"මලසුන් ගෙය පැන් නොදැක මල්පැස දුව අතට දී පැන් ගෙනෙනු සදහා කළය ගෙන.."
බොහෝවිට දරුවන් ක්‍රියා කරන්නේ මව සිදුකරන දෙය දෙස බලා ය. එහෙත් මෙම දුව ඊට තරමක් වෙනස්ය. දුව සමඟ පන්සල් ගොස් වත්පිළිවෙත් සදහා මල් අසුන් ගෙය පිරිසිදු කිරීමට පැන් කළයක් ගෙන ඒමට මව යන්නේ ගෙන ආ මල් ආදිය දුකට දෙමිනි. මව ඒමට පෙර දුව එම මල් බුදුන් ඉදිරියේ පුදන්නේ මල් අසුන නොසෝදා තමාගේ දෙයත් ද නොසෝදාය. මෙම මව තම දුව ඉදිරියේ වත් පිළිවෙත් වලට සැරසෙන පිළිවෙල ආදර්ශමත් ය. ඒ අනුව මෙහි මවගේ පිළිවෙල බව ඇය සතු හොඳ ගුණාංගයක් ලෙස දැක්විය හැකිය.
මෙසේ කථා වස්තු ආරම්භයේදීම ඇයගේ හොඳ දකින අතරම ඉන් පසු ඇය සතු නරක ගුණාංගයක් ද ඉතා සියුම් ලෙස කතුවරයා විවරණය කරයි.
"එම්බල චණ්ඩාල කෙල්ල, අත්‍යන්ත නිර්මල වූ බුදුරජාණන් වහන්සේට මලස්න නොසෝධා කුමක් පිණිස මල් පිදී ද, තී කළේ කටයුත්තෙක් නොවේ."
කොතරම් ශ්‍රද්ධා වන්තයෙකු වූවද මනුෂ්‍ය සිතෙයි හටගන්නා කෝපය පාලනය කරගත හැක්කේ ඉතා සීමිත දෙනාට පමණි. මෙම කතා වස්තුවෙහි මව ඉතා ශ්‍රද්ධාවන්ත කාන්තාවක් වූවද පන්සල් භූමියේ දී ම කෝපයෙන් නරක අයුරින් තම දුවට බැන වදින්නේ ඈ සතු දුර්ගුණයන් පාඨකයා ඉදිරියේ තබමිනි. මෙහිදී දුව කළ වරද පහදා නොදී එවන් ස්ථානයක කෝපය පාලනය නොකොට බැනීමෙන් දුවද අම්මට පෙරලා බැන වදියි. එමනිසා දුවගේ පසු ආත්මයට ද එය ප්‍රබල ව බලපාන්නේ මවගේ දුර්ගුණය නිසාවෙනි. මව තුළ පවතින හොඳ ගුණයන් පෙන්වා දුන් කතුවරයා ඒ ඈ සතු දුර්ගුණයක් ද එසේ පෙන්වා දෙන්නේ පුද්ගල ජීවිත වල ස්වභාවය පහදා දෙමිනි.
කතාවස්තුවේ දුවගේ චරිතය ද එලෙසම නිර්මාණය කර තිබේ. කතාව ආරම්භයේ දී දුව හොඳ චරිතයක් ලෙස සිතිය හැකිය. තම ශ්‍රද්ධාවන්ත මවගේ ඇරයුමින් එය ප්‍රතික්ෂේප නොකොට මව සමග ආගමික කටයුතු සදහා යොමු වීම හොද ලක්ෂණයකි.
ඉන් පසු ඇයගේ චරිතය නිරූපණය කොට ඇත්තේ නරක ගති පැවතුම් ඇති දුවෙකු ලෙසය.
"..දූ තොම මලස්න නොසොධා අත ශුද්ධ නොකොට තමාගේ මව නොඑන තෙක් ම මල් මිටක් ඇරගෙන මණ්ඩලාකාරයෙන් වට කොට පුදා මෙසේ ප්‍රාර්ථනා කළාය"
මව සමඟ පන්සල් ගිය දියණිය සිටියදී මව මල් අසුන සේදීමට පැන් කළයක් ගෙන ඒමට ගිය අවස්ථාවේ දියණිය තම අත් පිරිසිදු නොකොට මලසුන නොසෝදා වත් පිළිවෙත් සිදු කර අවසන් වන්නේ මවගේ බසට අවනත නොවන දුවක ලෙසයි. ඇයගේ එම නිශ්ඵල ක්‍රියාවෙන් සහ ඇයගේ හැසිරීමෙන් කතුවරයා දක්වන්නේ තරුණියකගේ සිතේ සිතුවිලි ක්‍රියා කරන අයුරුද විදහා දක්වමිනි.
ඇය සතුව තවද නරක දේ වේ. ප්‍රාර්ථනාවක් සිදුකිරීමේදී ඒ පිළිබඳව හොඳින් සිතා බැලිය යුතුය. කතා වස්තුවෙහි දුවගේ ප්‍රාර්ථනය නම් ප්‍රයෝජනයක් රහිත නිශ්ඵල නොසුදුසු එකකි.
" උපනුපන් ජාතියෙහි යහපත් රූ ඇති වෙම්වයි මනොඥ වූ ආරොහපරිණාහයෙන් යුක්ත වෙම්වයි.."
ඇය ප්‍රාර්ථනා කළේ උපදින ජාතියෙහි උසට සරිලන මහතකින් යුතු ශරීරයෙන් ආලෝකය විහිදෙන පුරුෂයන් දුටු විට ඔහු කාමයෙන් සිහි විකල් වන ලස්සනක් සහිත මිහිරි කටහඬකින් යුතු කාන්තාවක් විය යුතු බවයි. එය පිං සිතින් තොරව කරන ලද ලද බොලඳ ප්‍රාර්ථනයක් වූවද පසු ආත්මයේදී ඉතා අලංකාර රූප ශෝභාවක් සහිතව උපත ලැබීය.
තවද, තමා කළ වරද නොපිළිගෙන මවට බනින්නේද ඇය සතු තවත් නරක දුර්ගුණයක් පාඨකයාට හගවමිනි.
"චණ්ඩාල කෙලි නම් තෙපි මයැ"
දෙමාපියන්ට ඇති වටිනාම වස්තුව තම දරුවන් ය. ඔවුන් නිරන්තරයෙන් ජීවිතයේ බොහෝ අත්දැකීම් සහිතයෝ ය. එම අත්දැකීම් මගින් තම දරුවන්ගේ ජීවිත සාර්ථක කරලීමට ලබාදෙන උපදෙස් වල පවත්නා වටිනාකම නොදන්නා දරුවන් ඒවා නො පිළිපැද සිටින අවස්ථා අපට සමාජයේ දී දැක ගත හැකිය. කතාවස්තුවේ දුව ද එසේමය. මව කී දෙය නො අසා මවට බැන වදින්නේ දුවෙකු විසින් මවකට නොකළ යුත්තක් කරමිනි. එය ඇයගේ පසු ආත්මයට ද බලපාන්නට තරම් ප්‍රබල වරදකි. මෙලෙස කතුවරයා දුවගේ චරිතයෙහි පවත්නා හොඳ සහ නරක සියුම් ලෙස විවරණය කොට ඇති බව මෙකී අතීත කතාවෙන් සනාථ වෙයි.
අතීත කතාවේ දුව වර්තමාන කතාවේ ස්වර්ණතිලකා ය. ඇය පෙර ආත්මයක කළ ප්‍රාර්ථනය නිසා රූපයෙන් ඉතා අලංකාරව උපත ලැබිණි. එහෙත් මවට පන්සලේදී චණ්ඩාල කෙල්ල ලෙස බැනි නිසා චණ්ඩාල කුලයේ ඉපදුණි. ඇය රූපයෙන් ඉතා ලස්සන බැවින් ඇයට ස්වර්ණතිලකා යනුවෙන් දෙමව්පියන් නම් තැබූහ.
".. අසා චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුත්‍රයාට පිළිකුල් ව නොයෙක් ආක්‍රෝශ පරිභව බැණ නින්දා කළාය.."
රූපය උසස් වූවද කුලයෙන් පහත් නිසා ඇයව විවාහ කරගැනීමට කිසිවකුත් අකමැති වුවද එම කුලයේ ම බ්‍රාහ්මණ කෙනෙකුන්ගේ පුතෙකු ඇය විවාහ කර ගැනීමට යෝජනාවක් රැගෙන ආ විට රූපයේ උඩඟුකමින් ඔහුට අපහාස කරමින් බනින්නේ ස්වර්ණතිලකාගේ ඇති ඉතා නරක දුර්ගුණයන් පාඨකයා හමුවේ දක්වමිනි.
වර්තමාන කතාවේ අනෙක් ප්‍රධාන චරිතය නම් උද්දාල බමුණාගේ චරිතයයි. ස්වර්ණතිලකා යන මාලිගා පහේම රජවරු කියන්නේ ඇයට පංච මධුරාපුර උද්දාල බමුණා හමුවන ලෙසයි. රාජධානි පහක රජවරු ඔහු ගැන දැන ගැනීමට තරම් උද්දාල බමුණා කීර්තිමත් පුද්ගලයෙක් සහ කුමාරවරු පන්සියයකට අධික පිරිසකට ඔහු ශිල්ප උගන්වති. ඔහුගේ මව සහ පියා ඉතා උසස් ජාති සම්පන්නය. උද්දාල බමුණු යම් ස්ත්‍රියක් දුටුවහොත් කිරි පැණින් සොළොස් කාලයක් මගදිගට ඉස්සවා කිරි පැණින් මුහුණ සෝදා ගනී. මෙලෙස බමුණු චරිතය කාමයෙන් තොර හොඳ චරිතයක් ලෙස නිර්මාණය කරයි.
පසුව උත්තර මධුරාපුරයෙන් පැමිණි ස්වර්ණතිලකා දැක ඇය කෙරෙහි සිත් ඇතිව ස්ත්‍රීලෝලී ලෙස ක්‍රියා කරයි.
"..සිනිදු දත්පෙළෙහි මනහර සුදු රසින් භින්නවර්ණ වූ අතිරක්ත අධරයුග්මය පොපි දෙවා මඳ මඳ සිනා පහළ කෙරෙමින්.."
ස්වර්ණතිලකා දැක ඇය කෙරෙහි සිත් පහදවා ගත් බමුණා තමා ලඟ ශිල්ප හදාරමින් සිටි සිසුන්හට ශිල්ප ලබා නොදී හැසිරෙන්නේ ඔහුගේ ස්ත්‍රීලෝලී බව නිසාවෙනි. පෙරදී කීර්තිමත් පුද්ගලයෙකු ලෙස ජීවත් වූ බමුණාගේ දුර්ගුණයන් මෙලෙස අපූර්ව ලෙස නිර්මාණය කර ඇත්තේ පුද්ගල ජීවිතයේ කෙබඳු පුද්ගලයෙකු තුළ ද හොද සහ නරක යන දෙකම පවතින ව්‍යංගවත් කරමිනි.
ඒ අනුව සද්ධර්මාලංකාරයේ අන්තර්ගත ස්වර්ණතිලකා කතා වස්තුවේ අතීත කතාව සහ වර්තමාන කතාව යන කතා දෙකෙහිම චරිත වල හොඳ සහ නරක යන දෙක සියුම් ලෙස විවරණය කොට තිබෙන බව ඉහත නිදසුන් මගින් සනාථ වේ.
නන්දිවාණිජ කතාවද සද්ධර්මාලංකාරයේ එන ඉතා රසවත් ඉපැරණි කතා පුවතකි. මෙහිදී කතුවරයා සරල බස් වහරක් උපයෝගී කර ගෙන ඇති අතර එම කථා වස්තුව තුළින් ද පුද්ගල ජීවිතයේ හොඳ සහ නරක දක්වා තිබේ.
මෙහි නන්දිය වෙළෙන්දා කෙබදු වූ කෙනෙක් දැයි යන වග කතාවස්තුව ආරම්භයේදීම මෙලෙස පවසයි.
"..වෙළෙදාණෝ ශ්‍රද්ධාසම්පන්නය.." ඔහු ඉතා ශ්‍රද්ධා සම්පන්න කෙනෙකි. ඔහු සමග වෙළද කුලයකින් රූපසම්පන්න කුමාරිකා කෙනෙකුන් සතුටින් කල් ගෙවීය. ඔහු තමාට වෛර කරන්නන් හටද මෛත්‍රී කරයි. මෙම වෙළෙන්දා තම වෙළදාම් කටයුතු සදහා වෙනත් රටවල් (විදේශ රටවල්) කරා ගමන් කරයි. ඔහු තම බිරිඳ කෙරෙහි ඉතා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ස්වාමිපුරුෂයෙකු බවද පැවසිය හැකිය. ඔහුගේ චරිතය කතුවරයා පාඨකයා ඉදිරියෙහි මවා පාන්නේ ඒ අයුරිනි.
නන්දිය වෙළෙන්දාගේ බිරිඳ කතාවස්තුව පුරාවටම දක්වන්නේ හොඳ කාන්තාවක ලෙසිනි. මේ කාන්තාව කෙරෙහි සිත් ඇදී බැදී ගිය එක්තරා අමාත්‍ය වරයෙක් ඇය කෙරෙහි සිත් ඇතිව දිනපතා දාසියක අත මේ කාන්තාවට රන් පවුම් වරින් වර යැවීය. එහි දී ඇය එම සෑම විටකදීම බුද්ධි සම්පන්නව මේ ඇමතියාට කාම සේවනයෙහි දොස් හදුන්වා එවීය. ඒ කිසිවක් නො ඇසූ ඇමති අවසානයේ දී මෙලෙස පවසයි.
"එම්බා නැගණියනි, මාගේ ගෙහිමියාණෝ ඒකාන්තයෙන්ම නැත්නම් එදවස් දන්නෙම් වේ .."
තම සැමියා නොමැති බව නිශ්චිතව දැන ගත හොත් පමණක් ඇය ඔහුට කැමති වන බව පවසන්නේ ඇමතිගෙන් බේරීමට නොහැකිම අවස්ථාවේ දීය. මෙම බිරිඳගේ චරිතය නිර්මාණය කර ඇත්තේ ඉතා හොඳ පතිභක්තියෙන් යුතුව කටයුතු කරන කාන්තාවක් ලෙසටය. වස්තු ලෝභී නොමැති කාන්තාවක් ලෙසටය.
තවද,
ඇමති නන්දිය වෙළෙන්දාගේ භාර්යාව තමන් වෙත යොමු කර ගැනීමට නොහැකි වූයෙන් නන්දිය වෙළෙන්දා මරා දැමීමට කළ හූනියම නිසාම ඔහු විනාශ විය. අනුන්ට කපපු වලේ තමන්ම වැටී මිය යන ඇමති පෙර දී බිරිඳට කල සියල්ල ම අමතක කර අවසානයේ දී ඔහු මියගිය පසු ඔවුන් දෙදෙනාම එක්ව ඇමතිට පිං අනුමෝදන් කරනුයේ පෙර සිදු වූ සියලුම දේ අමතක කරමිනි. තමාට කරදර කල කෙනෙකුට වූවද වෛර නොකර මෛත්‍රී සහගත සිතින් යුතුව කටයුතු කරන මෙම දෙපලගේම ඇති හොඳ ගති පැවතුම් ඉතා අපූර්ව ලෙස නිර්මාණය කොට ඇත්තේ අඹු සැමි යුවලකට උපදෙසක් ද ලබා දෙමිනි.
මෙම කතාවේ අනෙක් ප්‍රධාන චරිතය නම් සිව ඇමති චරිතයයි. කතාවස්තුව පුරාවටම ඔහුව නිර්මාණය කරන්නේ දුර්ගුණ සහිත නරක මෙන්ම නූගත් පුද්ගලයෙකු ලෙසයි. ඔහුගේ චරිතයෙන් සමාජයට ගත හැකි ආදර්ශ බොහෝ ය.
රජයේ දෑ එක් අයෙකුට පමණක් අයිති නොවිය යුතුය. එය රට තුළ ජීවත්වන සියල්ලටම ද පොදුවේ ලැබිය යුතුය. එහෙත් ඒවා භුක්ති විදින්නේ රට පාලනය කරනු ලබන පාලකයින් පමණි. රටක ජනතාව ඉතා දුන් මහන්සි වී රැස් කරගන්නා වූ ධනය රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නොව පාලකයින්ගේ ඕනෑ එපාකම් සදහා වැය කරන අයුරු අපට නන්දිවාණිජ කතාවස්තුව තුළ දැකගත හැකිය.
"..කෙල්ලක කැඳවා කිසිකෙනෙකුන් නොදන්නා ලෙස රහසින් රන් දහසක් දී .."
තමාගේ සිත් බැදි කාන්තාව ලබා ගැනීමට පළමුව ඇයට රන් දහසක් යැවීය.
"..කිසිවකුත් නොගිවිස දෙවනුව පඩුරු දෙදහසක් යැවීය"
පළමු වර අකැමැති වූ නිසා දෙවන වර ඇයට රන් දෙදහසක් යැවීය.
"..තමාගේ කෙල්ල අතින් එපවෙත් අසා ඒ බසටත් නොපසුබැස සාර දහසක් දී එම කෙල්ල නික්ම වීය"
දෙවෙනි වරද ඇය අකමැති වූ නිසා තෙවන වර දී රන් හාර දහසක් යැවීය.
" අමාත්‍යයා ස්වභාවයෙන්ම මූඩ හෙයින් පළමු තුන් වාරයට වඩා පඩුරු දී කෙල්ල.."
අවසානයේ දී තෙවන වරටත් වඩා රන් දී යැවීය. ඇය පවසන දේට අවනත නොවී මෝඩ ලෙස ස්ත්‍රී ලෝභී ව කටයුතු කරන ඇමති මේ සෑම අවස්ථාවේදී ම යවන්නේ රජයේ මුදල් ය. ඒවා ඔහුට අයිති නොවන වස්තුවකි. රටේ ජනතාව දුක් මහන්සියෙන් සොයා ගන්නා ධනය ඔහු මෙලෙස නූගත් අයුරින් හානි කරන්නේ නිෂ්ඵල ක්‍රියාවන් සදහාය. රජයේ මුදල් අයථා ලෙස භාවිතා කරන ඇමතිගේ මෙම නරක ක්‍රියාව කතුවරයා සියුම් ලෙස විවරණය කොට ඇත.
