කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02
"අචේතන වස්තූන් සචේතනිකව වර්ණනා කිරීමේදී ආකෘතියේ විශේෂතාවය කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ ජනප්‍රිය වීමට හේතු විය" නිදර්ශන සහිතව විමසුමට ලක් කරන්න.
ස්වභාවික කවිය වෙනසකට ලක්කරමින් සරල ගී සිංදු නිර්මාණයන්ට පවා පාදක වෙමින් ජනප්‍රිය වූ කවි නිර්මාණ බොහොමයක් බිහිකල කවි පරපුරක් ලෙස කොළඹ යුගයේ දෙවන කවි පරපුර හැදින්විය හැකිය. සාගර පලන්සූරිය, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පී.බී අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, එච්.එම් කුඩලිගම, විමලරත්න කුමාරගම ආදී කවීන් කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන්නේය.
කොළඹ කවියෙහි පළමු පරපුර නියෝජනය කල කවීන්ගේ පද්‍ය නිර්මාණ වලට වඩා වෙනස් ස්වරූපයක් මෙකී කවීන්ගේ කාව්‍ය නිර්මාණවල දක්නට ලැබේ. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණවල වස්තුවිෂය, භාෂාව, සංකල්ප රූප යනාදී සෑම අංශයකම විශේෂ ලක්ෂණයක් වූයේ රොමෑන්ටික් වාදය හෙවත් අද්භූත සෞන්දර්යාත්මක වාදයෙන් ආභාෂය ලබා තිබීමයි. මෙම කවියන් ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමේදී සභාව ධර්මයේ අචේතනික වස්තූන් සචේතනිකව වර්ණනා කිරිම එනම් පණ නැති වස්තූන්ට ප්‍රාණය ආරෝපණය කොට ඉදිරිපත් කිරීම සිදුකල අතර ඒ සඳහා යොදාගත් ආකෘතියේ විශේෂතා ද ඔවුන්ගේ පරපුරේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ ජනප්‍රිය වීමට බෙහෙවින් හේතු වී ඇත. දැන් අපි ඒ බව නිදසුන් ඇසුරින්ම විමසා බලමු.
මානවසිංහයන් කවි ගී බැදුමෙහි විශිෂ්ටයෙකි. රොමෑන්ටික් කවියෙකු වූ චන්ද්‍රරත්නයන් විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකි. අක්කා සහ මල්ලි අතර වන සංවාදයක් ඇසුරු කොට ගනිමින් රාත්‍රි අහසේ සිදුවන සද තරු පැයීම ආදී වෙනස්කම් හි චමත්කාරය ආගමික හැඟීම් සමග මිශ්‍රකර බුදුරදුන් පිළිබඳ ආදරයක් සහ ගෞරවයක් ඇති කිරීම මෙන්ම ළමුන්ගේ පරිකල්පනය තීව්‍ර කිරීම "ළදරු හැගුම්" පද්‍ය පන්තියෙහි වස්තුවිෂය වූ අතර අරමුණ වූයේ ආගම ධර්මයට ලැදි කීකරු දරුවන් පිරිසක් බිහි කිරීමයි. මෙහිදී කවියා ස්වභාව දහමේ අජීවී වස්තූන් සජීවී ලෙස වර්ණනා කරන්නේ කුඩා දරුවන්ට ගැළපෙන අයුරිනි.
මෙහිදී කවියා යොදා ගන්නා දෙපද ආකෘතිය ද විශේෂයෙන්ම ළමා මනසට ගැලපෙන ලෙස සරලව ඉදිරිපත් කිරීමේ දී කවි පෙළෙහි සාර්ථකත්වයට ඉවහල් විය. කොළඹ යුගයේ දෙවන තරංගයේ කවීන් බොහොමයක් යොදා ගත්තේ සිව් පද ආකෘතියයි. එහෙත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් තමාට ආවේණික වූ දෙපද ආකෘතියක් යොදා ගෙන "ළදරු හැගුම්" පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇත. අප්‍රාණික වස්තූන්ට ප්‍රාණය ලබා දෙමින් කවි පෙළ ගලාගෙන යෑම සදහා දෙපද ආකෘතිය මානවසිංහයන් යොදාගත් අපූරුව විමසා බලමු.
" සුදට සුදේ මහ ගොඩක් වලාකුළු තරු යට අහසේ දිව යන්නේ
කවුරුද අක්කේ මේවා හදන්නෙ කොහෙ තිබිලද මේ හැටි එන්නේ"
කුඩා දරුවෙකුගේ සිතක ස්වභාවය දක්වන කතුවරයා මල්ලීගෙ චරිතය මගින් ළමා මනසෙහි ඇතිවන ගැටලුවක් තම අක්කාට පවසන ආකාරය ඉතා ආදරණීය ලෙස නිර්මාණය කරයි. මෙහිදී කුඩා දරුවා එනම් මල්ලි දකින්නේ වළාකුළු අහසේ පාවෙන විද්‍යාත්මක සිදුවීම, වළාකුළු අහසෙහි දිව යන බවයි. ප්‍රාණයක් නොමැති වලාකුළු දිවයන බව පවසමින් කවීයා අපූරු ලෙස වලාකුළු වලට ප්‍රාණය ලබා දෙයි. කුඩා ළමයින්ගේ මනස වටහාගත් කවියා මෙහිදී වළාකුළු වලට ප්‍රාණය ලබා දෙමින් ළමා හදවත් ස්පර්ශ කරයි. එසේම අපූර්ව ලෙස පාඨක සිත් ළමා කාලයට ද රැගෙන යයි.
" වළාකුලේ අර අයිනේ ලස්සන සිනා මුහුණු පෙනෙනව ළපටී
අක්කෙ බලන්නකො ඈත දැකල ඇති බුදුහාමුදුරුවො වඩින හැටී"
ළමා සිතෙහි චමත්කාරය නම්, ළමයාට වලාකුළු අතරින් එබී බලමින් සිනාසෙන ලපටි මුහුණු පෙනෙනවා. එපමනක් නොව ඒ මුහුණ සිනාසෙන්නේ බුදු හාමුදුරුවො වඩින හැටි දැකලා කියලාත් සිතනවා. සත්‍ය ලෙස කිසිවකු වළාකුළු තුළින් එබී බලන්නේ නැත. සිනා මුහුණු ලෙස මානවසිංහයන් දක්වන්නේද වළාකුළු ම විය යුතුය. නැතහොත් තාරකා විය යුතුය. ඒ කුමක් වුවද එහි සිනාසීමට ප්‍රාණවත් කිසිවෙකු නොමැත. මෙහිදී ද අප්‍රාණික වස්තූන්ට ප්‍රාණයක් ආරෝපණය කරමින් ළමා මනසට වඩා සමීප ලෙස කවි පෙල ඉදිරිපත් කිරීමට දෙපද ආකෘතිය කවියා නිසි ලෙස යොදාගත් බව කිව යුතුය.
කොළඹ යුගයේ දෙවන තරගය නියෝජනය කරන ප්‍රධාන කවියෙකු ලෙස පී.බී අල්විස් පෙරේරා මහතා දැක්විය හැකිය. මොහු සිංහල කවිය සරල කරලීමේ සටනට මුල පිරුණු අයෙකි. මොහු විසින් නිර්මාණය කළ කවිපොත් රැසකි. විරෝධාකල්ප රැගත් ඔහුගේ දෘෂ්ටිය අපේ හටන් ආදී නිර්මාණ තුළින් මනාව ගම්‍ය වේ. ස්වභාවධර්මය ද අපූර්ව ආකාරයකින් සිය නිර්මාණ සඳහා වස්තු විෂය කොට ගත්තේය. ඔහුගේ පැසුණු පැන පද්‍ය පන්තිය සාර්ථක නිර්මාණයක් වන අතර එය ඔහුගේ අන්ධ කවියා මැයෙන් රචනා වූ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුනකි.
පැසුණු පැන පද්‍ය පන්තියෙහි වස්තු විෂය වූයේ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ සහිත ශාකයන්හි විවිධත්වය පිළිබඳ කුඩා දරුවෙකු තම මව වෙත ඉදිරිපත් කරන අපූරු ප්‍රශ්ණාවලියකි. එහි අරමුණ වූයේ ගස් කොළ වල විවිධත්වය ළදරු මනසට නැගෙන විවිධ ප්‍රශ්න වලින් ඉදිරිපත් කරමින් ශාක වල විවිධත්වය හදුනාගැනීමය. තවද කවියා සංකේතාත්මකව ඒ හරහා සමාජයේ පවතින සම විෂමතා පිළිබඳ අවබෝධයක් ලබා දීමද අරමුණු වන්නට ඇත.
කවියා මෙහිදී ආදර්ශයට ගෙන ඇත්තේ පරිසරයේ ඇති සචේතනික වස්තූන් ය. එහෙත් එම අජීවී වස්තූන් පද්‍ය පන්තිය තුළ ප්‍රාණවත් ලෙස නිරූපණය කරයි.
දලු අතු පැලී ඒවා කොහොමද ආවේ
මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ
නිදිකුම්බා කොළේ මොකටද නිදි යෑවේ"
කවියා පද්‍ය පන්තිය සදහා සුදුසුම ආකෘතිය ලෙස සිව්පද ආකෘතිය යොදාගෙන ඇත. සරල වදන් යොදාගත් කවියා සෞන්දර්ය විවිධත්වය තුළ පවතින අපූර්වත්වය චිත්තාකර්ශනීය ලෙස ස්ඵුට කරයි. මල් විවිධ වර්ණයන්ය. එම වර්ණයන් කිසිවකුත් නිර්මාණ කරන ආලේප කරන ලද්දක් නොවෙයි. එය අප දන්නා කරුණකි. එහෙත් කුඩා දරුවෙකුට එය ගැටලුවකි. එමෙන්ම කහඹිලියා ශරීරයේ ගෑවුණ හොත් කැසීමක් ඇති වෙයි. නිදිකුම්බා ශාකය ස්පර්ශ කලහොත් එහි පත්‍ර හැකිලෙයි. නමුත් නිදිකුම්බා නිදාගන්නා බව පවසමින් කවියා මේ සිදුවීම් ප්‍රාණවාචී ලෙස අපූර්වත්වයෙන් යුතුය ඉදිරිපත් කොට තිබෙයි.
කෝමාරිකා මද සීතල මොකද අනේ
තුත්තිරි කරල් හැබ ඇට මගෙ ඇඳුම් කොනේ
තැවරෙයි! මෙ වැනි ගති කොහොම ද පුරුදු වුනේ"
අක්කාපාන පත්‍ර පසෙහි නොව ඕනෑම තැනක තැබූ විට ඉන් මුල් ඇද පැලවෙයි. කෝමාරිකා ශාකය නම් ඖෂධයකි. පිලිස්සීම් ආදියේදී එහි පත්‍ර කඩා තබා ගන්නේ එහි ඇති සිසිල් බව නිසා වෙනි. බොහෝ සෙයින් කැලයෙහි හටගන්නා ශාකයන් වල බීජ වන තුත්තිරි, කරල් හැබ ආදී දෑ ශරීරයේ ඇලීමට බලා සිටී. මේ ආදී දේ "කොහොමද පුරුදු වුනේ" යනුවෙන් ඇසීමෙන් කවියා එම අජීවී වස්තූන්ට ප්‍රාණය දී තිබෙයි.
ඒ අනුව ඉහත දැක්වූ නිදසුන් දෙක අධ්‍යනයෙන්ද පෙනීයන්නේ පී. බී අල්විස් පෙරේරා කවියා විසින් පැසුණු පැන පද්‍ය පන්තිය තුළ අචේතනික වස්තූන් සචේතනිකව දක්වන අතර පෙර දැක්වූ මානවසිංහයන් යොදාගත් ආකෘතියට වඩා වෙනස් මාත්‍රා 20 කට ආසන්න විරිතක් යොදාගෙන සිව්පද ආකෘතියෙන් නිර්මාණය කර ඇති බවයි. කොළඹ දෙවන කවි පරපුරේ කවීන් බොහොමයක් මෙම සිව්පද ආකෘතිය භාවිතයට ගත් නිසාවෙන් මෙම කවීන්ගේ කාව්‍ය නිර්මාණ ජනප්‍රිය වීමට එය බොහෝ සෙයින් හේතු විය.
අචේතනික වස්තූන් සචේතනිකව නිර්මාණය කල කොළඹ දෙවෙනි කවි පරපුරේ තවත් ප්‍රබල කවියෙකු ලෙස විමලරත්න කුමාරගමයන් දැක්විය හැකිය. සැබැවින්ම කුමාරගමයන්ගේ පද්‍යයන් හී ප්‍රකට වන සුවිශේෂ ලක්ෂණය වන්නේ ද මේ සැබෑ අද්දැකීම් කවි රස මුසුත් කොට මටසිලිටි සරල බසින් ඉදිරිපත් කොට ඇති අව්‍යාජ විලාසයමය. ඔහුගේ එසේ අද්දැකීම් පාදක කොටගෙන කල නිර්මාණයන් රැසකි. ඒ අතර "වන්නියේ සැන්දෑව" පද්‍ය පන්තිය ද වේ.
වන්නියේ සැන්දෑව සදහා වස්තු විෂය වූයේ වන්නියේ ගෙවන දුෂ්කර පීඩාකාරී ජීවිතය ඉදිරිපත් කරන අතරම වන්නි ප්‍රදේශයේ සුන්දරත්වය සමග එහි ජීවත්වන සුරූපී ලදක් දිය ගෙන යෑමට යන විට කවියාගේ නෙත ගැටීම හා ඒ සමග පහළ වූ මිහිරි හැගීම් විවරනය කිරීමයි. එහි අරමුණ වූයේ සොබාදහම සමග සැදෑ කාලයේ දුටු සුන්දර දසුනක් ඇසුරින් කවියාගේ හිතෙහි හට ගැණුනු ප්‍රේමණීය සිතුවිලි තුළින් පාඨක සිත් වෙත අපූර්ව වූ හැගීමක් ඇති කිරීමයි. එලෙස නිර්මාණය කල වන්නියේ සැන්දෑව පද්‍ය පන්තියෙහි අජීවී නැතහොත් අචේතනික වස්තූන් සචේතනිකව දක්වන්නේ මෙසේය.
උණ බට තරගයට මෙන් එකටෙක මැද්දේ
උකුළෙහි කළය ඉඟ අත තාලෙට පැද්දේ
ඇය එනු බලා වැඩි වෙයි රළවැල සද්දේ"
අපගේ ප්‍රතිබිම්බය වන සෙවණැල්ලට ප්‍රාණය නොමැත. වන්නියේ ව්‍යවහාරික භාෂාව යොදාගත් කවියා පවසන්නේ සෙවණැලි ගම වටකර ගෙන නිදාගෙන ඇති බවය. සෙවණැලි බොහෝ විට වැටෙන්නේ බිමටයි. ඒ දෙස බැලූ විට අපට පෙනෙන්නේ සෙවණැල්ල නිදි බවයි. ඒ අනුව කවියා මෙහිදී සෙවණැල්ල නැමැති අචේතනික වස්තුව නිදා සිටින බව පවසමින් ප්‍රාණවත් බවක් නිරූපණය කර ඇත. උණ ශාකය ප්‍රමාණයෙන් කුඩා වූවද උසින් බොහෝ උසය. එම උස නිසා උණ ගස් මඳ සුළගට පවා එහෙ මෙහෙ පැද්දේ. කවියා කවිය තුළ උපමාවක් යොදාගෙන උණගස් තරගයට මෙන් පැද්දෙන බව පවසන්නේද උණ නැමැති අචේතනික වස්තුව සචේතනිකව වර්ණනා කරමිනි.
වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇතී
රත්සර කැකුළු පෙඳ රැළි මැද ගොතා වෙතී
පොබයයි ඇගේ වත නැරඹුම පතා පෙතී"
වළාකුළු අජීවී බව අපි සියල්ලෝම දනී. එහෙත් හැන්දෑවක වලාකුළු නිල් අහස ඔතා ගන්නා බව කවියා පවසන්නේ වලාකුළු වලට ප්‍රාණයක් ලබා දෙමිනි. තවද උණ පදුර නැමැති අජීවී ශාකය එම තරුණිය ගැන කතාකරන බවද කවියා පවසයි.
තවද,
ඈ ඒ එළිය බී මගෙ හදවතට අනී
දියවැල් ඇගේ පය දැවටී වැළද ගනී
රන්වන් රිදී පෙති වතුරෙන් උඩට පනී"
දිය ගෙන ඒමට ගිය තරුණිය දැක දියවැල් ඇයගේ පාදයේ දැවටී වැලදගනී යනුවෙන් මෙම කවියෙන් කියවේ. දියවැල් අචේතනිකය. එනම් ප්‍රාණ වාචී නොවෙයි. එසේ වූවද කවිය තුළ පවසන්නේ එම දිය වැල් පැමිණ ඇගේ දෙපා වැළඳ ගන්නා බවයි. එමගින් පෙනී යන්නේ ලියවැල් කවියා සචේතනික ලෙස ඉදිරිපත් කර ඇති ආකාරයයි.
මෙම කවි අධ්‍යයනයෙන් පෙනී යන්නේ විමලරත්න කුමාරගමයන් අචේතනික වස්තු සචේතනිකව දක්වා ඇති අතර බොහෝ කවියන් භාවිතයට ගත් සිව්පද ආකෘතිය යොදාගෙන පද්‍ය පන්තිය රසවත් කර ඇති බවයි.
ඒ අනුව ඉහත පද්‍ය පන්ති සියල්ලම අධ්‍යයනයෙන් පෙනී යන්නේ කොළඹ යුගයේ දෙවැනි තරංගයේ කවීන් බොහොමයක් අචේතනික වස්තූන් සචේතනිකව ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ "ළදරු හැගුම්" පද්‍ය පන්තිය, පී. බී අල්විස් පෙරේරායන්ගේ "පැසුණු පැන" පද්‍ය පන්තිය සහ විමලරත්න කුමාරගමයන්ගේ "වන්නියේ සැන්දෑව" යන පද්‍ය පන්ති තුන හරහා ප්‍රබල ලෙස අචේතනික වස්තූන් සචේතනිකව දක්වා ඇති අතර එම කවීන් සියල්ලෝම ඒ තුළ සමත්ව ඇත.
උසස් පෙළ කලා අංශය
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01
කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03
පැසුණු පැන පද්‍ය පන්තිය
දලු අතු පැලී ඒවා කොහොමද ආවේ
මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ
නිදිකුම්බා කොළේ මොකටද නිදි යෑවේ
පවතී අඩනහිරියා මල්වල සද්දේ
කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ
කජු ඇට පුහුලමේ යටිපැත්තෙහි පැද්දේ
අම්මේ කළේ මේවා කවුරුද බැද්දේ
ලස්සන රෝස මල් පදුරට මොට ද කටු
කුමට ද බාදුරා මල් කොකුවලට ගොටු
කජු, ලුනුමිදෙලි ගස්වල මේ ඇලෙන හොටු
ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු
කොළයෙන් අක්කපානා මුල් අදිනු පෙනේ
කෝමාරිකා මද සීතල මොකද අනේ
තුත්තිරි කරල් හැබ ඇට මගෙ ඇඳුම් කොනේ
තැවරෙයි! මෙවැනි ගති කොහොමද පුරුදු වුනේ
කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ
ඇයි මේ වරා මල් සුළගට ඉගිළෙන්නේ
මල් නැහැ දිඹුල් ගස්වල මෙලෙසින් වන්නේ
කොහොමද කියා අම්මා නොමැති ද දන්නේ
සමහර මල් තිබේ ලස්සන එමට ඇත
එනමුදු සුවද නම් ගෑවුණු තැනක නැත
සමහර මලක තනි සුදු මැලි පැහැය ගත
තිබුණත් සුවද පිනවයි දුටු අයගේ සිත
සුදු පාටක් තිබේ දලුවල මුස්සැන්න
නා දලු කුරුලු දලු රත් පැහැ පවතින්න
මදු දලු බුලත් දලු කොළ පාටින් එන්න
හැදුවේ කවුද මට ඕනෑ දැන ගන්න
කලු මැදිරිය කලු ය ඇට්ටේරිය සුදුවේ
කොස් කහ පතගි රතු, එක කැලයක පොදුවේ
හටගත් ලී මෙසේ නෙක පැහැයට බෙදුවේ
අම්මේ කවුද පවසනු මැන පිං සිදුවේ
ලෙලි කටු පැගිරි කෙදි සහිතව හට ගත්තයි
පැණි රහ කහට රහ පල ඇති බව ඇත්තයි
සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි තිත්තයි
ඇයි මේ වෙනස අම්මා විමසිය යුත්තයි
- පී. බී අල්විස් පෙරේරා -