Skip to main content

Follow on YouTube

සිංහල විචාර 14 - නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ- උසස් පෙළ

නවකතාව යන්න හදුන්වා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ පිළිබඳ විමසීමක යෙදෙන්න.

"ගද්‍ය මාර්ගයෙන් කරනු ලබන පරීක්ෂණාත්මක ප්‍රබන්ධ විශේෂය නවකතාව ලෙස හැදින්විය හැකිය. නව්‍ය අත්දැකීම් මගින් ප්‍රතිනිර්මාණය කරන්නාවූ කතා වස්තුවක් මගින් පාඨකයා කල්පත වූ සත්‍ය ලෝකයට රැගෙන යනු ලබන දීර්ඝ කාලයක් තුළ විකාශනය වන්නා වූ ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමය අධ්‍යයනය නවකතාවයි" යන බව කේ. ලේවර් විසින් පවසා ඇත. නවකතාවේ මූලාරම්භය කිවහොත් එය දිශානති කිහිපයක් ඔස්සේ පුළුල්ව විහිදී යන මූලාරම්භය සෙවීමට බෙහෙවින් අපහසු සාහිත්‍යයකි.

නවකතාවක් කෙටිකතාවක් මෙන් පහසුවෙන් අඩු කාලයකින් කියවා තේරුම් ගැනීමටද අපහසුය. කෙටියෙන් අවසන් නොවී දිගුවෙන් කතාව ගලා ගෙන යනවිට පාඨකයාගේ සිත වෙන මාර්ගයකට නොගොස් එම කතාව තුළම ඇද බැඳ තබා ගැනීමට තරම් ලේඛකයා කෙතරම් දක්ෂ විය යුතු ද?. නවකතා රචනා කරන රචකයො සියල්ලෝම දක්ෂයෝ යි. ඒ අතරින් සමාජයට නවකතාවකින් වටිනා පණිවිඩයක් ලබා දේ නම්, පාඨකයාගේ සිතෙහි ඇල්මක් ඇති කරවයි නම්, එම ලේඛකයාට සුවිශේෂී ලේඛකයන් අතර ද සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය. 

නවකතාකරු සාර්ථක වීමට අන්තර්ගත කරනු ලබන ලක්ෂණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. එවැනි ලක්ෂණ රැසක් වෙති. එම ලක්ෂණවලින් එක් හෝ කරුණක් ගිලිහී යෑම හේතුවෙන් පාඨකයා එය ප්‍රතික්ෂේප කළ හැකිය. එසේ ප්‍රතික්ෂේප නොකිරීමට නවකතාකරු අන්තර්ගත කරනු ලබන ලක්ෂණ පිළිබද විමසා බලමු.

කතාවක ඇත්තා වූ සිද්ධි මාලාව හා ඒවා එකිනෙකට සම්බන්ධ කරන පිළිවෙල කතා වින්‍යාසය නම් වේ. එසේ පවසා ඇත්තේ එඩ්වන් මුයර් විසිනි. ඒ අනුව නවකතාවේ සාර්ථකත්වයට බලපාන පළමු කරුණ මෙයයි. නවකතාකරු නවකතාව කිසියම් ආකාරයට ගලපන ලද සිදුවීම් මාලාවක් ඔස්සේ ඉදිරිපත් කරයි. එය නවකතාකරුගේ සුවිශේෂ හැකියාවකි. ගලපන්නා වූ කරුණු අතුරින් යම් හෝ කරුණක් නොගැලපේ නම් එය පාඨකයා අතර ප්‍රතික්ෂේප වන බව නොඅනුමාන ය. එහෙයින් මේ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය. පෙර සඳහන් කළ කරුණු පසු කරුනට සම්බන්ධ නොවීම පාඨකයාට ප්‍රභලව බලපාන ගැටලුවකි. එවැනි කිසියම් හෝ නොගැලපීමක් කතාවේ මුල සිට අග තෙක් නොවිය යුතුය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