තවද රාජකාරියක් සදහා ගිය පසු තමාගේ රාජකාරිය ද නිවැරදිව නොකරයි. වෙනත් අයකුගේ බිරිදක් ලබා ගැනීමේ අරමුණෙන් රාජකාරිය නිවැරදිව නොකිරීම ඔහු සතු දුර්ගුණයකි.
ශ්‍රද්ධා සිතින් පතිභක්තියෙන් යුතුව කටයුතු කරන බිරිදකගේ සිත වෙනස් කිරීමට සැරසෙනුයේ ස්ත්‍රී ලෝභී සිතෙන්ය. ඇයව ලබාගැනීමට රජයේ මුදල් අයථා ලෙස භාවිතා කරන්නේද රාජකාරිය නිවැරදිව නොකරන්නේද ඔහු සතු ස්ත්‍රී ලෝභී බව නැමති දුර්ගුණය නිසාවෙනි.
තවද දුර්ගුණයක් ඔහු සතුය. තම රාජකාරිය නොකර රාජ්‍ය සේවකයින් තම නිශ්ඵල ක්‍රියාවන් සදහා බොහෝ සේවකයින් යොදා ගනී. අවසානයේ දී මෙලෙස නන්දිය වෙළෙන්දාගේ බිරිඳ ලබා ගැනීමට ඇයගේ සැමියා මරා දැමීමේ අරමුණින් සූනියම් කිරීම ඔහු සතු ප්‍රබල දුර්ගුණයකි.
මේ අයුරින් කතාවස්තුව අවසන් වන තුරාම අමාත්‍යවරයා සතු නරක නූගත් ක්‍රියාවක් අපූර්ව අයුරින් නිර්මාණය කොට ඇත.
ඒ අනුව මෙම සියලු නිදසුන් අධ්‍යයනයෙන් පෙනී යන්නේ කතා වස්තු දෙක තුළම සද්ධර්මාලංකාර කතුවරයා පුද්ගල ජීවිත තුළ පවත්නා හොඳ සහ නරක යන දෙකම සියුම් ලෙස ඉතා සාර්ථක අයුරින් නිර්මාණය කිරීමෙහිලා බෙහෙවින් සමත් වී ඇති බව ය.
H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
....................................................
....................................................
02. අතෘප්තිකර ආශාවන් සපුරාගැනීමට යාම හේතුවෙන් පුද්ගල පරිහානියට පත්වීම හා එබදු සිදුවීම් පැහැදිලි කිරීම සදහා යෝග්‍ය ධර්මෝපදේශ යොදා ගැනීම සද්ධර්මාලංකාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් වේ. නියමිත කතා ඇසුරින් පිරික්සන්න.
ගම්පොල සාහිත්‍ය යුගයේ දෙවන ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරය ඉතා විශිෂ්ට ගනයේ කෘතියකි. පාලි රසවාහිනිය ඇසුරු කර ගනිමින් හිමියන් මෙම කෘතිය රචනා කර ඇත. දෙවන ධර්මකීර්ති හිමියන් මෙම කෘතිය රචනයේදී අතෘප්තිකර ආශාවන් සපුරාගැනීමට යාම හේතුවෙන් පුද්ගල පරිහානියට පත්වීම හා එබදු සිදුවීම් පැහැදිලි කිරීම සදහා යෝග්‍ය ධර්මෝපදේශ යොදාගෙන තිබෙන බව පැහැදිලි වන අතර උදාහරණ සහිතව ඒ පිළිබඳව විමසා බලමු.
සද්ධර්මාලංකාර කතු හිමියන් ස්වර්ණතිලකා කතා වස්තුව උපයුක්ත කොට ගනිමින් අසීමාන්තික ආශාවන් සපුරාගැනීමට යාම හේතුවෙන් පුද්ගලයන් පරිහානියට පත්වීම අපූර්ව ලෙස දක්වා ඇත. පහත උදාහරණය මගින් ඒ පිළිබඳව විමසා බලමු.
