Skip to main content

Follow on YouTube

වන්නියේ සැන්දෑව රසාස්වාදය 01 | විමලරත්න කුමාරගම

වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය (සතරැස පුදුම විදියට එක ඇසක් වුණා 😊)

වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කෙසේදැයි විමසා බලමු. 

ආරම්භය 

කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන මානව හිතවාදී කවියෙකු ලෙස විමලරත්න කුමාරගම කවියා වඩාත් කතාබහට ලක්විය. දුෂ්කර ප්‍රදේශයක සේවයේ යෙදී සිටි කාලයේ මොහු විසින් නිර්මාණය කරන ලද කවි වැල් අතර වන්නියේ සැන්දෑව කවි පෙළ ප්‍රේමනීය සිත් තදින්ම ස්පර්ශ කිරීමට සමත් විය. 


වස්තු විෂය හැදින්වීම

වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය සදහා කවියා වස්තු විෂය කොට ගෙන ඇත්තේ සැන්දෑ සමයෙහි පරිසරයෙහි දිස්වන සුන්දරත්වය සහ එම පරිසරයේ දී මුණ ගැසෙන තරුණියකගේ සුන්දරත්වය යි.

විමලරත්න කුමාරගම කවියා විසින් මෙම වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය රචනා කිරීමේ මූලික අරමුණ වන්නේ සැන්දෑ පරිසරයෙහි සුන්දරත්වය ප්‍රකාශ කිරීම හා එම පරිසරයෙහිදී මුණ ගැසෙන තරුණියගේ සුන්දරත්වය පාඨකයා වෙත යොමු කිරීම වන අතර වන බද පරිසරයක ජීවත් වීමේදී කවියාගේ සිතෙහි ඇති වූ ප්‍රබෝධය විදහා දැක්වීමත් කවියාගේ අරමුණු වන්නට ඇත.


කවියා යොදාගත් භාෂා උපක්‍රම (භාෂා භාවිතය)

කවියෙකුට තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා මූලික ලෙසම භාෂාව ඉවහල් වෙයි. මෙහිදී විමලරත්න කුමාරගම කවියා විසින් ලේඛන වහර සේම කට වහර ද යොදාගනිමින් වන්නියේ සැන්දෑව කවි පන්තියේ සාර්ථකත්වය සදහා භාෂාව උපරිම ආකාරයෙන් හසුරුවා ඇති ආකාරය අපට දැක ගත හැකි වේ.

"මැඩියෝ අඬති පෙරළුෑ නව කුඹුරු     මඩින්
 බස්සෝ ඉගිළ යති නිහඬව හිසට         උඩින්
 වවුලෝ පියාඹති මී ගෙඩි රැගෙන        තුඩින්
 ඈ කිසිවිටෙක තැති ගත්ත ද මෙවැනි හඬින්"

වන්නි පරිසරයෙහි සැන්දෑ සමය පිළිබඳ එවැනි පරිසරයක අත්දැකීම් නොමැති පුද්ගලයෙකුට පවා චිත්ත රූප මැවෙන අන්දමින් මෙම වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇති ආකාරයෙන්ම විමලරත්න කුමාරගම ශූරීන්ගේ කවීත්වය මනාව ප්‍රකට වෙයි. එමෙන්ම පරිසරයේ ස්වභාවය එහි ජීවත්වන සතුන්ගෙන් විද්‍යාමාන කරීමට වෙර දරන කුමාරගම කවියා සැන්දෑ සමයෙහි සතුන්ගේ චර්යාවන්හි ස්වභාවයත් ඒ සමඟම එම පරිසරයට පැමිණෙන තරුණියගේ හැසිරීම් විලාසයත් සුන්දරත්වයත් අපූර්ව ලෙස ගලපමින් පාඨකයාගේ සිතෙහි චිත්ත රූප මැවීමට සමත් වෙයි. 

