරුලු පැටවා ආරක්ෂා කිරීමට වෑයම් දරන්නේ පැටවා ඉපදීමට ද පෙර සිටය. පැටවා ඉපදීමට මත්තෙන් ආරක්ෂාකාරී ස්ථානයක තම කුඩා කැදැල්ල තනා ගත්ත ද, කුඩා කැදැල්ලේ ආදරය උණුහුම ආරක්ෂාව කොතෙක් තිබුණ ද ඒ හැම පරයා පැටවාගේ කුඩා දෙනෙතට හසුවන්නේ නිල් අහස බව කවියා පවසයි. මෙහිදී කවියා විසින් "කුඩා", "නිල්" වැනි ඉතා සරල විශේෂණ පද යොදා ගෙන පද්‍ය පන්තියේ අලංකාර බව තීව්‍ර කර ඇත. 

ඒ අනුව කේයස් නොහොත් සාගර පලන්සූරිය මහතාගේ මෙම පද්‍ය පන්තිය රස විදීමේ දී පෙනී යන්නේ ඔහු මෙම පද්‍ය පන්තිය රචනා කිරීමට සරල සුගම භාෂාවක් හෙවත් සාමාන්‍ය ජනයාට මනාව වැටහෙන බස් වහරක් යොදාගෙන ඇති බවයි.

"උණුසුම් ගතිය ඇතිමුත් සිය     කැදැල්ලෙහි 
 පැටවා කැමති නැත හිර වී         විසිල්ලෙහි
 දෙනෙතට නිල් අහස යොමුවන ඇසිල්ලෙහි 
 ඔහු යෙදෙනවා නිදහස ගැන   සෙවිල්ලෙහි"



මෙම කුඩා කුරුලු පැටවා වෙසෙන කුඩා කැදැල්ලෙහි ආදරය හා උණුසුම නොඅඩුව පිරී ඇත. නමුත් පැටවාගේ සිත ලතැ වෙනුයේ තමාට නොමැති නිදහස් ලෝකය පිළිබඳවයි. ළමා කාලයේ ළමුන්ගේ හැසිරීම ද මෙයම වේ. මවුපියන් දරුවන්ට කොතෙක් තම ආරක්ෂාව සැපයූව ද දරුවන්ටද එය පෙනෙන්නේ මහත් කරදරයක් ලෙසටය. ඔවුන් ඔවුන්ගේ ලෝකය තුළ ජීවිතය ගොඩ නගන විට සිදුවන්නේ ද "පැටවා කැමති නැත හිර වී විසිල්ලෙහි" යන කවි පදය තුළ පවතින්නා වූ අදහස සම දෙයම වේ. 

එසේ ම කවියා සදහන් කරන ආකාරයට කුරුලු පැටවාගේ දෙනෙතට නිල් අහස දිස් වන විට ඔහු තම කුරුළු කූඩුව තුළ නැති නිදහස සෙවීමට පටන් ගනී. ළමුන්ගේ චර්යා මෙන්ම සත්ව ලෝකයේ පැටවුන්ගේ චර්යාවල ද වෙනසක් නැති බව මෙයින් ගම්‍ය වේ. මවුපියන්ගේ රැකවරණ වලින් ටික වේලාවකට හෝ ඈත් වූ විට නිදහස සොයන ළමා මානසිකත්වය මනාව වටහා ගනිමින් කවියා මෙම පද්‍ය පන්තිය රචනා කර ඇත.

"මව්පිය කුරුල්ලන් රැකවරණය       ඇතුව 
 උන්ගේ ආලයේ වෙසෙතත්          ගජමුතුව
 පැටවගෙ දෙනෙත පවතී කවදත්      රතුව
 සැපතක් ඔහුට නැත ඉගිළෙන්නට නැතුව"


"දවසට සිය විටක් මවු පිය දෙදෙනෙ     විසින්
 කටට ම හෙළන මුත් ආහර කුරුලු        රසින්
 පිට වන තුරා ඔහු හිර වී සිටින             ගසින් 

 ඉගිළෙන සිහින පිට මං කළ නොහැක හිසින්"

