ගිහි ජීවිතයේ යථාර්ථවත් බව විශද කරමින් සසර භය අවබෝධ කර දීම පූජාවලි කතුවරයාගේ අරමුණ විය. පූජාවලියේ අනුරුද්ධ කුමාර කතාව ආශ්‍රයෙන් විමසන්න.
දඹදෙණි යුගයේ වැජඹුණු ශ්‍රේෂ්ඨ උගතුන් අතර වැඩ සිටි අති පූජනීය බුද්ධ පුත්‍රයාන කෙනෙකු වූ මයුරපාද පිරිවේනාධිපති "බුද්ධ පුත්‍ර" නම් වූ මහාථෙර පාදයන් වහන්සේ විසින් පූජාවලිය නැමැති ග්‍රන්ථය නිර්මාණය කරනු ලැබීය. බෝසත් වහන්සේගේ චරිත කතා හා බුද්ධ චරිතයේ වැදගත් සංසිද්ධීනුත් ඇසුරු කොට ගෙන බුදු බණ ඇසුරින් ජිවිතය සකස් කර ගැනීමට කැමති ශ්‍රද්ධාවන්තයින් තුල භක්තිය හා ප්‍රේම වඩන්නට ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පූජාවලිය නම් දරයි. මෙම ග්‍රන්ථය කිසියම් එක් මූල ග්‍රන්ථයක් බලා කළ පරිවර්තනයක් හෝ ඇසුරක් ලබා කළ ග්‍රන්ථයක් නොවේ.
සිංහල සාහිත්‍ය වංශයේ මහා බණ කතා පොත වශයෙන් සලකන පූජාවලිය ග්‍රන්ථය තුළ අපට නිර්දේශිත අනුරුද්ධ කුමාර කතා වස්තුව දස නව වන පරිච්ඡේදයේ නමස්කාර පූජා නම් ඌ මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇත. මෙම කථා වස්තුව තුළ කතුහිමියන් ගිහි ජීවිතයේ යථාර්ථවත් බව විශද කරමින් සසර භය අවබෝධ කරදීමට උත්සාහ දරා ඇති ආකාරය නිදසුන් ඇසුරින් විමසා බලමු.
" තෙපි ගිහිගෙයි වසා නම් උපයා කන ලෙස් මා අතින් ඉගෙන ගනුව..."
ගිහියන් හා පැවිදි උතුමන් ලෙස සමාජයේ කොටස් දෙකක් දැකගත හැකිය. ඉතා කුඩා කොටසක් හැරුණු විට අනෙක් සියල්ලන්ම ගිහියන් ය. පැවිද්දන් යැපෙනුයේ ගිහියා මතය. ගිහියා තමාගේ දෑත් දෙපා වෙහෙසවා කෙසේ හෝ තමාගේ දෙමාපියන්ගේ, තමාගේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලයි. ගිහියා ගිහිගෙයි විසීමේ දී තමන්ට ගැලපෙන කර්මාන්තයක් සොයාගත යුතුමය. තමාගේ ජීවිතය රැක ගැනීමට මෙන්ම අන් අය උදෙසා ද නිසි කර්මාන්තයක් සිදුකළ යුතුය. ඕනෑම කර්මාන්තය සිදු කිරීමට නම් එම කර්මාන්ත සිදු කරන ආකාරය දැනගෙන සිටිය යුතුය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
විවිධ කර්මාන්ත විවිධ වූ ආකාරයෙන් වෙයි. මෙම කරුණු සියල්ලම වටහා දෙනුයේ "නැත" යන වචනයෙහි අර්ථය නොදන්නා, බත් උපදින ආකාරය නොදන්නා වූ අනුරුද්ධ කුමාරයාහට මහානාම කුමාරයා විසිනි. මෙහිදී මහානාම කුමරු පැවසුවේ බත් උපදින ආකාරයවත් නොදැන ගිහි ගෙයි විසීම සුදුසු නොවන බවයි. මෙමගින් දක්වා ඇත්තේ ගිහි ජීවිතයේ යථාර්ථවත් බවයි.
" කන බතෙක රස නොදැන ඇදෙක පිටක් නො තබා රාත්‍රින් දිවාභාගයෙහි ගිහි එ මැසි දඩෙ වැද හෙව රාත්‍රින්දිවාභාගයෙහි එක දවසෙක ත් නින්දේ නින්දක් නිදා නොපියා ගෙරින් මීමුන් ඌරන් මුවන් ආදිවූ සතා සතුන් සාරමසක් රක්ක මැනව..."
මෙසේ පවසනුයේ බොහෝ ගැමි ජනතාව නියැලෙන්නා වූ කෘෂිකර්මාන්තය පිළිබඳවයි. කෘෂිකර්මාන්තය සිදුකරන්නා තමාට පමණක් නොව බොහෝ දෙනාට ආහාර සැපයීමේ උදාරතර කාර්යය සිදුකරයි. මෙසේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනයාගේ ජීවිතය අධික සේ කටුක. දුෂ්කරය. එක දිගට පැවැත ගෙන යන්නා වූ එනම් පාරම්පරික කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නන් කුඹුරු සාදා ගත් අවස්ථාවේ පටන් අස්වනු නෙලීම දක්වා බොහෝ ක්‍රියාවන් වල යෙදෙයි. ඉහත නිදසුනෙහි දක්වා ඇත්තේ ඒ අතරින් එකකි.
රාත්‍රියට නිදා නොගෙන පැල්පතක් උඩ සීතලේ තමාගේ වගා බිමට පැමිණෙන මුවන්, ඌරන් ආදි සතුන්ගෙන් තමාගේ අස්වැන්න ආරක්ෂා කරගන්නා ආකාරය දක්වා ඇත්තේ පාඨකයාට එහි පවතින කටුක බව මනා ලෙස වටහා දෙමිනි. මේ තුළින්ද ගිහියකුගේ ජීවිතේ යථාර්ථවත් බව අපූර්ව ලෙස ඉස්මතු කරයි.
එසේ උපයා කා ජීවත් වීම සදාකල් සිදු කළ නොහැක. යම් දවසක තමාට කර්මාන්ත සිදුකර ගැනීමට නොහැකි වන අවස්ථාවක් පැමිණෙයි. තමාගේ තරුණ කාලයේ අධික ලෙස වෙහෙසට පත් වූ විට වයසට ගිය පසු ශරීරය දුර්වල වීම සීඝ්‍රයෙන් සිදුවන අතර එහිදී කර්මාන්තයේ නියැළිය නොහැකි තරමට ශරීරය දුර්වල වී යයි. එය කතුවරයා කතා වස්තුවක් තුළ දක්වනුයේ,
"මහළුව ජරාවට පැමිණි කළත් මෙකී කර්මාන්ත කොට ගත නොහැකි හෙයින් උපයා කෑ නොහැක්කේය."
"පෙර තමා උපයා කෑ රටම වෙස් බැද පානා විකාර රූපයක් සේ දොරින් දොර සිඟා කෑ ඇවිද්ද.."
තමාගේ දෑතින් සැරමිටියක් ගෙන කුද ගසාගෙන විරූපව දොරින් දොරට සිඟා කමින් ඇවිදීමට සිදුවන බව මෙසේ කතු හිමියෝ සදහන් කරයි. පෙර තමාට හැකි කාලයේ කෘෂිකර්මන්තය සිදු කොට තමාගේ පමණක් නොව බොහෝ දෙනාගේ කුස ගින්න නිවන්නා වූ එම පුද්ගලයාට අවසානයේ සිදුවන්නේ සිඟාකමින් අවසන් කාලයේ දී අපමණ වෙහෙසීම් වලට ලක්ව අවසානයේදී සිගන්නෙකු ලෙස මිය යෑමටය. මෙම අවස්ථාව ගිහි ජීවිතයේ යථාර්ථවත් බව විශද කරන අතර එමගින් පාඨක සිත් තුළ සසර බිය ඇති කරවයි.
බොහෝ දෙනා ගිහි ජීවිතය අතහැර පැවිදි වීමට අකමැති වන්නේ ගිහි ජීවිතයෙහි පවත්නා අල්ලාගත් බැඳීම් නිසාවෙනි. තමාට අවසානයේ ඉතිරි වන්නේ තමාම පමණක් බව නොදන්නා බොහෝ දෙනා තාවකාලික බැඳීම් සමග බැඳී කටයුතු කරයි. අනුරුද්ධ කුමාර කතා වස්තුවේ ද අනුරුද්ධ කුමාරයාහට එවැනිම සිදු වීමක් සිදුවේ.
"මාගේ ප්‍රිය පුතණුවෙනි. නුඹ පියාණන් වහන්සේත් නැත. මාගේ හදවත හා දෑස හා නුබ හා සම වූව. එසේ හෙයින් මට සැප ත් නම් නුඹ හා නුඹගේ බෑණන් වහන්සේගේ දර්ශනය වුව, එසේ වූ දුකකට නුඹ යවාලා වැද හිදීම මට බැරි ය"
දෙමාපියන්ට ඇති වටිනාම වස්තුව තම දරුවන් ය. ඔවුන් කිසි විටෙකත් තම දරුවන්ගෙන් වෙන්වීමට අකමැතිය. කෙසේවෙතත් කෙදිනක හෝ සියලු බැදීම් අතහැර දමා යාමට සිදුවන බව සිතා කටයුතු කළ යුතුය.
අනුරුද්ධ කුමාරයාත් සත්‍යය වටහාගෙන මෙම සසර ගමන දුකක් යැයි සිතා පැවිදි වීමට යාමට පෙර තම මව එයට අකමැත්ත ප්‍රකාශ කරයි. ඒ තමා පණ මෙන් ආදරය කරන පුතු තමාගෙන් වෙන්වන බව සිතාය. මෙම සිතුවිලි සියල්ල ගිහියන්ට පොදුය. බොහෝ ගිහියන් සිතනුයේ මේ අයුරිනි. ඒ අනුව කතුවරයා ගිහියාගේ සිතුවිලි මනාව නිරූපණය කර ඇත.
අනුරුද්ධ කුමරු බත් උපදින්නේ කොහෙන්ද යන බව දැන සිටියේ නැත. මෙහිදී මහානාම විසින් අනුරුද්ධ කුමරුට ගිහි ජීවිතයේ යථා ස්වරූපය මනාව පහදා දෙයි.
"කලෙක නෙවසඤ්ඤා නාසඤ්ඤාය තනටය පැනනැගී භවයෙන් අග පැමිණියා වූ සුව විදියෝ පවා කලෙක සතර අපායට පැමිණ දුක් විදිනාහු ය. කලෙක බ්‍රහ්ම රජාන් ව ඉපැද කලෙක කදෝ කිමි ව ත් උපදනාහු ය.."
මෙහි අර්ථය කලෙක බ්‍රහ්ම ලෝකයට අග්‍රවී සූව වින්දද තවත් කලෙක සතර අපායට ගොස් දුක් විඳීමට සිදු වේ යන්නයි. මේ ආදී ලෙස ජීවිතයේ විඳීමට සිදුවන සැපදුක මනාව අනුරුද්ධ කුමරු හට පහදා දෙන්නේ යම් කෙනෙකුන් කලෙක දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් බුක්ති වින්ද ද තවත් කලෙක යම් අයෙකුට අපාගතව අපා දුක් විඳීමට ද සිදු වන පහදා දෙමිනි.
මහානාම විසින් මෙවැනි තවත් බොහෝ දේ පහදා දෙන්නේ කතා වස්තුව කියවන පාඨකයා තුළ සසර බිය ඇති කරවමිනි. මෙමගින් ගිහි ජීවිතයෙහි යථාර්ථවත් බව ද අපූර්ව ලෙස පෙන්වා දෙයි.
ඒ අනුව ඉහත දක්වන ලද සියලු කරුණුවලින් ගිහි ජීවිතයේ යථාර්ථවත් බව විශද කරමින් සසර භය පාඨකයාට අවබෝධකර දීමෙහි ලා කතුවරයා වූ බුද්ධ පුත්‍ර හිමියන් බෙහෙවින් සමත්ව ඇති බව සදහන් කළ හැකිය.
H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
මෙමගින් පූජාවලිය download කර ගන්න. එහි පිටු අංක 373 සිට අනුරුද්ධ කුමාර කතාවස්තුවයි.
Key words
අනුරුද්ධ කුමාර කතා වස්තුව විචාර
අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය
අනුරුද්ධ කුමාර විචාර
පූජාවලිය අනුරුද්ධ කුමාර කතා වස්තුව
පූජාවලිය විචාර pdf
අනුරුද්ධ කුමාර විචාර ලිවීම
අනුරුද්ධ කුමාර විචාර pdf
අනුරුද්ධ කුමාර කතා වස්තු විචාර download