Skip to main content

Follow on YouTube

සාහිත්‍ය රසාස්වාදය 07 - අබිනික්මන රසාස්වාදය 01

අබිනික්මන (නූතන පද්‍ය) රසාස්වාදය 

නිසඳැස් කවියේ මුල් පරපුරේ පුරෝගාමියෙකු වූ සිරී ගුනසිංහයන් ප්‍රකට කවියෙකි. ඔහු විසින් රචිත අබිනික්මන පැදි පෙළ ඉතා අලංකාර පද්‍ය නිර්මාණයකි. මහ බෝසතාණෝ රාහුල කුමරු උපන් දා කන්ථක අසුපිට නැගී ඡන්න ඇමතියාගේ ද සහාය ඇතිව නේරංජනා ගඟ තරනය කළාහු ය. එය වනාහි සකල ලෝක වාසී සත්වයන් කෙරෙහි ඇති කරුණාවෙන් කරන ලද අබිනික්මනය කි. එනම් ගිහි ගෙය හැර දා යාමකි.

බෞද්ධයන් අතර ප්‍රකට කතා පුවතක් වන මෙම සිදුහත් කුමරුගේ මහා අබිනික්මන තේමාව කර ගෙන මෙම පැදි පෙළ නිර්මාණය කොට ඇත. එම ප්‍රසිද්ධ කතා පුවත තේමා කොට ගත්තද මෙහිදී කවියා එම සිදුවීම දකින්නේ බුද්ධිමය අයුරිනි. ඒ අනුව අපූර්ව ලෙස පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇති අතර කවියා ස්වකීය පැදි පෙළ බුද්ධිගෝචර සාහිත්‍ය අංගයක් ලෙස පාඨකයාට ලබාදෙයි.

වෙනත් කවීන්ට සුලබව හසු නොවන අපූර්ව සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය කරන ලද අබිනික්මන පද්‍ය පන්තිය තුළ සිරී ගුනසිංහයන් කෙතෙක් දුරට සාර්ථක වී ඇති දැයි පද්‍ය පන්තිය ඇසුරින් විමසා බලමු.

"දුර බැහැර ගමනක්ය 
 දුක් පිරුණු ගමනක්ය 
 අදුරකින් අදුරකට 
 මාරු වුණු ගමනක්ය"

කවියා ස්වකීය පැදි පෙළ දිගහැර දක්වන්නේ නිදහස් කවියට තරමක් වෙනස් කාව්‍යමය බස් වහරක් උපයෝගී කොටගෙන බුදුදහමේ සාසනික සිදුවීමක් සිහිගන්වමිනි. සිදුහත් කුමරුගේ අබිනික්මන සිදු වූයේ ලෝකෝත්තර සැප සම්පත් පතා ලෞකික සැප සම්පත්වල නිසරු බව අවබෝධ කරගෙන සිදු කල ගමනක් වශයෙනි.

එය සියලු සැප සම්පත් බැදීම් යන සියල්ල අතහැර ගිහි දිවියෙන් නික්ම යාමකි. එහෙත් සිරී ගුනසිංහයන්ගේ අබිනික්මන ඊට වඩා වෙනස් වූවකි. එය ලෝකෝත්තර සැප පතා තමා ජීවත් වූ තැනින් තාවකාලිකව මිදීමකි. එය අදුරකින් අදුරකට මාරු වූ ගමනක් ලෙස කවියා පවසයි. එය දුක පිරුණු දුර බැහැර ගමනකි. ලෞකික සුවය හැර දමා බුද්ධිය අනුව යමින් කටුක ජීවිතයක් ගෙන බුද්ධිය පසුපස යාම අපූරු කාව්‍යෝක්තියකින් ගෙන හැර දක්වන්නේ "අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක්ය" යනුවෙනි. කවියා අදුරේ ගිය බව එනම් තමා වැරදි තීරණයක් ගෙන ඇති බව පාඨකයාට සිතිය හැකිය. එනම් එය තමා ගෙවූ දිවියට වඩා දුෂ්කර වූවක් හෝ දුක්බර වූවක් ලෙස ද සිතිය හැකිය. 