කේයස් කවියා විසින් රචනා කරන ලද ඉගිලෙන සිහින යන මෙම පද්‍ය පන්තියේ කුරුලු පැටවා කෙරෙහි මවුපියන් තුළ ඇති අසීමිත ආදරයේ තරම "දවසට සිය විටක්" යනුවෙන් රචනා කිරීමෙන් ම අපට වටහා ගත හැකිය. දවසට සිය වතාවක් පමණ තම කුරුළු පැටවාට ඒ කුරුලු මවුපියන් ආහාර රැගෙන ඇවිත් "කටට ම හෙළන මුත් ආහර කුරුලු රසින්" මවුපියන්ගෙ එම ආදරයේ මහිමය කොතරම්ද නම් ආහාර සොයාගෙන විත් කුරුලු පැටවාගේ කටටම හෙලයි. තුරුණු සිතුවිලි කුතුහලය සමඟ සම්මිශ්‍ර වූ කුරුලු පැටවා මව්පිය සෙනෙහස ආරක්ෂාව පරදවා තම කැදැල්ලෙන් පිට වීමට දරන තැත සාගර පලන්සූරිය කවියා "පිට වන තුරා ඔහු හිර වී සිටින ගසින්" යැයි මනාව පෙන්වා දෙයි. 

මව්පිය සෙනෙහස ආරක්ෂාව කෙතරම් ප්‍රබල වුවද "ඉගිලෙන සිහින පිටමං කළ නොහැක සිතින්". සෑම දරුවෙකුට ම තම මවුපියන්ගේ ආදරය කෙතරම් ප්‍රබල වුවද තමාගේ ඉගිලෙන සිහින පිටමං කළ නොහැකි බව කවියා අපූර්වත්වයෙන් පෙන්වා දී ඇත. 

කවියා සදහන් කරන ආකාරයට"උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව" යනුවෙන් පැවසීමෙන් නිතැතින්ම අපට එම කුරුලු දෙමාපියන්ගේ ආදරය පිළිබඳව හැගීමක් ඇතිවේ. 

නමුත් කෙතරම් එම මව්පිය සෙනෙහස ප්‍රබල වුවද "පැටවගෙ දෙනෙත පවතී කවදත් රතුව" යන්නෙන් කුඩා කුරුලු පැටවාගේ සිහිනය නම් කැදැල්ලෙන් පිටත ඇති නිල් අහසේ රිසිසේ පියාසර කිරීමට බවත් මව්පිය සෙනෙහස උණුසුම මැද විසුවද කුරුලු පැටවාගේ දෙනෙත් රතුව පවතන බවත් ප්‍රකාශ කරන කවියා ව්‍යංගාර්ථයෙන් පෙන්වා දෙන්නේ පැටවා හඩන බවයි. දුක්වන බවයි. 

"සැපතත් ඔහුට නැත ඉගිලෙන්නට නැතුව" කුරුලු පැටවා තුරුණු වියට පත්ව පියාපත් සවිමත් වූ පසු ඔහුට අවැසි වන්නේ පියාසර කිරීමට බව ද එයින් එහා සැපතක් නැති බව ද කවියා තවදුරටත් පෙන්වා දී ඇත. සිව්පද ආකෘතියෙන් පද්‍ය පන්තිය රචනා කරමින් එළිවැට සහ එළිසමය මනාව ගලපමින් කේයස් කවියා මෙම කවි පෙල අලංකාරවත් ලෙසට රචනා කර ඇත.

මිනිසා ද ඇතුළු සියලු සත්ත්වයෝ නිදහසට ප්‍රිය වෙති. ඇලුම් කරති. ඒ නිදහස දිනා ගැනීම සදහා තරග කරති. සාගර පලන්සූරිය කවියා පද්‍ය පන්තිය තුළින් නිරූපිත එම අත්දැකීමේ පොදු බව රසික සිත් ස්පර්ශ කිරීමට අතිශය හේතු සහගත වන්නට ඇත. නිදහස භුක්ති විඳීමට ඇති ආශාව අන් කිසිවකින් මැඩ පැවැත්වීමට නොහැකිය. ඒ කුරුලු පැටවා අපට උගන්වන පාඩම එයයි. 


- උත්තරා රාජපක්ෂ - 




=============================

උසස් පෙළ විචාර ලයිස්තුව

>> සඳකිඳුරු දා කව විචාරය 01

>> පූජාවලිය විචාරය 01

>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01

>> ස්නේහය කෙටිකතා විචාරය 01

>> නැළැවිල්ල පද්‍ය රසාස්වාදය 

>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01

>> පොඩි දුව පද්‍ය රසාස්වාදය

>> අබිනික්මන රසාස්වාදය 01

>> වෙසක් පහන කෙටිකතාවේ විචාරය 

>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01

>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මරත්නාවලිය විචාරය 01

>> රන් තැටියක කදුළු රසාස්වාදය

>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01

>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01

>> බැද්දේගම නවකතා විචාරය 02

>> බැද්දේගම නවකතා විචාරය 03

>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01

>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)

>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 01

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 02

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 03

>>පෙමතො ජායතී සෝකෝ විචාරය 04

>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01

>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02

>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01

>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02

>> කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03