Skip to main content

Follow on YouTube

සිංහල විචාර 32 - බැද්දේගම නවකතාවේ විචාරය 03 - උසස් පෙළ | baddegama vichara

පුංචි මැණිකා මනා ඉවසීමෙන් යුක්ත ශක්තිවන්ත ගැහැනියකි, මේ කියමන බැද්දේගම නවකතාව ඇසුරින් විමසන්න.

ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචනා කළ "ද විලේජ් ඉන් ද ජන්ගල්" වූ කලී ලංකාවේ ඈත කැලෑ බද පෙදෙසක පිහිටි ගමක මිනිසුන්ගේ ජීවිතය පැහැදිලි ලෙස ද තත්ත්වාකාරයෙන් ද විස්සර කරන කතා ප්‍රවෘත්තියකි. මෙම නවකතාව "බැද්දේගම" නමින් සිංහලයට නංවන ලද්දේ ඒ. පී ගුණරත්න මහතා විසිනි. බැද්දේගම නවකතාවෙහි හමුවන චරිත අතර ඉවසිලිමත් ශක්තිවන්ත ගැහැණියක් ලෙසට පුංචිමැණිකාගේ චරිතය හදුන්වා දිය හැකිය.

" එයා මට හොඳයි මට නිදහස් ඉන්ඩ ඇරලා යන්ඩ. එයාගෙ ගෙදර දොර බලා ගෙන එයාගෙ බත් ටික උයා දීලා මෙහෙම ඉන්න එක මට සැපයි"

මෙවැනි වදන් පාඨ මගින් බැද්දේගම නවකතාවේ එන පුංචි මැණිකාගේ චරිතය පිළිබඳව ලක්ෂණ රැසක් මොනවට පැහැදිලි කරයි. මෙහි විස්තර වන පරිදි ප්‍රනාන්දු මුදලාලි බබුන්ගේ බිරිද වන පුංචි මැණිකාහට තමන් ලඟට ජීවත්වීමට පැමිණෙන ලෙස කළ ඉල්ලීමේදී ඇය මේ ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට තරම් නිර්භීත වී ඇත. ප්‍රනාන්දු මුදලාලිගේ ධනය සහ බලය ලඟ ඇය තම ආත්ම අභිමානය පාවා දීමට හෝ බබුන් ව හැරදා ඔවුන් ලඟට යෑමට ඇය අකමැති වූවාය.

 "එයා මට හොඳයි මට නිදහසේ ඉන්ඩ ඇරලා යන්ඩ" 

මෙසේ පුංචි මැණිකා ප්‍රනාන්දු හට පවසන්නේ ඉතාමත් ඉවසීමෙන් ය. බැද්දේගම යනු කැලෑබද නොදියුණු පරිසරයක් වන අතර එහි වෙසෙන මිනිසුන් ජීවත්වීමට දරන වෑයම දන්නේ ඔවුන් පමණි. ඒ අතර ධනය හා බලය සහිත මිනිසෙකු ඉදිරියේ තම හැගීම් වහල් නොකර ගත් පුංචි මැනිකා සැබැවින්ම ඉවසිලිවන්ත ශක්තිමත් ගැහැනියකි.

" හේන් වාරයට අනුන්ගේ හේන් වල බස්තියන් අප්පුගේ, බාලඅප්පුගේ, පුංචිරාළගේ හේන් වල පවා ඈ වැඩ කළාය. පින් තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවාය."