"එකල්හි ඒ උද්දාල බ්‍රාහ්මණයා ද මෙබඳු ස්ත්‍රි රත්නයකින් වියෝව ජීවත් වීමට වඩා මිය යාම යහපතැ'යි මහත් වූ ශෝකයෙන් නොයෙක් ප්‍රලාප කිය කිය හැඩමින් රාජාංගනයේ දර සෑයක් බඳවා ගිනි වැඳ මළේය"
පංච මදුරා පුරයට පැමිණි ස්වර්ණතිලකාවන් තම රූපශ්‍රීය උද්දාල බ්‍රාහ්මණයාහට පෙන්වයි. මෙතෙක් කල් කිසිදු ස්ත්‍රි කෙනෙකුන් දෙස නොබැලූ ස්ත්‍රියක් දුටු කල්හි කාලකණ්නියක් දැක්කා යැයි අපවාද කියන ඔහු ස්වර්ණතිලකාගේ රූපසම්පත්තියෙන් වශී වී සිහිය සුන්වී ගියේ ය. ඈ දුටු මොහොතේ පටන් කිසියම් රෝගයක් වැළදුනාක් මෙන් කර කියා ගනු නොහැකිව කටයුතු කලේය. පසුව ඇය අවිවාහක යැයි දැන ඇය විවාහ කර ගන්නා මෙම උද්දාල බ්‍රාහ්මණයා සාරමසක් නොයන තුරුම ශිෂ්‍යයන් හට ශිල්ප ශාස්ත්‍ර දීමටද නොයයි. මෙයින් කුපිත වූ ශිෂ්‍යයෝ ස්වර්ණතිලකාවන් මැරවීම සදහා මදකිපුනු ඇතෙකු හට රා පොවා යවයි. ඒ උත්සාහය ද නිෂ්ඵල වූ අතර පසුව දෙවන දිනයේ රාත්‍රියේ ඇය මරවයි. ඇය මියයාමේ ශෝකය නිසා උද්දාල බ්‍රාහ්මණයා නොයෙක් කතා කියමින් ශෝකයෙන් හඩමින් කාලය ගත කරයි. පසුව ඔහු රාජාංගනය ඉදිරියෙහි දර සෑයක් බඳවා එයට පැන මරණයට පත් විය. මෙහිදී කතු හිමියන් යහපත් ජන සමාජයක් ගොඩ නැගීම අරමුණ කරගෙන ඇත.
මෙහිදී ස්වර්ණතිලකා බ්‍රාහ්මණ පුත්‍රයා විසින් ගෙන එන ලද විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කොට ඔහුට බැන අපවාද කිරීම හා තම රූ සපුවෙන් උදම් වී වංශවතෙකු විවාහ කරගැනීම සදහා රජුගේ අභියෝගය පිළිගෙන අවසානයේ උද්දාල බමුණා ඇයගේ ස්වාමියා බවට පත් කොටගෙන එහි අවසන් ප්‍රතිඵලය ලෙස අකල් මරණයකට ගොදුරු විය. අවසානයේ ස්වර්නතිලකා කෙරෙහි අතිශයින්ම ඇලුම් වීම හේතුවෙන් සිය වගකීම් ද පැහැර හැරි උද්දාල බමුණා සිය ජීවිතයද අහිමි කරගනී. ඉහත උත්ත කරුණු මගින් කතු හිමියන් ශ්‍රාවකයන් හට දැන්වීමට උත්සාහ කරන ලද්දේ අසීමිතව කෙනෙකුට ඇලුම් කරයි ද එය ජීවිතයේ පරිහානිය තමා විසින් ළඟා කර ගැනීමක් බවයි. ඒ බව ඉහත උදාහරණ මගින් අපට මනාව පැහැදිලි වේ.
" මේ බදු වර්ණසෞන්දර්යයෙන් හා රූප සම්පත්තියකින් යුක්ත වූ ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට ජීවිතයෙන් ප්‍රයෝජන කිම්ද? යි ශෝකාතුරව නොයෙක් ප්‍රලාප කියා හඩමින් කාමයෙන් මත්ව කටයුතු නොකටයුතු සලකාගත නොහී කඩුව ගෙන තමන් හිස තුමුව ගසා මළහ"
ස්වර්ණතිලකා තම පියා සමග උත්තර මදුරාපුරයෙන් පංච මධුරා පුරය දක්වා යන ගමනේ දී එක් එක් රාජ්‍යයන්හි රජකුමාරවරුන් මුණගැසෙයි. එහිදී එම කුමාරවරු ස්වර්ණතිලකාගේ රූපශ්‍රීය දැක වශීකෘත වී ඇය විවාහ කර ගැනීමට සැරසෙයි. නමුත් එය සැඩොල් කුලයේ නිසා ඇය විවාහ කර ගත හොත් පැමිණෙන්නා වූ නින්දා අපහාස වලට බියෙන් ඇය විවාහ නොකර ගති. මෙසේ කුමාරවරු පස්දෙනෙකු ඇයගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත් ව ඇයව ලබා ගැනීමට නොහැකිවීමේ ශෝකයෙන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ජීවිත විනාශ කර ගත්තේය. අධික ලෙස කාමයෙන් මත් ව තම සිතැඟි සපුරා ගත නොහැකිව සියතින් ම තම දිවි අහිමි කරගන්නා අයුරු සද්ධර්මාලංකාර කතුහිමියන් අපූර්ව ලෙස දක්වා ඇත. මෙහිදී කතුහිමියන් දක්වනුයේ අතෘප්තිකර ආශාවන් සපුරා ගැනීමට යාම හේතුවෙන් ජීවිත පරිහානියට පත් වන ආකාරයයි. ඒ බව ඉහත උදාහරණය මගින් ද මනාව පැහැදිලි කරයි.
ඉහත සදහන් කල අතෘප්තිකර ආශාවන් සපුරාගැනීමට යාම හේතුවෙන් පුද්ගල පරිහානිය ලගාවන අතර කතු හිමියන් එම සිදුවීම් පැහැදිලි කිරීම සදහා අපූර්ව ලෙස ධර්මෝපදේශ යොදාගෙන ඇත. පහත දැක්වෙන්නේ එවැනි උදාහරණයකි.
"එබැවින් ස්ත්‍රින්ගේ වසගත්වයට පැමිණියාවූ කාමී පුරුෂයෝ පරලොව විදිනා අපාය දුක් තබා මෙම ජාතියෙහි මෙසේ නොයෙක් වසන විද මරණයටත් පැමිණෙන්නාහුමය"
සද්ධර්මාලංකාර කතු හිමියන් විසින් අතෘප්තිකර ආශාවන් සපුරාගැනීමට යාම හේතුවෙන් තමාගේ ජීවිතය තමා විසින්ම විනාශ කර ගන්නා අයුරු ධර්මෝපදේශ යොදාගනිමින් අපූර්ව ලෙස රචනා කර ඇත. කතු හිමියන් මෙහිදී පුද්ගල පරිහානියට පත්වන හේතු දහම් කරුණු මගින් සදහන් කරමින් රචනා කර ඇත. ස්ත්‍රීන්ට ලොල් වී කාමාශාවෙන් මත්වී සිටින පුරුෂයෝ මෙලොව පමණක් නොව පරලොව ද නොයෙක් ව්‍යසනයට පත් වේ. මෙසේ පුද්ගල පරිහානියට අසීමිත ආශාවන් බලපාන බව පවසන කතුහිමියන් එම සිදුවීම් ඇසුරෙන් ම ඊට අදාල උපදෙස් ලබා දෙන්නේ මෙසේ ය. ඒ බව ඉහත උදාහරණ මගින් පැහැදිලි වෙයි.
සද්ධර්මාලංකාරයේ එන නන්දිවාණිජ කතා වස්තුවෙන් ද අතෘප්තිකර ආශාවන් සපුරා ගැනීමට ගොස් පරිහානියට පත් වූ ආකාරය අපූර්ව ලෙස පෙන්වාදී ඇත. පහතින් දැක්වෙනුයේ ඊට කදිම නිදසුනකි.
"යම්තාක් මාගේ ස්වාමිපුත්‍රයාණෝ ජීවත්ව ඉද්දී ද ඒ තාක් කල් ම මට අනිත් ගෙහිමියෙක් නම් නැත"
මාඔටු නම් පටුන්ගම නන්දිය නම් වෙළෙන්දෙක් විසීය. මේ වෙළෙන්දානන් තුන් අවුරුද්දක්ම නැව් නැග කල් ගෙවීය. එම කාලයේ දී රජ්ජුරුවන් විසින් එම ප්‍රදේශයේ බදු අය කිරීම සදහා සිව නම් අමාත්‍ය කෙනෙකු පත් කරන ලදී. එම අමාත්‍යවරයා එම ප්‍රදේශයේ ගමන් කරන අතරවාරයේදී සිව අමාත්‍යවරයාගේ බිරිද දකී. ඇය දැකීමෙන් සිව අමාත්‍යවරයා රාගයෙන් මත් වෙයි. පසුව ඇය ලබාගැනීමේ අදිටනින් සේවිකාවන් ලවා ඇය වෙත කහවනු යවයි. ඇය එය ප්‍රතික්ෂේප කරයි. නැවත නැවත ද සිව අමාත්‍යවරයා කහවණු ප්‍රමාණය වැඩි කරමින් සතර වරක් එලෙස යවයි. සතරවන වාරයෙහි ඇය සිව අමාත්‍යවරයාට තදින් කියා යැවිය යුතු යැයි සිතා සිව අමාත්‍යවරයා කුමන දේ සිදු කලත් තමා තම ස්වාමිපුරුෂයා ජීවත්ව සිටිය දී වෙනත් පුරුෂයන් කරා නොයන බව තරයේ පවසයි. සිව අමාත්‍යවරයා මෙසේ වෙළද භාර්යාව හමුවේ තම ආත්ම ගරුත්වය හානි කර ගනී. අසීමිත ආශාවන් පසු පස හබායෑම නිසා තමන්ගේ ජීවිතය පරිහානියට ලක්කර ගනී.
තවද මෙම නන්දිවාණිජ කතාවස්තුවේ තම ජීවිතය පවා හානිකර ගැනීමට අතෘප්තිකර ආශාවන් හේතු වී ඇති බව පෙන්වා දී ඇත.
"එසේම සතර වන වාරයෙහි ආවේශ කරවා නික්ම වූ කල්හි ගොසින් වෙළෙන්දානන් කරා වැද්ද හොති"
"ආපස්සේ ඇවිත් අමාත්‍යයා හා යකදුරා දෙපලුකොට පොලු ගසා ආවේශව ගිය.."
වෙළද භාර්යාව අවසානයේ දී කී දෙය අසා සිව අමාත්‍යවරයා නන්දිය වෙළෙන්දා ජීවත්ව සිටින තුරා තමාට ඇය ව ලබාගත නොහැකි වීමෙන් අමාත්‍යවරයා නන්දිය වෙළෙන්දා මැරවීමට කටයුතු කරයි. යකැදුරෙකු ගෙන්වාගෙන සොහොනකට ගොස් මැරුණ මිනිසෙකුට යක්ෂයෙකු ආවේශ කරවා නන්දිය වෙළෙන්දා වෙත යවයි. පසුව නන්දිය වෙළෙන්දා මෛත්‍රීය වඩා එම යක්ෂයා පලවා හරියි. නැවත තුන් වතාවක් මෙසේ යක්ෂයා ආවේශ කරවා යවන අතර එම අවස්‌ථාවලදී ද නන්දිය වෙළෙන්දා යක්ෂයන් පලවාහැරීමට සමත් වෙයි. අවසානයේ යක්ෂයා නැවත පැමිණ යකැදුරා සහ සිව අමාත්‍යවරයා මරා මිනිය එතනම දවා පලා ගියේ ය. මෙසේ සද්ධර්මාලංකාර කතු හිමියන් තමාගේ අසීමාන්තික ආශාවන් සපුරාගන්නට ගොස් තමාගේ ජීවිතයේ පිරිහීම ඉක්මනින් ලගාකර ගන්නා බව ශ්‍රාවකයාහට පෙන්වා දී ඇත.
මෙම අතෘප්තිකර ආශාවන් පුද්ගල පරිහානිය සදහා යෙදවෙන අතර ඒවා පැහැදිලි කිරීම සදහා සද්ධර්මාලංකාර කතු හිමියන් අපූර්ව ධර්මෝපදේශ යොදාගෙන ඇත.
" මේ ශරීරය කිසි ගත යුතු සාරයක් නැත්තේය. නිස්සාරය. ජරා මරණ ව්‍යාදී ආදීන් ජීවිතය සියලු ආරෝග්‍යතා ව්‍යාදී කෙලවර කොට ඇත්තේය. සියලු යෞවනය ජරාව අවසන් කොට ඇත්තේය. සියලු ජීවිත මරණ අවසන් කොට ඇත්තේය.
- අකීශා මන්දාකිනි -
සද්ධර්මාලංකාරය PDF Download
Key words
සද්ධර්මාලංකාරය විචාර pdf
සද්ධර්මාලංකාරය pdf
සද්ධර්මාලංකාරය
සද්ධර්මාලංකාරය විචාර pdf
සද්ධර්මාලංකාරය විචාර Pdf Download
ස්වර්ණතිලකා කතා වස්තු විචාරය
නන්දිවාණිජ කතා වස්තු විචාරය
ස්වර්ණතිලකා කතා වස්තු විචාරය pdf
නන්දිවාණිජ කතා වස්තු විචාරය pdf
Saddharmalankaraya vichara
Saddharmalankaraya vicharaya pdf Download
උසස් පෙළ පුරාතන ගද්ය විචාර
පුරාතන ගද්ය සංග්රහය
පුරාතන ගද්ය විචාර
පුරාතන ගද්ය විචාර ස්වර්ණතිලකා කතාවස්තුව
පුරාතන ගද්ය විචාර නන්දිවාණිජ කතාවස්තුව
පුරාතන ගද්‍ය සද්ධර්මාලංකාරය
සද්ධර්මාලංකාරය ගම්පොල සාහිත්‍ය යුගය
Best 05 sahithya vichara for Advance Level Examination
Purathana gadya sangrahaya Saddharmalankaraya