"අඳුර සමඟ පොර බදමින්
 විඩාවෙ හඬ නිහඬ කරන්
 සැලෙන මසේ හති පෙරමින්"

කවියා අඳුර සමග පොර බදිමින් වෙහෙස යටපත් කර ගෙන හති දමමින් දුක් මහන්සියෙන් ළගා වීමට උත්සාහ කළේ නේරංජනාවෙන් එගොඩ ඇති ආලෝකය වෙතටය. එහිදී ඔහුට බුද්ධිමය ආලෝකයක් ලැබුණත් එය හුලුඅත්තක එළිය සේ සංක්‍ෂිප්තය. එය මොහොතකින් අදුර විසින් නැවත වසා දමයි. එගොඩ ඇති ආලෝකය කවියා විසින් සලකන්නේ සිහිනයක් ලෙසයි. "සිහිනයක් ඇත එගොඩ සුදු සිනාවෙන් පිරුණ" එම සිහිනය වෙත යාමට කවියා උත්සාහ කරන බවත් එය යහපත් හොඳ එකක් බවත් පාඨක සිත් තුළ ඇති කරන්නේ "සුදු" යන වචනය හරහා ය. මේ තුළ අපට සිතිය හැක්කේ තමා ගෙවූ දිවියෙන් මිදී ගත කල දිවියට වඩා හොද යහපත් දිවියක් වෙත යාමට උත්සාහ කරන බවයි.

"එළිය සොයන මට පාර පෙන්නුවේ 
 අන්ධකාරයයි 
 මේ ගඟ අයිනට"

ජීවිතයේ සුන්දර යහපත් දේට වඩා අයහපත් අසුන්දර දේ මගින් ජීවිතය සාර්ථක කර ගැනීමට බොහෝ ආදර්ශයන් ලබා දෙන අතර ඒ තුළ සාර්ථක ජීවිතයක් ගොඩ නැගීමට හැකි වේ. අන්ධකාරය යම් කෙනෙකුන් ආලෝකය කරා යොමු කරවයි. කවියා විසින් අන්ධකාරයේ සිට ආලෝකය සොයන විට අන්ධකාරය විසින් ගඟ අයිනට ගෙනැවිත් දමයි. එනම් අදුර ආලෝකයට මග පෙන්වයි. මේ නේරංජරා නම් ගඟ සිදුහත් කුමරුගේ ලෞකික හා ලෝකෝත්තර ලෝක දෙක වෙන් කරන ප්‍රබල සංකේතයක් වෙයි. මෙහිදී සදහන් කල යුතු කරුණක් නම් කෙනෙක් සතුටින් යහපත් සුන්දර ජීවිතයක් ගත කරයි නම් කිසි විටෙක ඔහුට ජීවිතයට එන අභියෝග මෙන්ම අත්දැකීම් කිසිවක් ලබා ගත නොහැකිය. ඒ සියල්ල ඔහුගෙන් මග හැරී යයි.

කවියා අනතුරුව ගෙනහැර දක්වන්නේ තමා සියලුම ලෞකික සැප සම්පත් හැර දමා කාටත් රහසේ බාධක මැඩගෙන නික්ම යාමට දැඩි උත්සාහයක් ගෙන ඇති බවයි. 

"මගේ මුළු ජීවයම හැර දමා
 මැදියමේ 
 නේරංජනාවෙන්
 එගොඩ වී යන්නටයි 
 මා මෙතෙක් දැගලුවේ"

ඉහත දක්වා ඇති අවස්ථා ඊට කදිම නිදසුනකි. බුද්ධිය ලබාගැනීමට ඔහු ගත් වෙහෙස කොපමණ ද යන්න "මෙතෙක් දැඟලුවේ" යන කාව්‍යෝක්තිය මගින් විෂද කරයි.

