Skip to main content

Follow on YouTube

සාහිත්‍ය රසාස්වාදය 05 - මාර යුද්ධය රසාස්වාදය 01

මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 

නූතන පද්‍ය සාහිත්‍යයේ එන නිසඳැස් කවියෙහි නිම් වළලු පුළුල් කරමින් සරල සුගම බස් වහරක් මුසු කරමින් තරුණ සිත් ස්පර්ශ කිරීමට මහගම සේකර සූරීන් දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස "බෝඩිම" නම් පද්‍ය සංග්‍රහය 1970 වසරේ දී දොරට වැඩීය. එහි එන පද්‍ය පන්ති අතරින් "මාර යුද්ධය" නම් පද්‍ය පන්තිය වඩාත් කතාබහට ලක්වන්නට වූ අතර බෞද්ධ සාහිත්‍යයේ එතෙක් සදහනක් නොමැති කෝණයක් ඔස්සේ දිවෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණයට මහගම සේකරයන් දැක් වූ ප්‍රතිභාව මෙසේ මෙම පද්‍ය පන්තිය වඩාත් කතාබහට ලක්වීමට හේතුව වී ඇත.

"අහස පොළොව ඉර හඳ තරු
 ගං හෝ වැව් නදී කඳුරු 
 මලින් පිපුණු ගන වන තුරු 
 ඔබ මා වෙත කෙරෙයි නුදුරු"

පරම පවිත්‍ර සාංසාරික ප්‍රේමයක ආදර්ශය බෞද්ධයන්හට සිදුහත් කුමාරයා හා යසෝදරා දේවිය අතර ආත්මීය ප්‍රේමය තුළ සංකේතවත් කරයි. රාගයට කාමයට වඩා එහා වූ අසීමාන්තික කැප කිරීම් වලින් පිරී ගිය මොවුන්ගේ ප්‍රේමය නිසාවෙන්ම අදටත් බෞද්ධ ස්ත්‍රින් හා පුරුෂයින් සිදුහත් කුමාරයෙකු වැනි ස්වාමිපුරුෂයෙක්, යසෝදරාවන් වැනි භාර්යාවක් ප්‍රාර්ථනා කරයි. තමා අසීමාන්තිකව ප්‍රේම කරන යසෝදරාවන් පමණක්ම නොව සියලු ලෝක සත්ත්වයෝ සාංසාරික මහා දුකින් එතෙර කරනු පිණිස සිදුහත් කුමාරයා එදා තැබූ පියවර එනම් මහා අභිනිෂ්ක්‍රමණය ඉතිහාසයක සදහන් වන දැවැන්තම කැප කිරීම ලෙස දැක්විය හැකිය. එයට හේතුව මෙසේ ගිහි ගෙය හැර යන්නේ තවත් එක් පුද්ගලයෙකු නොව තවත් සත් දිනකින් සක්විති රජකු වන රාජ කුමාරයෙකු වීම නිසා ය.

මෙසේ ගිහි ගෙය හැර ගිය සිදුහත් කුමාරයා තවුස් දම් පිරීමට පිවිසෙනුයේ ආත්ම ගණනාවකදී අපරිමිත කැප කිරීම් සිදු කරමින් සියලු ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස පතා ආ ඒ බුදුබව සාක්ෂාත් කර ගැනීම සදාහා ය. එතෙක් ආත්මීය සහායීකාව තම මෙහෙසිය වූ යසෝදරාවෝ තවුස් දම් පුරන බෝසතාණන්වහන්සේගේ සිතෙහි හොල්මන් කලේය යැයි ද ඇය පිළිබඳ පහළ වන සිතුවිලි සමුදායෙන් මිදීම පිණිස දැරූ උත්සාහය මාර යුද්ධයක් වන්නට ඇතැයි ද කල්පනය කිරීමට තරම් මහගම සේකරයන්ගේ ප්‍රතිභාව හේතු සාධක විම අරුමයක් විය යුතු නොවන්නේ ය. මක්නිසාදයත් තමාට අසීමිතව ප්‍රේම කරන ප්‍රේමයට ආදර්ශය වන යසෝදරාවෝ තවමත් කෙලෙස් නිවා නොමැති සිදුහත් බෝසතාණන්වහන්සේ හට සිහි වීම අරුමයක් නොවන නිසාවට ය.

මහගම සේකර ඒ මහා කවියා පවසන පරිදි අහසෙහි, පොළොවෙහි තමාට දකින්නට ලැබෙන ඉර, හඳ, තරු, ගහ කොල, මල්, ගංඟා, ඇළ දොල ආදී සියලු දේ තුළින් සිදුහත් කුමාරයාහට යසෝදරාවන් දිස්වන්නට විය. යසෝදරාව දැනෙන්නට විය. රාත්‍රි අහසේ චන්ද්‍රයාගේ කාන්තිය යසෝදරාවගේ මුහුණ සිහි කරවන්නට ඇත. දිලෙන තරු ඇගේ බැබළෙන ඇස් සිහි කරවන්නට ඇත. ජලයේ සිසිලස ඇගේ ස්පර්ශය සම වන්නට ඇත. තවුස් දම් පුරන තමාට ඇති සියලු දේ වන ස්වභාදහම රජ මාළිගය තුළ තමාගේ සියලු දේ වූ ඇයට ඉදුරා සම වන්නට ඇත. 

"ඔබෙන් දුරු ව සිටිනා මට 
 තදින් දැනෙයි ඔබේ ගුණය 
 එතෙක් දවස් මා තුළ වූ 
 කලකිරීම
 යසෝදරා කුමාරියනි
 දැන සිටියේ ඔබ පමණ ය.
 එයින් මිදෙන මඟක් සොයා
 මා නිබඳ ව 
 සිතිවිල්ලෙන් හිඳිනා සඳ 
 ඔබ මා වෙත දයා සිතින් 
 සැනසිලි බස් 
 කී සැටි මට සිහිපත් වෙයි
 එකල මසිත උකටලියට 
 පිළියම ඔබ පමණක් විය"

ඔබෙන් දුරු ව සිටිනා මට තදින් දැනේ ඔබේ ගුණය යනුවෙන් යසෝදරාවන් තමාට කොතරම් සමීපව සිටියා දැයි යන්න තීව්‍ර ලෙස හදවතට දැනෙන ලෙස පැවසීමට කවියා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගෙන ඇත. සතර පෙර නිමිති දැකීමෙන් කලකිරීමට පත්වන සිදුහත් කුමාරයා ඒ පිළිබඳව යසෝදරා දේවියට පැවසුවේය යැයි පොත පතක සදහනක් දැක නැත. නමුත් සිදුහත් කුමාරයා තම අග මෙහෙසිය සමග තමාගේ අදහස් බෙදා ගැනීම මහගම සේකර සූරීන් අපේක්ෂා කර තිබෙයි. කවියා සදහන් කරන ආකාරයට සිදුහත් කුමාරයාට තමාගේ කලකිරීම පැවසීමට තරම් සමීපව සිටියේ යසෝදරාවන් පමණකි. සිතෙහි ඇති කලකිරීම පැවසූ හැම මොහොතකම එයින් මිදීමට මගක් කල්පනා කරමින් සිටින සෑම විටකම ඈ හැකි උපරිමයෙන් සිදුහත් කුමාරයාගේ හිත හැදීමට වෙර දැරීය. 

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.

 


හිත හදන බස් දොඩමින් සිනහවෙන් පිරවීමට ඇය උත්සුක වූයේ තමන් අසීමාන්තිකව ප්‍රේම කරන ස්වකීය ස්වාමිපුරුෂයාගේ කනස්සල්ල දැරීමට තරම් ඇගේ සිත රළු නොවූ නිසා වන්නට ඇත. කෙසේ හෝ එ දවස මාලිගයෙහි දී කලකිරී කිසිත් මගක් නිරවබෝධව සිටි සිදුහත් කුමාරයාහට සරණකට තිබුණා නම් ඒ යසෝදරාවගේ දයාව පමණක්ම බව පවසන කවියා මේ මොහොතේ තපස් දම් පුරනා බෝධිසත්වයන්හට පැමිණෙන බාධක හමුවේ දී යසෝදරාවන් සිහිවන බව හැගවීමට උත්සාහ කර ඇත.

"හිතේ ගිමන් වසත් කලට
 සැප සම්පත් පිරි විමාන
 ගැයුම් වැයුම්
 ගඳ විලෙවුන්
 කසී පලස් 
 සුවඳ බොජුන් 
 වර අඟනන් පිරුණු ඇතොර
 රජ ගෙය පිරි රාජ ඉසුර 
 අලස අමන කාම දිවිය"

ඡන්දස, විරිත හෝ එළිසමය නොමැති නමුත් නිසඳැස ධ්වනි මාධූර්යයෙන් පුරවාලිමට කවියා සමත් කම් පා ඇති බව ඉහත පද පෙළ කියවන ඔබට මට හැගෙයි. සැප සම්පත් , ගැයුම් වැයුම්, ගඳ විලෙවුන්, කසී පලස් ආදී යුගල පද ඝට්ටනය තුළ උපදින ශබ්ද රසය රාජ සම්පත්ති මැද ලැබිය හැකි ආශ්වාදය විස්තාරී කරන අතර "අලස අමන කාම දිවිය" යන පද කිහිපය තුළ ක්ෂණයෙන් එම ආශ්වාදයේ ඇති නිශ්ඵලතාවය ශබ්දයෙහි පවා ගැබ් කිරීමට කවියා පෑ දස්කම පැසසිය යුතුමය.