ඉතාමත්ම දුෂ්කර වූ කටුක වූ බැද්දේගම නම් ගමේ ජීවිතය පවත්වාගෙන යෑම එහි වෙහෙස මිනිසුන්ට මහත් අභියෝගයකි. එදා වේල පිරිමසා ගැනීමට ඔවුන් විදින දුක් ගැහැට ඔවුන්ගේ ශරීරයෙන්ම කියැවෙන බව ලෙනාඩ් වුල්ෆ් මහතා සදහන් කර ඇත. එසේම එම ගමේ විවිධ දුක් ගැහැට මැද වෙසෙන කාන්තාවකි පුංචි මැණිකා. තම සහෝදරිය, තම පියා ද එසේම තමාගේ ස්වාමියා වූ බබුන් ද දැන් ඇයට අහිමි වී ගොස් හමාරය. රුදු කැලය මැද ඇති අභියෝගවලට දැන් එයට මුහුණ දීමට සිදුව ඇත්තේ තනිවමය. එදා වේල පිරිමසා ගැනීමට කුරක්කන් ටිකක් ලබා ගැනීමට පවා එයට ඉතාමත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. ස්වාමියා ද තමාට අහිමි වූ විට ඇය තමාගේ එදිනෙදා ජීවිතය ගෙන යාම පිණිස ඉතාමත් ඉවසීමත් මෙන්ම ශක්තිමත්ව මුහුණ දී ඇති ආකාරය "පුංචිරාලගේ හේන් වල පවා ඇය වැඩ කළාය" යනුවෙන් රචනා කර තිබීමෙන් අපට මනාව වටහා ගත හැකිය.

" හිර පල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බදාගෙන කෑ ගසන ගැහැණියකගේ විලාපයකි. ඒහෙත් පුංචි මැණිකා නිශ්ශබ්දවම එතනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇන තියා ගැනීම ඔහුගේ විමතියට හේතු විය."

පුංචි මැණිකා ගව් ගණන් දුර තරණය කරමින් ඉතා වෙහෙසකර ගමනකින් පසු අවසානයට තංගල්ලට පැමිණියේ තමාගේ ස්වාමිපුරුෂයා වන බබුන් දැක බලා ගැනීමටය. නමුත් අවසානයේ හිරපල්ලාගෙන් පුංචි මැණිකාහට දැනගන්නට ලැබුණේ මීට මාස දෙකකට ඉහතදී හිරගෙදර දී බබුන් මරණයට පත්වූ බවයි. 

පුංචිමැණිකා ඉතා වෙහෙසකර වූ ගමනක් වුවද තංගල්ලට පැමිණියේ බබුන් දැක බලාගැනීමේ මහත් වූ අභිප්‍රායක් ඇතිව ය. නමුත් ඇයට තම ස්වාමියා මිය ගියා යැයි දැනගන්නට ලැබීම ඇගේ ජීවිතේ ජීවත් වීමට තිබූ එකම බලාපොරොත්තුව සුන් වී යාමකි. හිරපල්ලා ද එම නිසා බලාපොරොත්තු වූයේ අත් හිස බදාගෙන විලාප නගන ගැහැනියකි. නමුත් පුංචිමැණිකා එම පුවත ඇසූ විට එය විද දරා ගත් සැටි හිරපල්ලාගේ ද මවිතයට හේතුවිය. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙකුට වඩා ගැහැණියකගේ දරාගැනීමේ ශක්තිය අඩු යැයි කීවද මෙලෙස සියලුම දුක උහුලන්නේ ගැහැනියකි. 

මෙහිදී ද පුංචිමැණිකාහට බබුන් ද මියගිය විට තනිව විසීමේ දී මුහුණ දීමට සිදුවන දුක් කම්කටොලු එමටය. එසේම බිය උපදවන වනයේ තනිව විසීමට නම් ජීවිතය ගැටගසා ගැනීමට දවස තිස්සේ වෙහෙස වී වැඩ කරමින් අභියෝගවලට මුහුණ දී නොසැලී සිටිය යුතුය. බබුන් මිය ගිය පුවත හමුවේ පුංචි මැණිකාගෙ දෑස් අභියස ද එම භයංකාර ඉදිරිය මැවෙන්නට ඇති බව නොඅනුමානය. නමුත් පුංචි මැණිකා ඉවසිලිවන්ත සහ ශක්තිමත් ගැහැනියක් ලෙස නොසැලී ක්‍රියා කිරීම අපට මෙම කතාවේ දී ලබා දෙන අගනා ආදර්ශයකි.

- උත්තරා රාජපක්ෂ -