Skip to main content

Follow on YouTube

සාහිත්‍ය රසාස්වාදය 02 - දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01 | උසස් පෙළ

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය රසාස්වාදය

කොළඹ යුගයේ දෙවන කවි තරංගයේ කවියෙකු වන පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය පිළිබඳ රසාස්වාදයක යෙදෙන්න.

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ ප්‍රසිද්ධ කවියෙකු වන පරාක්‍රම කොඩිතුවක්කු මහතා අතින් නිර්මාණය වූ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය විශිෂ්ට ගණයේ පද්‍ය පන්තියක් යැයි සැලකිය හැකිය. මෙහිදී එතුමා විසින් වස්තු විෂය ලෙස ගෙන ඇත්තේ ප්‍රේම වියෝවෙන් කම්පනයට පත්වී සිටින කතකයෙකුගේ සිත තුල ඇතිවන හැඟීම් ය. පාඨක රස වින්දනය ඉතා සියුම් අන්දමින් ස්පර්ශ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම පද්‍ය පන්තිය සැලකිය හැකිය. ප්‍රේම වියෝවෙන් කම්පාවට පත් නොවී ජීවිතයේ සාර්ථකත්වය සදහා පිය නැගීමට ධනාත්මක සිතුවිලි පාඨකයා තුළ මතු කිරීම මෙහිදී කවියාගේ අරමුණ වී ඇති බව පැහැදිලි වේ. මෙම අරමුණු ඉටු කර ගැනීම සදහා කවියා යොදාගෙන ඇති ප්‍රධාන උපක්‍රමයක් වන්නේ යොදාගෙන ඇති භාෂාවයි. මෙහිදී කථකයාගේ මනෝ භාවයන් ප්‍රකාශ කිරීමට සමත් සරල බස් වහරක් යොදා ගෙන තිබීම මෙහි විශේෂත්වය යි. 

" ඔබ යන්න මධුර සප්ත ස්වරයත් අරන්
  ඔබේ රථ මැදිරියට මගේ ඉර-හඳ අරන්
  ඔබ යන්න මහද තෙත් වැහි වලාකුළ අරන්
  කමක් නෑ ඔබ යන්න මගෙ ආයුස අරන්
"

ප්‍රේමයෙන් ඇතිවන විරහව කවියා පාඨක හද සංවේදී කරන ආකාරයෙන් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය තුළ ප්‍රකාශ කර ඇති ආකාරය ප්‍රසංසනීය වේ. තමාගේ මුළු ලෝකයම වූ ඇය දැන් තමාට හිමි නැත. කවියාගේ සිත තුල ඇති ශෝකය හරි අපූරු ආකාරයෙන් පද ඝට්ටනය කරමින් කවියා මෙම පද්‍යය වරනගා ඇත. රථ මැදිරියෙන් පියනගා යන අලුත් ලොවට මා හද තෙත් වැහි වලාකුළ හා මෙතෙක් ඔබට ප්‍රේම කළ මගේ ආයුෂත් රැගෙන පියනගන මෙන් ප්‍රේම වන්තයෙකුගේ හැගීම් ස්ඵුට කිරීමට පරාක්‍රම කොඩිතුවක්කු කවියා සමත් වේ. පාඨක හදවත සියුම් ආකාරයෙන් ස්පර්ශ කිරීමට සමත් සරල බස් වහරක් යොදාගෙන ඇති බව දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය රස විඳීන අපට පැහැදිලි වෙයි. 

එපමණක් නොව පරාක්‍රම කොඩිතුවක්කු කවියා මෙහිදී තම ස්වකීය නිර්මාණය සාර්ථක කර ගැනීම සදහා යොදා ගත් තවත් උපක්‍රමයක් වන්නේ සංකල්පරූප භාවිතා කිරීමයි.

"වෙස්මුහුණ පැලඳගෙන සිටින තැන හිතක් නැත
 ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට
 පෙම්ගී අලංකාර වීසි කොට යනු මැනවි
 නිල් ගුවන් ගැබ වදින කුරුල්ලකු පරිද්දෙන්
 ඔබ ඔබේ සිහිනයට - මම මගේ ලෝකයට
"

නිර්මාණකරුවා තම ප්‍රතිභාව ප්‍රකට කිරීමට පාඨකයාගේ සිත තුළ සංකල්ප රූප මැවීමට සමත් වී ඇත. ඉදිරියෙන් පෙනෙන්නට තිබෙන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ඇති කෙනෙකුගේ ළග සිටීමට කා හටවත් සිතක් නැත. හෙට පිවිසෙන අලුත් විමානෙට යනවිට තමා හා වින්ද පෙම් ගී අලංකාර විසිකර දමා අලුත්ම ජීවිතයක් පටන් ගන්න යැයි කවියා තම පෙම්වතියට පවසයි. ක්ෂණිකයෙන් වෙනස් වූ අපේ ජීවිත වල දැන් ඔබ ඔබේ සිහිනයටද මා මගේ සිහිනයටද පියමන් කරනු ඇත. තමා අතහැර යන ඇයට නිල් අහසේ පියාසර කරන කුරුල්ලෙකු පරිද්දෙන් නිදහසේ ජීවිතය විදින්න යැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා අපූර්ව ලෙස පාඨක සිත් හි සංකල්ප රූප මවමින් ප්‍රකාශ කර ඇත.

මෙහිදී පරාක්‍රම කොඩිතුවක්කු කවියා දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තියේ නිර්මාණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා උපමා ද මැනවින් භාවිතා කර ඇත.

