ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය
විශිෂ්ට ගණයේ කවියෙකු වන නන්දන වීරසිංහ මහතා නිදහස් කවියේ ද්විතීයික තරංගය නියෝජනය කරනු ලබන ශ්‍රේෂ්ඨ ගණයේ කවියෙකි. එතුමා විසින් පාසල් අධ්‍යාපන ක්‍රමය යන තේමාව වස්තු විෂය කර ගනිමින් ආදරණීය පාසල පද්‍ය පන්තිය රචනා කර ඇත. එහිදී එතුමාගේ අරමුණ වී ඇත්තේ පවත්නා අධ්‍යාපන ක්‍රමය පිළිබඳව පාඨක සිත් සංවේදී කරවීමයි.
කවියා ඉහත අරමුණ ඉටුකර ගැනීම සදහා විවිධ කාව්‍ය උපක්‍රම මෙම පද්‍ය පන්තිය තුල භාවිතා කර ඇත. මෙහිදී යොදාගෙන ඇති උපක්‍රම ලෙස භාෂා භාවිතය, සංකල්ප රූප මැවීම, ආකෘතිය, දෘෂ්ටිකෝණය යනාදිය දැක්විය හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් කවියා භාවිත කර ඇති භාෂාව පිළිබඳ සදහන් කළ හැකිය. මෙහිදී කවියා භාවිත කර ඇත්තේ සරල ප්‍රස්තුතියට උචිත බස් වහරකි.
"කන්ද පාමුල
තවමත් පෙර සේම
එදා තිබූ තැනමය
මගේ පැරණි පාසල"
මෙහිදී කවියා තමාගේ පාසලේ ස්ථානීය පිහිටීම අපූරුවට සරල බස් වහරකින් ප්‍රකාශ කර ඇත. පෙර සේම තවමත් ඒ පාසල කන්ද පාමුල අදටත් දැකීමට ලැබෙන බව ඉහත පැදි පෙලින් කවියා ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාව පාඨකයාට ඒ ආකාරයෙන්ම දැනවීම සදහා කවියා සරල බස් වහරක් භාවිත කර ඇති බව පෙනෙයි. එයින් පාඨකයාට පහසුවෙන් අවබෝධ වන ආකාරයෙන් භාෂාව හැසිරීමට කවියා සමත්ව ඇති බව පැහැදිලි වේ.
එපමණක් නොව කවියා තම සිතෙහි පහළ වන හැගීම් ඒ ආකාරයෙන්ම පාඨක සිතෙහි චිත්‍රණය කිරීමට සංකල්ප රූප යොදාගෙන ඇත. එමගින් කවියා උත්සාහ දරා ඇත්තේ තම නිර්මාණය කෙරෙහි ශ්‍රාවක සිත් සතන් ඇද බැද තබා ගැනීම ය. ඒ බව පහත උදාහරණයෙන් පැහැදිලි වෙයි.
"අදත් එහි උළෙලකි
සමත් අය හට තිලිණ පුද දෙන
මෙත් සිහිල් ආදර
වදන් වෑහෙන මහ සබයෙහි
තවම පැසසුම් ලබන
ඉදිරි පෙළ සිසු කැල"
කවියාගේ පැරණි පාසලෙහි පෙරමෙන් අදත් උත්සවයක් පැවැත්වෙයි. එහිදී විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් සදහා ත්‍යාග බෙදාදීම සිදු කරයි. මෙහිදී කවියා අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු උකහා දැක්වීමට පෙලඹී ඇත. මෙහිදී ත්‍යාග පිරිනැමීම සිදු කරනුයේ ඉදිරි පෙළ සිටින දක්ෂතම සිසු කැලට පමණි. ඔවුන්ට සිහිල් ආදර වදන් සබයෙන් කියැවෙන අතර බොහෝ පැසසුම් ද ලැබෙයි. මෙම අවස්ථාව පාඨක සිත්තුල මවා දැක්වීමට කවියා උචිත ලෙස සංකල්ප රූප මවා ඇති බව දැක්විය හැකිය.
එමෙන්ම පහත පැදි පෙළද එලෙස කවියා සංකල්ප රූප මවමින් පාඨක සිත් වසග කිරීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය.
"පසු පසම අසුන් වල
අප වෙත සුරත දිගු කොට
'බැරි එවුන්' යැයි
හෙළා දුටු ඒ දවස"
කවියා තම නිර්මාණය තුල සදහන් කල ඉහත පැදි පෙලින් කියැවෙන්නේ පසු පෙළෙහි රැදී සිටින්නේ අදක්ෂම සිසු කැල බවයි. අතීතයේ ඒ දවස්වල පංතියේ සිටි අනිත් සිසුන් තම සුරත දිගු කර වැඩ බැරි එවුන් ලෙස ඔවුන්ව හෙලා ඇති බව කවියා පවසයි. ඒ බව පාඨක සිත් තුල චිත්ත රූප මවමින් හුවා දැක්වීමට කවියා සමත්ව ඇත. මෙමගින් සහෘද සිත් සතන්හි හැගීම් රසෝත්දීපනය කිරීමට කවියාට හැකියාව ලැබී ඇති බව පැහැදිලිය.
තවද කවියා තම අරමුණු සාක්ෂාත් කර ගැනීම භාවිත කල උපක්‍රමයක් ලෙස ආකෘතිය දැක්විය හැකිය. මෙහිදී කවියා උපයුක්ත කර ගෙන ඇති කාව්‍ය ආකෘතිය වනුයේ නිසදැස් කාව්‍ය ආකෘතිය යි. යොදාගත් එම ආකෘතිය නිසා කවියාට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී ඇත.
"තරඟ වැද
පරයා එකකු නොහැර ම
ජය කණුව වෙත දිව යන
මඟ කියා දුන් පාසල"
කෙනෙක්ට කෙනෙක් පරාජය නොවී සියල්ල ම අභිබවා ඉදිරියේ ඇති ජය කණුව වෙත යන මාර්ගයට මග පාදා දුන්නේ තම පාසල බව කවියා පවසයි. මෙහිදී කවියා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවී ඇත්තේ ආත්මාර්ථකාමීව එකිනෙකා පරයා යෑමේ හැගීම් පෙරටු කරගත් පවතින අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වලතාවයන්ය. අධ්‍යාපන ක්‍රමය විවේචනය කර එය වෙනස් කිරීමට සහෘද සිත් වලට කාවදින ආකාරයෙන් ප්‍රකාශ කිරීමට කවියා මෙම නිසදැස් ආකෘතිය මැනවින් හසුරුවා ඇත.
මෙම පද්‍ය පන්තිය තුළ කවියා යොදාගෙන ඇති තවත් වැදගත් කාව්‍ය උපක්‍රමයක් වන්නේ දෘෂ්ටි කෝණයයි. එය ද මෙම පද්‍ය පන්තියේ සාර්ථකත්වයට මැනවින් ඉවහල් වී ඇති බව පහත පද්‍ය කොටසින් පැහැදිලි වෙයි.
" ඉදිරි පෙළ සිසු නඩය
සරදම් සිනා දී
ප්‍රීති සිත් වියරු කල හැක
මගේ ශුද්ධ වූ පාසල"
පංතියේ සිසු කැල අතර ඇති දක්ෂ හා අදක්ෂ යන මත භේදය කවියා අත්විද ඇත. කවියාගේ මනස තුල දිවෙන අව්‍යාජ හැගීම් ඒ අයුරින්ම පාඨකයාට දැනවීමට කවියා සරල බස් වහරක් යොදාගෙන ඇති බව ද පැහැදිලි වේ. පංතියේ සිටි දක්ෂතම සිසුන් හට සරදමට සිනාසෙනෙ බවත් කවියා ප්‍රකාශ කර ඇත. මෙහි යෙදී ඇති "මගේ" යන පදයෙන් කවියා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගෙන ඇති බව පැහැදිලි වෙයි.
මෙහි සංවේදී කාරණා පාඨකයා වෙත දැනවීමට කවියා සරල බස් වහරක් හා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදාගෙන ඇති බව මෙමගින් ගම්‍ය වේ.
මෙලෙස කවියා වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වලතා උත්ප්‍රාසාත්මක ලෙස ඉදිරිපත් කරමින් මෙම අධ්‍යාපන ක්‍රමයේ ඇති පන්ති භේදය ආදීය පාඨකයාට දනවන අයුරින් ප්‍රකාශ කර ඇත. එය එම ක්‍රමය වෙනස් කර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා හා කුසලතා හඳුනාගෙන ඒවා ඔප්නැංවීමට අධ්‍යාපන ක්‍රමය තුළින් දිරිය දිය යුතු බව කවියා පවසයි. එය පාඨක සිත් තුළට කිඳා බැස්වීමට කවියා මෙහිදී භාෂාව, සංකල්ප රූප, ආකෘතිය, දෘෂ්ටිකෝණය යන ආදී වූ කාව්‍යය උපක්‍රම මනා ලෙස හසුරුවමින් පැදි පෙළ රචනා කර ඇති බව පැහැදිලි වේ.
- අකීශා මන්දාකිනි-
Key words
ආදරණීය පාසල රසාස්වාදය
ආදරණීය පාසල විචාර pdf
ආදරනීය පාසල රසාස්වාදය pdf download
Adaraneeya pasala rasaswadaya
Adaraneeya pasala rasaswadaya pdf
Adaraneeya pasala nandana veerasinghe