මෙම වන්නි ප්‍රදේශයට පැමිණෙන තරුණිය එම ප්‍රදේශයට සුපුරුදු තරුණියක් බවත් කවියා නොයෙක් විට ඇයව අධීක්ෂණය කර ඇති බවත් හගවමින් " ඈ කිසිවිටෙක තැති ගත්ත ද මෙවැනි හඬින්" යැයි පවසයි. මෙම පද කිහිපය ඇතුළත කටවහර ලිඛිත භාෂාව යන දෙකම සංකලනය කිරීම තුළ විමලරත්න කුමාරගම කවියා තමාගේ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගැනීමට සමත් වී තිබෙයි. "තැති ගත්ත ද , හිසට උඩින්" ආදී ඒවා කටවහරින් අහුලාගත් පද වන අතර " මැඬියෝ අඬති, බස්සෝ ඉගිළ යති" ආදී පද තුළින් ලිඛිත වහර නියෝජනය කරයි. මෙලෙස භාෂාව හැසිරවීම තුළ උගත් නූගත් කාගේත් සිත් එක ලෙස ස්පර්ශ කිරීමට විමලරත්න කුමාරගම කවියා සමත් කම් දක්වයි.

වන්නි ප්‍රදේශය පිළිබඳ පාඨකයාගේ සිතෙහි චිත්තරූප ඒ අයුරින්ම මැවීමට උත්සුක වන විමලරත්න කුමාරගම කවියා අපූර්ව ලෙස යොදාගත් උපමාවන් කිහිපයක් වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය තුළ හමුවෙයි.

"දෙ සවන අදී වැව්පිටියේ නද            සීරු 
 පෙඳ රැළි පෙනේ ලෙස නිල් වරලස  පීරු"

සෙමෙන් සෙමෙන් තරුණිය වැව වෙත ලං වෙත්ම වැවේ රැලි හා තරුණියගේ වරලස එක ලෙස දකින විමලරත්න කුමාරගම කවියා ඒ බව උපමාවකින් ප්‍රකාශ කරයි. තරුණියගේ සුන්දරත්වය ඇයගේ වරලසෙහි ස්වභාවය පාඨක සිත්හි මැවීමට මේ උපමාව මනාව සංයෝග වී ඇති බව කිව යුතුය. 

"මංකඩ දිලේ විසිතුරු හිරු කිරණ   වැනී 
  ඈ ඒ එළිය බී මගෙ හදවතට           අනී 
  දියවැල් ඇගේ පය දැවටී වැළද        ගනී
  රන්වන් රිදී පෙති වතුරෙන් උඩට     පනී "

සැන්දෑ කාලයේ රන්වන් පැහැ හිරු එළිය වැව් දියට වැටීමෙන් මනස්කාන්ත දර්ශනයක් දිස් වන්නට විය. ඒ සමඟම කළයට දිය පුරවා ගැනීමට පැමිණෙන තරුණිය ද එම හිරු එළියෙන් රන් වන් පැහැයෙන් බැබලීමෙන් කවියාගේ සුන්දර සිතුවිලි තීව්‍ර වූ බව පැහැදිලි වෙයි. තමාගේ සිතේ ඇති වන හැගීම් වැවේ දිය රැලි වලට ද දැනී ඇතැයි "දියවැල් ඇගේ පය දැවටී වැළද ගනී" යනුවෙන් කවියාගේ සිතුවිලි වැව් දිය හරහා අපූරු ආකාරයෙන් ප්‍රකාශ කරයි.

උත්ප්‍රේක්ෂාලංකාර භාවිතය තුළින් විමලරත්න කුමාරගම කවියා වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය තව තවත් චිත්‍රණය කරන ආකාරය මෙසේය.

"හැන්දෑ වලාකුළු නිල් නුබ ඔතා            ගතී 
 වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා        ඇතී
 රත්සර කැකුළු පෙඳ රැළි මැද ගොතා වෙතී 
 පොබයයි ඇගේ වත නැරඹුම පතා     පෙතී"