"ආදරය නින්දක් ද පිබිදිලා සිටින මට
  දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල් ය
  නින්ද තුල නැති වුනේ එක දෙයයි වරදක්ද
  තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිමි
"

ප්‍රබෝධමත්ව සිටින මා හට ආදරය නින්දක් වී ඇත. එම නින්ද තුළ නැති වුනේ එක දෙයයි. ඒ විශ්වාසයයි. විශ්වාසය නැතිවුන තැන ආදරයේ ඇතිවන පලුදු වීම් කවියා සූක්ෂම ලෙස දක්වා ඇත. ඒ සදහා කවියා උපමා හා රූපක භාවිතා කරයි. ආදරයෙන් පරාජය වුවද ජීවිතයේ පරාජය නොපිළිගෙන ජීවිතය ජයගැනීමට කවියාගේ සිතේ ඇති තිර අධිෂ්ඨානය මෙහිදී කවියා ප්‍රකාශ කර ඇත. ආදරය අහිමි වූ පරාර්ථකාමී ප්‍රේමවන්තයන්ගේ හිතේ ඇතිවන ‍ප්‍රිය විප්‍රයෝගය පාඨක හද කම්පා කරවන ආකාරයෙන් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය තුළ රචනා කර ඇති ආකාරය ප්‍රසංසනීය ය.

මෙහිදී පරාක්‍රම කොඩිතුවක්කු කවියා යොදාගෙන ඇති තවත් උපක්‍රමයක් වන්නේ කාව්‍ය නිර්මාණය කිරීම සඳහා යොදාගත් ආකෘතියයි.

"නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති පල කිම්ද 
 ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ
 ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට
 ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන
"

ඔහුගේ මනසේ වන කම්පනය හරි අපූරු ආකාරයෙන් කවියා අනුප්‍රාසාත්මක යෙදුම් ද උපයුක්ත කරගෙන නිර්මාණයට එකතු කර ඇත. තමා අවංකව ආදරය කළ නිසා වැළපීමට අවශ්‍ය නැත. එසේ වැළපීමෙන් කිසිදු පලක් නොවේ. මේ තාක් කල් තමාට අයිතිව තිබූ ඇගේ නාමය ඔහුට අදින් පසුව අයිතියක් නැති බවත් ඒ අයිතිය හෙට සිට තව කෙනෙකුගේ සන්තකේ රැඳෙන බවත් පාඨකයාට පවසයි. මෙතෙක් මට හිමි වූ ඔබ දැන් මා හට හිමි නැති වුවද මට ජීවිතය නසා ගත නොහැක. ඔබ දැන් ඔබේ ජීවිතය සොයාගෙන සොයාගෙන යන්න යැයි කවියා පාඨක අපට කඳුලක් උනන ආකාරයෙන් නිර්මාණය තුළ ප්‍රකාශ කර ඇත. මෙම කවියාගේ ප්‍රේම වියෝගය හදවත ස්පර්ශ කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට නිදහස් කාව්‍ය ආකෘතිය යොදා ගෙන ඇත. එය දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය නිර්මාණය සාර්ථක වීම සදහා වඩා ඉවහල් වී ඇති බව ඉහතින් පැහැදිලි වේ.

තවද පරාක්‍රම කොඩිතුවක්කු කවියා මෙම පද්‍යය පන්තියට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය උපයුක්ත කරගෙන තිබේ.

"නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති පල කිම්ද 
 ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේ
 සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්
 මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද
"

මෙහිදී කවියා කාව්‍ය නිර්මාණය කිරීම සදහා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය උපයත කරගෙන ඇත. හදවතේ ඇති වූ ප්‍රේමය ඔබ හැර ගියා වුවද අවසන් කරන්නට නොහැකිය. ජීවිතේ ආදරේ කියන නවාතැන්පල පමණක් නොව තවද බොහෝ වැරදුණු තැන් වල අද්දැකීම් තිබේ. මගේ හදවතේ පිපුණ මල් හෙවත් බලාපොරොත්තු සහ සතුට ඔබ රැගෙන යන්න යැයි කවියා පවසයි. මා හා තිබූ ප්‍රේමනීය සිතුවිලි අරගෙන යාමට පුළුවන් නමුත් ඔබට මල් නගන වසන්තය රැගෙන යාමට හැකි වේද? යැයි කවියා ප්‍රශ්න කරයි. ඒ මතකයන් රැගෙන යන්න යැයි කවියාගේ ප්‍රේමයේ පරාජිත ඉල්ලීම පාඨක සිත් සංවේදී කිරීමට සමත්ය.

මේ ලෙස පරාක්‍රම කොඩිතුවක්කු කවියා සෑම අවස්ථාවකදීම සැබෑ ප්‍රේම වන්තයෙකුගේ චරිතය නිරූපණය කරමින් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය නිර්මාණය කරයි. කථකයා මෙම පද්‍ය පන්තිය නිර්මාණයේ දී යොදාගත් භාෂාව, සංකල්ප රූප, දෘෂ්ටිකෝණය, ආකෘතිය මෙහි අරමුණට සරිලන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඒ අනුව ඉහත සඳහන් දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය ඉතා සාර්ථක විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් බව පැවසීම යුක්ති යුක්තය.


- අකීශා මන්දාකිනි - 


Key words 

Dedunna payavi hetath palama udin rasaswadaya
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් AL රසාස්වාදය 
Dedunna payavi hetath palama udin adarsha pilithuru
රසාස්වාදය පිළිතුරු ලිවීම
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය pdf
දේදුන්න පායාවි රසාස්වාදය pdf download 
Dedunna payawi rasaswadaya pdf