Skip to main content

Follow on YouTube

සාහිත්‍ය රසාස්වාදය 09 - පොඩි දුව පද්‍ය රසාස්වාදය

පොඩි දුව පද්‍ය පන්තිය රසාස්වාදය (කෑම බීම උයා පිහා මං දරදිය අදින කලට 🥲)

දස මසක් ඇවෑමෙන් මෙලොවට ජනිත වන කිරිකැටි බිළිදා තම සුරතට ගත් මවක් නැළවිලි ගී ගයයි. මවගේ රතු ලේ කිරි බවට පත් කරවන මේ බිළිදා පුංචි දණ පොඩියට වාරු ගෙන දෑතින්ම සවි ගෙන අනාගතයට දිව යයි. වැටි වැටී පා ඔසවයි. කෙමෙන් කෙමෙන් සමාජයට යයි. මේ රටක අනාගතයයි. එහෙයින් දරුවා රටක ඉදිරි පැවැත්මයි. එම නිසා අප අපගේ අනාගතය සුරක්ෂිත කළ යුතුය. 

ලාංකික සමාජය තුළ දරුවන් සුරක්ෂිත කිරීමේ අරමුණින් සමාජයේ පවතින ගැටලුවක් පෙන්වාදීමේ පියවරක් ලෙස පද්‍ය සාහිත්‍ය වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉටුකළ පද්‍ය සාහිත්‍යයේ එකම කිවිදිය සේ සැලකෙන මොනිකා රුවන්පතිරණ විසින් "පොඩි දුව" නමින් මෙම පද්‍ය පන්තිය නිර්මාණය කරන්නට විය.

දරිද්‍රතාවයෙන් පීඩිතව කුඩා කළ ම මෙහෙකාරියක් ලෙස ගිය ලසී නම් දැරියක තම මෙහෙකාර ජීවිතේ ඇති කටුකත්වය මවට ප්‍රකාශ කරන අයුරින් මෙම පොඩි දුව පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත්තේ පාඨක සිතට අනුකම්පාවක් ඇති වන ආකාරයෙනි. එලෙස නිර්මාණිත පොඩි දුව පද්‍ය පන්තිය තුළ මොනිකා රුවන්පතිරණ කිවිදිය කෙතෙක් දුරට සාර්ථක වී ඇද්දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු.

" පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර
 මතකද අමිමේ උබ මට ඇමතුවෙ පොඩි දුවේ කියල
 ජීවිතයේ පළමු වරට තනිවුනු කළ ඈත රටක
 එහි මිනිසුන් හුඟ දෙනෙක් ම මට කීවේ ලිසි කියල"

මවක හා දුවක අතර වන උතුම් මානව බැදීම අකාරුණිකව බිද හෙලීමට තරම් දරුණු දුප්පත්කම, පන්ති භේදය, සමාජ අසාධාරණය විවේචනය කරමින් පොඩි දුව පද්‍ය පන්තිය ආරම්භ කරයි. පවුලක වැඩි බර දරන්නේ දූවරුන් ය. තම පවුලේ ඇති ආර්ථික ගැටලු ආදිය නිසාවෙන් කුඩා වයසේදීම කුඩා දැරියන් නිවසෙන් පිට කරනුයේ තම පවුලේ බර අඩු කිරීමේ අභිප්‍රායෙනි. පොඩි දුව පද්‍ය ‍පන්තියේ ලිසි ද එලෙස නිවසින් පිටව යයි. මෙහෙකාර සේවය ඉතා අපහසු වූ කාර්යයකි. එලෙස මෙහෙකාරියක් ලෙස ඈත රටක තනිවී සිටින ලිසීට තම නිවස සිහිවන්නේ තම මව තමාට "පොඩි දුව" යැයි ආමන්ත්‍රණය කරන ආකාරය සිහි වෙමිනි. දරුවන් තමන්ගේ නිසි වයස සපිරෙන තෙක් සිටිනුයේ තම දෙමාපියන්ගේ ආරක්ෂාව රැකවරණය තුළය. 

එහෙත් මෙම අවස්ථාව ධනවත් පවුල්වල දරුවන්ට ලැබුණද දුප්පත් ජනයාගේ දරුවන්ට මෙම අවස්ථාව බොහෝවිට අහිමි වේ. මේ සඳහා ප්‍රධාන ලෙස ආර්ථික අර්බුදය නිසා ධනවත් පවුල්වල සේවය සදහා අඩු මිලට දුප්පත් පවුල්වල කුඩා දරුවන් නියැලී ම හේතු වෙයි. එසේම පොඩි දුව පද්‍ය පන්තියේ ලිසී ද තම දෙමාපියන් ගෙන් වෙන්ව වෙන රටක තනි වෙයි. එහිදී කවියා දක්වන්නේ දුප්පත් පන්තිය විසින් ධනපති පන්තියේ සුඛ විහරණය වෙනුවෙන් තම ජීවිතය කැප කරන ආකාරය වේ.

වැඩිහිටියන් විසින් දරුවන් පෝෂණය කළ යුතු සමාජයක දරුවන්ට තම පවුලේ බර කරට ගැනීමට සිදුවන්නේ නම් එය ඛේදනීය තත්වයකි. ලිසීගේ මවට ඈ පොඩි දුව වූවත් පරිබාහිර සමාජයක මෙහෙකාරියක් ලෙස දුන්වමින් සමාජයේ බොහෝ දෙනා ඈ හට ලිසී යන නමින් ආමන්ත්‍රණය කරයි. ඒ අනුව කවියා පළමු කවිය මෙලෙස අපූරු අයුරින් නිර්මාණය කරන්නේ පාඨක ප්‍රජාවගේ සිතට දැනෙන ආකාරයෙනි.

" අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට
 දකින කෙනෙක් මට කිව්වේ ඒ වැඩකාරියක් කියල
 පොඩි දරුවෙකු අතින් අරන් පාසැලකට මං යනකොට
 එතන හිදින අය කිව්වේ බේබිගෙ ආයම්ම කියල
"

තම පවුලේ බර අඩු කිරීමට මෙහෙකාර සේවයට ගිය ලිසී බැරි බර උසුලාගෙන පාර දිගේ යන විට දකින අය ඇයට කීවේ වැඩකාරියක් කියාය. ලිසී තමා මෙහෙකාර කරන නිවසෙහි දරුවා පාසල් රැගෙන යන විට එතැන සිටි අය කිව්වේ දරුවාගේ ආයම්මා කියාය. මෙලෙස කවියා ලිසී සමාජයෙහි මිනිසුන්ගේ අපවාදයට ලක්වන ආකාරය දක්වන්නේ පාඨකයා තුළ අනුකම්පිත හැගීමක් ද ජනිත කරවමිනි. අප ජීවත් වන සමාජය ද මෙසේ ම ය. අන් අයගේ වැරදි දුර්වලතා කුලය දෙස බලා ඔවුන් සමාජයෙන් පහත්කොට කටයුතු කරන්නේ හා විවිධ අප වාදයන්ට ලක් කරන්නේ අකාරුණික අයුරුනි. 

පොඩි දුව පද්‍ය පන්තියේ ලිසීට ද එසේ ම සමාජය ඉදිරියේ විවිධ අපවාදයන් ඇසීමට සිදුවේ. ඇය මෙලෙස අපවාදයට ලක් වන්නේ තමාගේ වරදක් නිසා නොවේ. තම පවුලේ අය වෙනුවෙනි. තම පවුලේ අය වෙනුවෙන් අසීමිත දුක් කරදර විදින මේ පුංචි දියණිය මෙම පොඩි දුව පද්‍ය පන්තිය තුළ පාඨකයා කම්පනයට පත් කරයි. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ වන දරුවන් දෙදෙනකු අතරින් එක් දරුවෙකු "බේබි" නමින් පාසල් යන විට අනෙක් දරුවාට "බේබිගෙ ආයම්මා" ලෙස දරුවෙකු පාසල වෙත රැගෙන යාමට සිදුව ඇත්තේ සමාජ අසාධාරණයේ, පන්ති විෂමතාවයේ කුරිරු බව නිසාය යන බව මොනිකා රුවන්පතිරණ කිවිදිය මෙම කවියෙන් අපූරු ලෙස ව්‍යංග වත් කරයි.

" කෑම බීම උයා පිහා මං දරදිය අදින කලට
 දකින සියලු දෙනා කිව්වෙ ගෙදර කුස්සි අම්ම කියල
 ඒත් අම්මේ දවස ගෙවිල නිදි පැදුරේ ඇල වුණාම
 තවමත් සිහිනෙන් උබ මට කියන්නේ පොඩි දුවේ කියල
"

ලිසී නිවසක මෙහෙකාරියක් ලෙස ජීවත් වීමේ දී ඇයට නිවසේ සියල්ලන්ගේම සියලු දේ කර දීමට සිදුවේ. ලිසී කෑම බීම උයා පිහා දරදිය අදින විට බලා සිටින සමාජයේ මිනිසුන් ඇයට කීවේ කුස්සි අම්මා කියාය. මනුෂ්‍ය ජීවිතයේ කෙටි විරාමයක් ලබා ගන්නේ නින්දට යන විට ය. මෙහිදී ද කිවිදිය ලිසී විදින දුක් බර දිවියේ ඇයට ඇති විරාමය නිදි පැදුර බව පවසන අතර එම පැදුරට ගිය පසු තම මව තමාට "පොඩි දුව" කියා අමතන අයුරු සිහිනෙන් පෙනෙන බව මෙම කවියෙන් කියැවේ.