විමලරත්න කුමාරගම කවියා විසින් පාඨක සිතෙහි චිත්ත රූප මවන ආකාරයෙන් අප්‍රාණික පරිසරය සප්‍රාණික අයුරින් දැක්වීමට උත්ප්‍රේක්ෂාලංකාර යොදාගෙන ඇත. සැන්දෑ සමයෙහි දිය ගෙන යෑමට පැමිණෙන තරුණියව දැක ගැනීම උදෙසා රතු පැහැති මල් කැකුළු විකසිත වන බවත් උණ පඳුරු එකිනෙක ලං වෙමින් හඩ නගමින් තරුණියගේ සුන්දරත්වය පිළිබඳ කතා වන බවත් කවියා විසින් පැහැදිලි කර ඇත. තරුණියගේ වත නෙළුම් මලක් සේ අලංකාර බව සැල කිරීමෙන් ඒ පිළිබඳ පාඨකයාගේ සිතේ චිත්ත රූප මැවෙයි. එමෙන්ම ස්වභාවික පරිසරයෙහි ඇති අප්‍රාණිකත්වයට පන දෙමින් තරුණියගේ සුන්දරත්වය පිළිබඳ වර්ණනා කිරීමට විමලරත්න කුමාරගම කවියා උත්සාහ දරා ඇත. 


කවියා යොදාගත් දෘෂ්ටිකෝණය 

තවද වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය අලංකාරවත් ලෙස ඉදිරිපත් කිරීමේ දී පාඨක සිතට වඩාත් සමීප කරවීමට විමලරත්න කුමාරගම කවියා විසින් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගෙන තිබෙයි. බොහොමයක් තැන් වල තමා දකින තරුණියගේ සුන්දරත්වය තමා විසින්ම ප්‍රකාශ කිරීම වෙනුවට පරිසරය, පරිසරයේ ගස් වැල් සතුන් දකිනාකාරයෙන් ප්‍රකාශ කිරීමට කවියා උත්සාහ දරා ඇත. එසේ අප්‍රාණික වස්තූන් හරහා ප්‍රකාශ කල ද ඒවා කවියාගේම සිතුවිලි බැවින් කවි පන්තිය පුරා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යෙදී ඇති බව පැහැදිලිය.

"රෑබෝවීම මගෙ සතුටට හරස්     වුණා 
 ඈ මා දැකීමෙන් මඳකට තිගැස්    සුණා 
 අවිහිංසකව ඒ සමඟම හිනැස්    සුණා 
 සතරැස පුදුම විදියට එක ඇසක්  වුණා"

තරුණියගේ සුන්දරත්වය විදීමට කථකයාට ඇති බාධකය වනුයේ රාත්‍රිය උදාවීමයි. නමුත් ඒ සමඟම තරුණිය කථකයා දැකීමෙන් තිගැස්සුන බවත් කථකයාගේ අරමුණු සඵල කරමින් තරුණිය කථකයා දෙස ආදරණීය බැල්මක් හෙලූ බවත් මොහොතකට දෙදෙනාගේම ඇස් එකි නෙක යොමු වී දෙදෙනාගේ සිතුවිලි එකට ඒකාත්මික වූ බවත් ප්‍රකාශ කරමින් "සතරැස පුදුම විදියට එක ඇසක් වුණා" යනුවෙන් කවියා තම සිතෙහි ඇති වූ හැගීම් හැකි පමණින් පාඨකයාට ප්‍රකාශ කිරීමට වෙර දරා ඇති ආකාරය අපූරුය. එසේම උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා ගනිමින් කථකයා විසින් ලබන්නා වූ වින්දනය පාඨකයාහටද ලබා දීමට කවියා සමත්කම් පා ඇත.

සාරාංශය 

මේ අනුව විමලරත්න කුමාරගම කවියා තම අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා භාවිත කර ඇති ලිඛිත හා කටවහර සහිත භාෂාවත්, උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයත්, උපමා භාවිතය සේම පද්‍ය පන්තිය වඩාත් රස ගැන්වීමට යෙදූ උත්ප්‍රේක්ෂාලංකාර ආදියත් නිසාවෙන් මෙම වන්නියේ සැන්දෑව පද්‍ය පන්තිය ඉතා සාර්ථක විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් වී ඇති බව ප්‍රකාශ කල යුතුය.

- අකීශා මන්දාකිනි -


වැඩිදුර අධ්‍යයනයට,

වන්නියේ සැන්දෑව- 12 ශ්‍රේණිය සිංහල 


>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය