Skip to main content

Follow on YouTube

සිංහල විචාර 31 - කොළඹ යුගයේ දෙවන කවි පරපුර පද්‍ය විචාරය 03

කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට වස්තු විෂය භාවිත කර ඇති ආකාරය විමසුමට ලක් කරන්න.

කොළඹ කවියේ දෙවන පරපුරට අයත් කවීන් අතර සාගර පලන්සූරිය මහතා, මීමන ප්‍රේමතිලක මහතා, පී බී අල්විස් පෙරේරා මහතා, එච් එම් කුඩලිගම මහතා යන කවීහු විශේෂ ස්ථානයක් අත්පත් කරගනියි. මෙම අවධියේ කවියන්ගේ පොදු වස්තු විෂයයන් බවට පත්වන්නේ කාන්තාව, සොබාදහම, ප්‍රේමය, අහිංසක ළමා සිතිවිලි යනාදිය වේ. පහත දැක්වෙන්නේ සාගර පලන්සූරිය මහතා විසින් රචනා කරන්නට යෙදුණු "ඉගිලෙන සිහින" පද්‍ය පන්තියේ එන පැදි පෙලකි. ස්වභාවික පරිසරයේ උස ගසක ඇති කුරුලු කූඩුවක් වස්තු විෂය කර ගනිමින් කවියා මානව නිදහස හා එහි වටිනාකම පිළිබඳ පාඨකයා සංවේදී කිරීම යන අරමුණු අත්පත් කර ගනී.

"අරුණලු වැටෙයි පොඩි සිදුරෙන් කුරුලු ගෙට 
 ගී හඬ පිටත් වෙයි රුක් ලිය මුදුන            සිට
 කවුළුව තුලින් එළියට හිස දමන              විට 
 හොඳ බව පෙනෙයි මෙහි ඇතුළට වැඩිය පිට"

මෙහිදී කුරුලු කූඩුවක තම මව්පිය කුරුල්ලන්ගේ සෙනෙහස මැද්දේ කල්ගෙවන කුරුලු පැටවකු වස්තු විෂය කර ගනී. මෙම කුරුලු පැටවා ට තම කූඩුව තුළ කොතරම් සැප පහසුකම් තිබුණත් ඒවායින් ඵලක් නැත. ඔහුට අවැසි නිදහසේ පියාසර කිරීමට ය. නමුදු මව්පිය කුරුල්ලන් ඊට ඉඩ නොදෙයි. මෙම අවස්ථාව වස්තු විෂය කර ගනිමින් කවියා වෙර දරා ඇත්තේ සමස්ත මානව සමාජයට ම අපේක්ෂා කරන නිදහස ඔවුනට අහිමි වීමේ ස්වභාවය පාඨකයාට සමීප කරවීමට ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටි වයස්ගත පුද්ගලයාට පමණක් නොව පරිසරය තුළ ජීවත් වන සතා සිවුපාවට වුවද නිදහස අවැසි වේ. ඔවුන් අපේක්ෂා කරන නිදහස නොලැබීමෙන් ඔවුන් කෙතරම් දුරට අසරණ වන්නේද හා මානව හා සත්ත්ව නිදහස එහි වටිනාකම පිළිබඳ පාඨකයා සංවේදී කිරීමට සාගර පලංසූරිය මහතා මෙම වස්තු විෂය තුළින් සමත් වී ඇති බව ගම්‍ය වේ.

තවද කුඩා දරුවන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි විවරණය කරමින් ළමා සිතුම් පැතුම් හි ස්වභාවය අපූරු ලෙස විවරණය කිරීමට චන්ද්‍රරත්න මානවසිංහ මහතා "ලදරු හැගුම්" පද්‍ය පන්තිය තුළින් සමත් වී ඇත. ඒ සඳහා වස්තු විෂය කරගෙන ඇත්තේ පුර පසළොස්වක පොහොය දවසක රාත්‍රී අහස නරඹමින් සිටින අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙකු අතර ඇතිවන සංවාදයකි. ඊට පහත පැදි පෙළ සාක්ෂි දරයි.

"සුදට සුදේ මහ ගොඩක් වලාකුළු තරු යට අහසේ   දිව යන්නේ

 කවුරුද අක්කේ මේව හදන්නේ කොහෙ තිබිලද   මේ හැටි එන්නේ"

සැබැවින්ම මෙහිදී මෙම කුඩා දරුවා ගේ සිතෙහි රාත්‍රියේ අහසේ දිස්වන වළාකුළු පිළිබඳ ගැටලුවක් මතු වෙයි. ඒවා කෙසේ සැකසෙන්නේ ද ඒවා කොහි සිට එන්නේ ද කොයි දෙසට යන්නේ ද යන ප්‍රශ්ණ සිය සොහොයුරියගෙන් විමසමින් ඔවුන් රාත්‍රී අහසේ චමත්කාරය විදී. මෙම පැදි පෙළෙන් සැබෑ ළමා සිතුවිලි ජනිත වෙයි. පාඨකයා ඒ පිළිබඳව සංවේදී කරවයි. පාඨකයා කෙතරම් වයසින් උසස් අයෙක් වුවත් ඔහුව ක්ෂණිකවම ළමා කාලයට රැගෙන යයි. ඒ තරමින්ම සුන්දර වූ අහිංසක ළමා සිතුවිලි ඉස්මතු වන අන්දමට චන්ද්‍රරත්න මානවසිංහයන් මෙම පද්‍ය රචනා කොට ඇති බව අපට පෙනී යයි. එහිදී ඔහුගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ඔහු යොදාගත් වස්තු විෂය කොතෙක් දුරට ඔහුට සහාය වී ඇත්දැයි අපට මින් ගම්‍ය වේ.

එපමණක් නොව මෙම අවධියෙහි විසූ තවත් සුවිශේෂී කාව්‍ය නිර්මාණකරුවෙකු ලෙස විමලරත්න කුමාරගම මහතා දැක්විය හැකිය. එතුමාගේ වන්නියේ සැන්දෑව යන පද්‍ය පන්තියෙන් කවියා සාක්ෂාත් කර ගැනීමට වෙර දරා ඇති අරමුණ වන්නේ ස්වභාව සෞන්දර්ය වස්තුවිෂය කරගනිමින් කාන්තාව හා ප්‍රේමය විවරණය කිරීමයි. ඊට පහත පැදි පෙළ සාක්ෂි දරයි.

"සෙවණැලි නිදාගති ගම වට කළ    බැද්දේ
 උණ බට තරගයට මෙන් එකටෙක මැද්දේ
 උකුළෙහි කළය ඉඟ අත තාලෙට    පැද්දේ 
 ඇය එනු බලා වැඩි වෙයි රළවැල     සද්දේ"

සැන්දෑ සමයක වැවෙන් කාලයට ජලය රැගෙන යාමට පැමිණෙන කාන්තාවක් පිළිබඳ කවියාගේ හදෙහි උපදින සිතුවිලි ස්වභාව සෞන්දර්ය ඇසුරින් අපූර්ව ලෙස විවරණය කර ඇති බව මෙහිදී පෙනී යයි. කැලෑබද පරිසරයෙහි ඇති ගස් කොළවල සෙවණැලි හිරු අවරට යාමත් සමග අතුරුදහන් වේ. මෙහි කථකයා පවසන අන්දමට මෙම කාන්තාව එනවිට උණ බට පඳුරු තරගයට මෙන් ඇය දෙස බැලීම පිණිස ශබ්ද කරයි. එසේම ඇයගේ උකුළෙහි ඇති කළය හා ඇයගේ රිද්මයානුකූල ගමන විවරණය කරයි. ඇය එන විට ඇය එන මග බලා වැවෙහි රළවැල ශබ්දය වැඩි වන බව පවසයි. මේ ලෙසට කවියා අපූර්ව ලෙස සංකල්ප රූප මැවෙන පරිදි මෙම කාන්තාව පිළිබඳ අදහස් විවරණය කිරීමට සැන්දෑ පරිසරයක ස්වභාව සෞන්දර්ය වස්තු විෂය කරගෙන ඇති බව පෙනේ.

එපමණක් නොව ප්‍රේමයෙහි විරහව ද පාඨකයාට දැනෙන අයුරින් පාඨකයා ඒ පිළිබඳ සංවේදී වන අයුරින් එච්.එම් කුඩලිගම කවියා "තවමත් ඔබ මගේය" යන පද්‍ය පන්තිය රචනා කොට ඇත. ඒ සදහා ද ඔහු වස්තු විෂය කරගෙන ඇත්තේ ස්වභාව සෞන්දර්ය යි. ඊට පහත පැදි පෙළ නිදසුන් දරයි.

"කඳු බෑවුමේ දිය වැල් ගල් කුළෙක         හැපී
 වෙන් වී ගලාගෙන ගොස් දෙකඩකට    කැපී
 නැවතත් එකතු වන මෙන් පෙණ බුබුළු පිපී
 කවදා කොතනකදි හෝ මුණගැහෙමු     අපී"

ප්‍රේමයෙන් පරාජයට පත්වූ තරුණයෙකුගේ සිතෙහි පහළවන වේදනාකාරී හැඟීම් සමුදාය වස්තු විෂය කර ගනිමින් ස්වභාව සෞන්දර්ය ඇසුරින් අපූර්ව ලෙස නිර්මාණය කොට ඇති බව පෙනී යයි. කඳු බෑවුමකින් ඇරඹෙන ගංගාවක් ගල් කුලක වැදි කොටස් දෙකකට බෙදී ගමන් කර නැවත පෙණ බුබුළු දමමින් එකතු වේ. ලෙසටම මෙහි තරුණයා පවසන්නේ කෙදිනක හෝ තමාගේ ප්‍රේමය තමාට නැවත හමුවන තුරු මග බලා සිටින බවයි. ප්‍රේමයේ විරහව ප්‍රේම වන්තයෙකුගේ සිතෙහි පහළවන අහිංසක සංවේදී බලාපොරොත්තුව මගින් පාඨකයා සංවේදී කරයි. මෙලෙස කවියා මෙම වස්තු විෂය භාවිතයෙන් තම අරමුණු සාක්ෂාත් කරගෙන ඇති බව පෙනේ.

මේ ලෙසට කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ස්වභාවධර්මය, රාත්‍රී අහස, සැන්දෑ පරිසරය වැනි විවිධ වස්තු විෂයයන් භාවිත කොට ඇති බවත් ඔවුන් එමගින් සාර්ථකත්වයට පැමිණ ඇති බවත් නිගමනය කල හැකි වේ.

- චාරුනි සමාදි-