වෙනත් බොහෝ කවීන්ට හසු නොවූ තේමාවක් මොනිකා රුවන්පතිරණ තම වස්තු විෂය කොට ගෙන ඇති අතර තමාගේ ජීවිතයේ ලද අත්දැකීමක් මෙන් පොඩි දුව පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇත. පොඩි දුව පද්‍ය පන්තියෙහි අවම කවි ප්‍රමාණයක් යොදා ගත්තද පැවසිය යුතු සියලු දේ පාඨක සිත් තුළට දැනෙන අයුරින් නිර්මාණය කර තිබීම විශිෂ්ටය. තවද අනවශ්‍ය භාෂා අලංකාර බොහොමයක් යොදා නොගෙන සුදුසු භාෂා උපක්‍රම යොදා ගෙන තම අරමුණු සපුරා ගෙන ඇති අතර යොදාගත් මෙම භාෂා අලංකාරයන් මෙසේය.

කිවිදිය තම පද්‍ය පන්තිය සදහා සිවුපද ආකෘතිය යොදා ගෙන ඇති අතර මාත්‍රා 24 කින් යුත් විරිත යොදාගනිමින් නිර්මාණය කොට තිබේ.

මෙම නිර්මාණය දෙස බැලූ විට පෙනී යන්නේ සරල බස් වහරකින් නිර්මාණය කොට ඇති බවත් ගැඹුරු ධ්වනිතාර්ත වලින් යුක්ත බවත් ය.

"ජීවිතයේ පළමු වරට තනි වුණු කළ ඈත රටක"

"ඒත් අම්මෙ දවස ගෙවිල නිදි පැදුරේ ඇල වුණාම"

"දකින කෙනෙක් මට කීව්වේ ඒ වැඩකාරියක් කියල"

පොඩි දුව පද්‍ය පන්තියට පාදකව ඇත්තේ ආර්ථික ගැටළුය. ආර්ථික ගැටළු ප්‍රබලව දැක ගත හැක්කේ ග්‍රාමීය වටපිටාවක් තුළ ය. තවද පොඩි දුව පැදි පෙළෙහි ප්‍රාකාශනය කුඩා දරුවෙකු බැවින් බොහෝවිට කට වහර භාවිතව තිබුණු බවක් පෙනේ.

"පවුලේ බර" "උබ මට"

"කුස්සි අම්ම" "පාර දිගේ"

"වැඩකාරියක්" "ආයම්ම"

මව හා දුව අතර පවතින අපූර්ව බැදීම ප්‍රකාශ කිරීම සඳහා අම්මේ, පොඩි දුව වැනි දයාබර ආමන්ත්‍රණ පද යොදාගෙන තිබේ. 

තමා ගැන නොසිතා තම පවුලේ අය වෙනුවෙන් අසීමිත දුකක් විදින ලිසීගේ සමහර සිදුවීම් මොනිකා රුවන්පතිරණ කිවිදිය දක්වන්නේ පාඨකයා තුළ සානුකම්පිත හැගීම් මවාලමින් සහ පාඨක සිත් තුළ චිත්ත රූප මවමිනි. 

"අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට"

"පොඩි දරුවෙකු අතින් අරන් පාසැලකට මං යනකොට"

මෙම සිදුවීම පාඨකයාට පවසනුයේ තමා මුල් කරගෙනය. එනම් මොනිකා රුවන්පතිරණ කිවිදිය මෙම පොඩි දුව පද්‍ය පන්තිය සඳහා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගෙන කතාවක් ලෙස නිර්මාණිතය.

"උබ මට" "මං යනකොට"

"මට කිව්වේ"

දුප්පත්කම පංති විෂමතාව සමාජ අසාධාරණය වැනි සමාජයේ සංකීර්ණ ගැටළු හමුවේ තැලී පොඩි වී යන අනාගත ලෝකය භාර ගැනීමට සිටින දරු පරපුර පිළිබඳව යමක් පාඨකයා හමුවේ තබන අතර ධනපති පන්තියේ ස්වභාවය, කුරිරු සමාජ ක්‍රමය විසින් මෙහි එන දැරියගේ පමණක් නොව එවැනිම වූ තවත් දරු පිරිසකගේ අයිති වාසිකම්, වරප්‍රසාද උදුරාගෙන ඇති ආකාරය ඔවුන් විදින දුක් බර දිවියේ සිදුවීම් සියුම් ලෙස දක්වන මොනිකා රුවන්පතිරණ කිවිදිය "පොඩි දුව" පද්‍ය පන්තිය නිර්මාණයෙහි ලා බෙහෙවින්ම සමත් ය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල


පොඩි දුව මොනිකා රුවන් පතිරණ
පොඩි දුව විචාරය
පොඩි දුව රසාස්වාදය
පොඩි දුව රසාස්වාදය pdf
monika ruwanpathirana