නව කතාවක කෙටි කතාවක පමණක් නොව නාට්‍යයක ද පළමු සිදුවීම දෙවැන්න සමග නොගැලපේ නම්, එකිනෙකට සම්බන්ධ නොවේ නම් එය රංගනයක් බව ප්‍රේක්ෂකයාට සිතෙන හෙයින් එය ප්‍රතික්ෂේප විය හැකිය. ඕනෑම කලා නිර්මාණයක මෙම ගැටලුව සිදු නොවිය යුතුය. කතාවෙන් පිළිබිඹු වන සිදුවීම් මාලාව යම් හේතු ඵල සම්බන්ධයකට අනුව ගැලපීම මගින් කතාවින්‍යාසය ගොඩ නැගෙයි.එමනිසා කතා වස්තුවක කතා වින්‍යාසය මනාව නිරූපණය කළ යුතුමය.

මිනිස් ජීවිතය යථා ස්වරූපයෙන් සත්‍ය ලෙස අව්‍යාජව නිරූපණය කිරීම යථාර්ථ නිරූපණය යි. එනම් ජීවිතයේ යථාර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීමයි. නවකතාකරු තම ජීවිතයේ අත්විදි හෝ දෙඇසින් දුටු සිදුවීම් පාදක කරගනිමින් යථාර්ථය නිරූපණය කරයි නම් එසේ සිදු කිරීම ඉතා පහසු වනු ඇත. සාර්ථකව සිදුකර ගත හැකි ද වනු ඇත. එහෙත් ලේඛකයාගේ සිතෙහි මැවුණ සිතුවිල්ලක් නවකතාවට පාදක වේ නම් යථාර්ථ නිරූපණය අපහසු ය. මෙය ගිලිහී යාම නිසා ද පාඨකයා ඉන් ඉවත් විය හැකිය.

අත්දැකීම් හා බැඳුණු මිනිස් ක්‍රියාකාරකම් සත්‍ය ලෙසත් අව්‍යාජ බවිනුත් කියාපෑම නවකතාකරුවෙකුගේ කාර්යය විය යුතුය. මිනිස් ජීවිත ධාරිතාව පුළුල් කොට ජීවිතය පිළිබඳ අර්ථවත් දැනීමක් ඉදිරිපත් කළ හැකි වන්නේ යථාර්ථ නිරූපණය භාවිත කොට ගෙන ය.

නවකතාවක කලාත්මක සෞන්දර්ය පෝෂණය සඳහා චරිත නිරූපණය බෙහෙවින් ඉවහල් වේ. නවකතාවේ ජීවය එයයි. ලේඛකයාගේ අරමුණ කරා ගමන් කිරීමට නම් චරිත නිරූපණය කිරීමේ දී ප්‍රධාන චරිතය මෙන්ම සෙසු චරිත කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මිනිසකුගේ බාහිර ස්වභාවය මෙන්ම අභ්‍යන්තර ස්වභාවය ද චරිත උපයෝගී කොටගෙන මනාව නිරූපණය කරයි. ඇතැම් අවස්ථාවලදී කතාව කියවාගෙන යන විට එම චරිත අප ඉදිරියේ ඇති ද යන බව පාඨකයාට සිතෙන්නේ චරිත නිරූපණයේ ඇති හැකියාවෙනි. අකුරු එක්කොට වචන සාදා වචන එක් කොට වාක්‍යය සාදා, වාක්‍යය ගලපා කතාවට සම්බන්ධ කරන්නේ ලේඛකයා සිතින් දකින එම රූපය පාඨකයා ඉදිරියේ මවමිනි. එමගින් ලේඛකයා මිනිස් සිතුවිලි ක්‍රියාකරන ආකාරය මෙන්ම කතාව තුළ ඇති චරිත පාඨක සිතෙහි චිත්ත රූප මවන්නේ ද චරිත උපයෝගී කරගෙනය.

කතාව ආරම්භයේ දී මෙන්ම අවසානය දක්වාම චරිත ඒකාකාරයෙන් නිරූපණය කළ යුතුය ය. එය නවකතාවෙහි සාර්ථකත්වයට බලපාන ප්‍රභලම සාධකයකි. ප්‍රධාන චරිතය මෙන්ම අනෙක් චරිතය භේදයකින් තොරව නිර්මාණය කිරීම සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල්වේ.

ලේඛකයා විසින් තමා සතු අත්දැකීම් පාඨකයාට කවරෙකු මගින් ප්‍රකාශ කරන්නේද යන්න දෘෂ්ටිකෝණය මත පදනම් වේ. කතාවක සජීවී බාවයට හා ඒකීයතාවයට කථන ක්‍රමය මනා පිටුවහලක් වේ. කෙටිකතාකරුවෙකුට මෙන්ම නවකතාකරුවෙකුටද දෘෂ්ටි කෝණ දෙකකින් කැමති දෘෂ්ටි කෝණයක් යොදාගත හැකිය. ඒ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය හා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයයි. ලේඛකයාට මෙම දෙකම එක් කතාවකට යොදා ගත නොහැකිය.

ලේඛකයා තමා මූලික කොටගෙන නවකතාව ඉදිරිපත් කරමින්, නවකතාකරුවා පාඨකයාට තම අත්දැකීම් වඩා සමීපව රැගෙන යෑම සදහා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය භාවිත කරයි. මෙහිදී බොහෝවිට "මම" ප්‍රධාන චරිතය ලෙස භාවිත කරන අතර ඇතැම්විට අප්‍රධාන චරිතයක් ලෙස ද යොදා ගනී. ලේඛකයාගේ සිතැගි කාර්යයන් සපුරාලීමට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ප්‍රමාණවත් නොවිය හැකිය. මෙහිදී යොදා ගන්නා දෘෂ්ටිකෝණය ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයයි.

" සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වය සදහා මූලිකවම අවශ්‍ය වන්නේ භාෂාවයි. බස ප්‍රයෝජනයට ගැනීමේ දී නිර්මාණාත්මක වීම සාහිත්‍යකරුවාගේ ප්‍රධාන කටයුත්තකි" එසේ පවසන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසිනි.

නවකතාවක ප්‍රබලම මෙවලම භාෂාවයි. සාහිත්‍ය නිර්මාණයකට බෙහෙවින්ම ඉවහල් වනුයේ එම නිර්මාණය සතු භාෂාවයි. සාහිත්‍ය කලා නිර්මාණයකට සාර්ථකත්වයට ඒ සදහා යොදාගෙන ඇති බස අනිවාර්යෙන්ම හේතු කාරණා වේ. නවකතාව තුළ ගැමි චාරිත්‍ර මවාපාමින් ඔවුන්ගේ බස් වහර නාගරික වුවහොත් එය නොගැලපීමකි. එබැවින් පරිසරයෙහි වටපිටාව හොඳින් අධ්‍යනය කර සුදුසු බස් වහර යොදා ගත යුතුය. නාගරික පරිසරයක් තුළ වෙසෙන ලේඛකයෙකු ගැමි නවකතාවක් නිර්මාණය කරයි නම් ඔහුට ගැමි වචන ආදිය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම සරල බස් වහරක් තිබීමද වැදගත් වේ. නවකතාවකට සමාජයේ භාවිත නොකරන දිගු සංස්කෘතික වචන, ගැඹුරු වචන ආදිය ඇතුළත් කිරීම නොකළ යුතුය.

නවකතාවකට යොදා ගන්නා වචන අතර සමාන වචන ඇත්නම් ගලා යන කතාවට සුදුසුම වචනය තෝරා ගැනීම ලේඛකයාගේ කාර්යය වේ. කතා ප්‍රවෘත්තියේ සිට ජීවන දෘෂ්ටිය දක්වාම සෑම අංශයක් කෙරෙහිම එකිනෙකට මනා බැදීමක් ඇති වන්නේ භාෂා මාධ්‍ය හේතුකොටගෙන ය. එබැවින් ලේඛකයා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර නව කතාවේ අන්තර්ගත ලක්ෂණ අතර මෙය ප්‍රබල ලක්ෂණයක් වේ.

නවකතා රචකයා තමා ඉදිරිපත් කරන කතාවේ පසුබිම පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුය. මේ සදහා සත්‍ය ලෝකයේ අත්දැකීම් තිබීම රචකයාට විශේෂ වාසියක් වේ. පසුබිම් නිරූපණය නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම නිවැරදිව නිරූපනය කළ යුතුය.

ගැමි පසුබිමක් පාඨක සිතෙහි සිත්තම් කිරීමේ දී ගැමි නිවාස ගැමි මිනිසුන් යොදා ගත යුතුය. නාගරික මිනිසුන්, මහල් නිවාස ආදිය නිරූපනයෙන් නාගරික පසුබිමක් නිරූපණය කළ හැකිය. ගැමි පරිසරයක් තුළ දියුණු තාක්ෂණික අවස්ථා සුලබ බවක්, කාර්මිකකරණය ඉහළ බවක් නිරූපණය කරයි නම් නාගරික පරිසරයක් තුළ දුෂ්කර ප්‍රදේශයක ඇති දුෂ්කරතා නිරූපණය කරයි නම් එය පාඨකයාට ගැටලුවකි. කතාව ගලා යෑමේ දී දිගින් දිගටම ගැටලුව පවතියි නම් පාඨකයාට එහි මවාපෑමක් ව්‍යාජ බවක් හැගෙයි. පාඨකයාගේ විශ්වාසනීයත්වය රැකෙන පරිදි සුදුසු පසුබිමක් චරිතයන් හා සිදුවීම් ආදියත් ඇති මනා සම්බන්ධතාවක් රචකයාගේ සාර්ථකත්වයට හේතු වේ. ඒ නිසා නවකතාවක තිබිය යුතු වැදගත් ලක්ෂණයක් ලෙස පසුබිම් නිරූපණය හැඳින්විය හැකිය.

ලේඛකයා නිර්මාණයකට පාදක කර ගන්නා අත්දැකීම් පරිකල්පනයකින් යුතුව ජීවිතය, මනුෂ්‍යත්වය, සමාජ ක්‍රියාවලිය ආදී විෂයයන් වෙත බලපාන්නාවූ දෘෂ්ටිය ජීවන දෘෂ්ටිය ලෙස අර්ථ දක්වා ලිය හැකිය. කලාකරුවකුගේ ප්‍රධාන අරමුණ පාඨකයා ගේ ජීවිතයට වටිනා දෙයක් ලබාදීමයි. නවකතාව අවසානයේ හෝ යම් යම් අවස්ථාවල සමාජයේ මිනිසුන් අත්විදින ගැටළු මිනිසුන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර සිතුවිලි සමාජ පන්ති වැනි දේවල් පිළිබඳ ලේඛකයා දකින සිතන සිතුම් ආදිය ජීවන දෘෂ්ටිය කරගනී. පාඨකයාගේ සිත නවකතාව තුළම රදවා ගැනීමට මෙන්ම එම රචකයාගේ වෙනත් නවකතා කියවීමට යොමු වීම ඔයාගේ සාර්ථකත්වයයි. පාඨකයා අත්දැකීම් ලබාගැනීමට කැමැති වීම නිසාම එවැනි නිර්මාණ අගය කරයි. කතුවරයාගේ ජීවන දෘෂ්ටිය හදුනාගැනීමට කතාවින්‍යාසය, චරිත නිරූපණය හා අර්ථවත් අත්දැකීම් හේතුවේ. රචකයා මේ කරුණු කෙරෙහි හෙළන දෘෂ්ටියෙන් පාඨකයාට පැහැදිලි ජීවන අවබෝධයක් ලබාගත හැකිය. නවකතාවක් තුළ රචකයා වටිනා වූ ජීවන දෘෂ්ටියක් සමාජගත කිරීම නව කතාවේ සාර්ථකත්වය ප්‍රභලව බලපාන සාධකයකි.

ඒ අනුව නවකතාවකින් රචකයා පාඨකයාට උපරිම රසය ලබාදීමට මෙන්ම පාඨකයන් අතර ඉස්මතු වීමට ඉහත දැක්වූ ලක්ෂණ සියල්ල සැලකිල්ලට ගෙන නවකතාව තුල අන්තර්ගත කිරීම මහගු උපකාරී වේ.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල




Key words 

නවකතාව යනු
නවකතාව පිළිබඳව විචාර 
නවකතා විචාර ලිවීම