"නොයා !
 සිද්ධත් කුමර,
 පාළ වෙයි සත් රුවන් සත් දිනෙන් 
 දෙදහසක් කොදිව්වෙන් 
 සතර මහ දිවයිනෙන් 
 සැදුම් ලත් සක්වළෙහි 
 එක් රජ යි.
 පහසුවෙන් 
 මම එ-හැම අත්හළෙමි.
 එහෙත් ඔබ ගැන මතක
 දැනුදු මා සිත පෙළයි."

සිදුහත් කුමාරයානනි යන්න එපා!. ඔබට කුමන සැප සම්පතකින් අඩුවක් ද? තවත් දින හතකින් සක්විති රජ බවට පත්වෙන කුමාරයා ඔබ නොවේ ද ? තම ආදරණීය සැමියා කෙසේ හෝ නවතා ගැනීමට බැගෑපත්වන යසෝදරාවන් පවසන වදන් ස්වර මාත්‍රයකදු මායිම් නොනව සිදුහත් කුමාරයාගේ සිතිවිලි ගර්භය තුළ ගිහි ගෙයකදී පුද්ගලයෙකුට ලැබිය හැකි උපරිම සැපත සක්විති රජකම පවා පයට පෑගෙන දුහුවිල්ලකට තරම් මායිම් වන්නේ නැහැ. ඒ විපුල සැපතයන් ගතින් සේම සිතින් ද අතහරින සිදුහත් කුමාරයාගේ සිතුවිලි මාත්‍රයක පවා රජකම හෝ මාළිගා හෝ භෞතික සැප සම්පතක් පිළිබඳ හෝඩුවාවක් පවා දැන් හමු නොවෙන පසු බිමක දී පවා පැන නැගෙන සිතුවිල්ල ඇයයි. "එහෙත් ඔබ ගැන මතක දැනුදු මා සිත පෙළයි" ඔබගේ වදන් අසාවත් මට නවතින්න බැරි වුනා කුමරියනි. ඒ ඔබගේ මගේ පමණක් නොව සියලු ලෝක සත්ත්වයින් සසර දුකින් එතෙර කරන අදිටනින්. නමුදු ආත්මීය වූ ඔබගේ ප්‍රේමයේ මතකයන් ගෙන් හදතුළ නැගෙන පීඩනයෙන් කෙසේ නම් මිදෙන්න ද?

"සුවහසක් තරු පිරුණු රාත්‍රියැ 
 නිල් අහස් වියන් යට
 තනි ව මා බවුන් දම් පුරන කල
 දුවහසක් සිත් රැගෙන ඔබගෙ රුව 
 ඉපදී-ඉපදී කෙණෙහි දැවී යයි.
 ඔබ ගතෙහි මුදු මෙලෙක 
 ඊට වැඩි බලවත් ව 
 ඔබ සිතෙහි මුදු මෙලෙක 
 මා පෙළයි."

දිවා රෑ නොබලා බවුන් වඩනා ඒ උත්තමයා බැලූ බැලූ අත යසෝදරාවගේ රුව දිස් වන්නට විය. ඉපදී-ඉපදී යනුවෙන් අනුප්‍රාසාත්මක පද භාවිතයෙන් කවියා සිදුහත් කුමාරයාහට කොතරම් ඇයව සිහිවූවාද යන වග හැගවීමට වෑයම් කොට ඇත. ක්‍රමයෙන් රාග ආදී සිතුවිලි ප්‍රහීන වන ඔහුගේ සිත තුළ යසෝදරාවන්ගේ සිරුරට ඇති ඇල්ම පහසුවෙන් දුරුවී ගිය ද ඇගේ සිතෙහි ඇති මුදු මෙලෙක හෙවත් ඈ තුළ වූ සෙනෙහස විටින් විට ඉස්මතු වී සිදුහත් කුමාරයාගේ හිතට නැගී බලපෑම් කල බව කවියා පවසයි.

"එය මකා ලනු පිණිස
 තව තවත් දුක් දෙමින් කය පෙළමි.
 වැසි සුළං බර රැයෙහි 
 එළිමහන් රුක් මුල්හි 
 සිරුර හිරිගඩු නැගෙන සිහිතලෙන් 
 නොපිළිසන් සිරුරැති ව කල් යවමි 
 දහදියෙන් ලුණු පිපෙන
 ධූලි වැකි ගත කොරල ඉරි තැළෙන 
 ගිනියමෙහි 
 දිව ගිලෙන පිපාසා නොසිඳවා 
 දැඩි තවුස් දම් පුරමි."

තවුස් දම් පුරන සිදුහත් බෝධිසත්වයෝ වැස්සට තෙමෙමින් අව්වෙහි කර වෙමින් තම ශරීරයට දැඩි ලෙස දුක් දෙමින් යසෝදරාවන් පිළිබඳව සිතට නැගෙන සිතුවිලි ප්‍රහීන කරීමට උත්සාහ දරන බව කවියා පවසයි.

මාර යුද්ධය රසාස්වාදය ( දුෂ්කර ක්‍රියා කිරීම)

 "සිරුර හිරිගඩු නැගෙන"
 "කොරල ඉරි තැළෙන"
 "දහදියෙන් ලුණු පිපෙන" ආදී ලෙසට සිදුහත් බෝසතාණෝ තම ශරීරයට කොතරම් දුක් දුන්නා ද යන්න පාඨක සිත්සතන් තුළ චිත්ත රූප මැවෙන අන්දමින් ඉදිරිපත් කිරීමට මහගම සේකර සූරීන් දැක්වූ ප්‍රතිභාව මනාව ප්‍රකට කරයි.

"නහර වැල් ඉලිප්පී 
 කටු ගැසුණු පොතු සිරුර
 වරින් වර හාමතින් ඇදහැලෙයි 
 ක්ලාන්ත ව.
 නිලංකාර ව දෙඇස 
 දෙකන් ගැබ බිහිරි වෙයි.
 හිස් කබල පුපුරුවා 
 විසන්ධි ව යෙයි සන්ධි."

සාමාන්‍ය මිනිසෙකුට විදිය නොහැකි මට්ටමක අතිශය දුෂ්කර මාවතක බවුන් වඩන සිදුහත් කුමාරයා විදි දුක් ගැහැට මහගම සේකරයන් හරි අපූරුවට අපගේ ඇස් ඉදිරියේ විද්‍යාමාන කර තිබෙනවා. නහර වැල් ඉලිප්පී කටු ගැසුන පොතු සිරුර ආදී ලෙස සංකල්ප රූප මවමින් එදා සියලු ලෝක සතුන් දුකින් මුදවීමට ඔහු දැරූ වෑයම සේකරයන් අපට පසක් කොට තිබෙනවා. 

"හික්මවා සිත 
 පසක් කරනුව ඇත්ත
 ඉවසා එ- හැම
 දිවා රෑ වෙර දරමි.

 එහෙත් ඔබ ගැන මතක 
 මොහොතකින් 
 ඒ සියලු වෙර බිඳැර 
 පැන නැඟී 
 අවුල් කරවයි මසිත්."

මේ ක්‍රියා දාමය තවුස් දම් පිරීම, දුෂ්කර ජීවිතය කිසිසේත්ම පහසු නම් නොවීය. අතීශය දුෂ්කර විය. ගස් මුල් යට බවුන් වඩන විට සිරියහන් මතකයට නැගෙන්නට ඇත. කුනු වී වැටෙන මල් ගෙඩි අහුලා ආහාරයට ගන්නා විට රාජ භෝජන වල රස සිහිවන්නට ඇත. චෛතසිකයට නැගි ඒ සියලු බාධා මැඩ ඒ සියලු මතකයන් අතහැර සිත එක් තැන් කිරීමට සිදුහත් කුමාරයා සමත් විය. නමුදු ඊළඟ නිමේෂයේ ඒ සැදුව මානසික ඒකාග්‍රතාවය සුනු විසුනු කරමින් යසෝදරාවන්ගේ ගුණය සිතට නැගෙන්නට විය. වරක් දෙවරක් නොව අපමන වතාවක් තම සිත තුළ නැගෙන සිතුවිලි සමග පොර බදිමින් යසෝදරාවන්ගේ මතක මත ඇති ඇල්ම බිද දැමීමට සිදුහත් බෝසතාණෝ දැරූ අනේක විද වෙහෙස මාර යුද්ධයක්ම වන්නට ඇත.


Key words 

මාර යුද්ධය රසාස්වාදය 

මාර යුද්ධය රසාස්වාදය pdf

මාර යුද්ධය නූතන පද්‍ය 

මාර යුද්ධය නූතන පද්‍ය රසාස්වාදය 

නූතන පද්‍ය මාර යුද්ධය රසාස්වාදය