ලෞකික ජීවිතයේ නිසරු බව කවියා අවබෝධ කළ අයුරු මෙම පැදි පෙළ පුරාවටම ඉස්මතු කර දක්වන්නට කවියා උත්සාහ ගනී. පහත දැක්වෙන අවස්ථා ඒ සදහා කදිම නිදසුන්ය.

"ජීවිතය ගොරවමින් 
 කෙල පෙරා නිරුවතින් 
 වැතිර ගෙන සිරි යහන පල්ලේ 
 ගුලිව කුනු පනුවන් ගොඩක් සේ"

සිදුහත් බෝසතාණන් වහන්සේ සිය බිරිඳ සිය කුළුදුල් උපන් පුතු හැර දමා ගිහි ගෙයින් නික්මීමට පෙර යශෝදරාවන් සහ රාහුලයන් නිදාසිටින කුටියෙහි දොර විවෘත කර බලා නික්ම ගිය බව අප සියල්ලෝම දන්නා සිදු වීමකි. එසේ යාමට පෙර සිදුහත් කුමරු දකින්නේ අන්තඃපුර ස්ත්‍රින් ගොරවමින් කෙල පෙරා ගෙන නිරුවත්ව සිරියහන් පල්ලේ වැතිර සිටින අයුරුය. එසේ දුටු පසු ජීවිතය කල කිරෙයි. කුමරු ගිහිගෙය හැර යාමට බලපෑ තවත් එක් සිදුවීමක් ලෙසට මෙම අවස්ථාව සැලකිය හැකි අතර කවියා මෙම සිදුවීම අපූර්ව ලෙස සිහි ගන්වයි. ඒ සදහා කවියා මෙහිදී උපමාවකින් සංකල්ප රූප නංවන්නේ "ගුලිව කුණු පනුවන් ගොඩක් සේ" යනුවෙන් අපූර්ව භාෂාවක් යොදාගනිමිනි.

"නිදන අන්තඃපුරය හැර දා
 බිරිය හැර දා පුතු ද හැර දා
 ආ නමුත් මැදියමේ 
 ඒ මගේ එක ජීවයයි"

කවියාට කිසි විටෙකත් බුදුන් වහන්සේගේ අතීත කතාව පැවසීමේ අවශ්‍යතාවය නොතිබුණ කවියා එම කතාව ද පවසයි. සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යන්නේ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ආ යශෝදරාවට නොපවසා ඇය නිදා සිටින විටයි. තවද තම ලෙයින් මෙලොව එළිය දුටු රාහුල කුමාරයා ඉපැදි දිනයේම ඔවුන් දෙදෙනා හැර දමා යාමට සිදු විය. එය දරාගත නොහැකි දුකකි. කවියාට ද අදුරෙන් අදුරට ගිය ගමනේ මෙවැනිම දුකක් තිබූ නිසා කවියා මෙම අවස්ථාව යොදා ගත් බව ද පාඨකයාට සිතිය හැකිය. සිදුහත් කුමරුගේ සිත් තුළ ඇතිවූ චෛතසික ගැටුම බුද්ධි ගෝචරව මවාපාන කවියා "නිදන අන්තඃපුරය හැර දා" යන රූපකාර්ථවත් වදනින් ගෙනහැර දක්වන්නේ තම සුපුරුදු මාලිගා හැර දමා යාමට වී ඇති බවයි. සිය බිරිද, පුතු හැරදා යාම එවක ජීවයක් හැර යාමක් ලෙස කවියා මැනවින් විෂද කරනුයේ "ඒ මගේ එක ජීවයයි" පදය හරහා යි.

කවියා පද්‍ය පන්තිය සදහා යොදාගෙන ඇත්තේ නිසඳැස් ආකෘතියයි. ඉහත උදාහරණ තුළින්ද දැක්වෙන පරිදි නිසඳැස් ආකෘතිය කවියාගේ සිතුවිලි පාඨකයා වෙත අව්‍යාජත්වයෙන් තොරව සමීප කරවීමට බෙහෙවින් ඉවහල් වී ඇත.

පද්‍ය පන්තිය තුළ කතා නායකයෙකු විසින් පද්‍ය පන්තිය පාඨකයා වෙත ඉදිරිපත් කරයි. එය කවියාගේ අත්දැකීමක් යැයි කියාද පාඨකයාට සිතිය හැකිය. ඒ අනුව යොදාගෙන ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයයි.

"එළිය සොයන මට පාර පෙන්නුවේ
 මගේ මලු ජීවය ම හැර දමා මැදියමේ
 මා මෙතෙක් දැගලුවේ 
 ඒ මගේ එක ජීවයයි 
 හැර දමා අමි මම
 මා ඉලිප්පුනු නිසා"

මෙම පාඨයන් තුළින් ඒ බව සනාථ වෙයි.

එසේම උපමා යොදා ගනිමින් අපූර්ව ලෙස පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇති ආකාරය දැකගත හැකිය.

"කලා මැදිරියෙක් මෙන්"

"කුණු පනුවන් ගොඩක් සේ"

"අලුයම කෙල ලෙසින්" 

තවද පද්‍ය පන්තිය තුළ ප්‍රභල රූපක භාවිතයක් දැකිය හැකිය. විඩාවෙ හඬ, පඩිහුලු අත්තෙන්, අවිද්‍යා ආකාශයේ, ජීවිතයේ හිස, හදවත කුලිදු ඇස් ආදිය උදාහරණ වෙයි.

පද්‍ය පන්තිය තුළ ප්‍රභල සංකේත භාවිතයක්ද කර ඇත්තේ මෙසේය.

"අඳුර නේරංජනාව" 

"මැදියට සුදු"

"එළිය"

තවද , කාව්‍යාත්මක යෙදුම් හරහා පද්‍ය පන්තිය රස විදින පාඨකයාහට රසයක් ලබා දෙයි.

"සිහිනයක් ඇත එගොඩ"

"සුදු සිනාවෙන් පිරුනු"

"ජීවිතය ගොරවමින්"

"කෙල පෙරා නිරුවතින්"

එම කාව්‍යාත්මක යෙදුම් හරහා පද්‍ය පන්තිය තුළ රිද්මයානුකූල බවක් ඇති කිරීමටද කවියා සමත්ව ඇත.

"දුර බැහැර ගමනක්ය"

"දුක පිරුනු ගමනක්ය"

"නේරංජනාවෙන් යා යුතුය" මේ පාඨයන් තුළින් ඒ බව පැහැදිලි වේ.

ශබ්ද රසය ලබාදෙන ප්‍රධාන කාව්‍ය උපක්‍රමයක් ලෙස අනුප්‍රාස යෙදුම් පෙන්වාදීමට හැකිය.

"අදුරකින් අදුරකට"

"විඩාවෙ හඩ නිහඩ කරන්"

"එගොඩ ගොඩ ගොඩ නැගී"

එම අනුප්‍රාසය භාවිතය තුළ රස ගැබ් කිරීමට ද සිරී ගුනසිංහයන් නිරායාසයෙන්ම සමත්කම් පා ඇත.

ඒ අනුව වෙනත් කවීන්ට හසු නොවූ වෙනස් සිදුවීමක් ගැඹුරින් පාඨකයා වෙත ගෙන එන අතර ඒ තුළින් වටිනා පණිවුඩ රැසක් ලබා දෙයි. එහිදී සිරී ගුනසිංහයන් මෙම පද්‍ය පන්තිය නිර්මාණය කිරීමේ ලා බෙහෙවින් සමත් ය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල