Skip to main content

Follow on YouTube

නැළැවිල්ල පද්‍ය රසාස්වාදය

කුඩා කල මා උත්ප්‍රේක්ෂාලංකාර තුල අතරමං කල, එ කුමාරතුංග මුනිදාසයන්ගේ කලා ඇස කොතරම්දැයි මොනවට පහදා දෙන "නැළැවිල්ල" මෙසේ රසවින්දනය කරමු.


නැළැවිල්ල පද්‍ය පන්තිය රසාස්වාදය

හෙළ හවුල කවි සම්ප්‍රදායේ පුරෝගාමියා වන කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත "නැලැවිල්ල" පැදි පෙළ සදහා කාව්‍යානුභූතිය බවට පාදක වී ඇත්තේ මවක විසින් ගී ගයමින් සිඟිති බිළිදෙකු නිදි ගැන්වීමට ගන්නා උත්සාහයකි. තොටිල්ල මත සිඟිති බිළිදා තබා සොබාදහමේ අසිරිය මැනවින් චිත්‍රනය කරමින් සොබාදහමත් දරුවාත් ඒකාත්මික කරන්නට පැදි පෙළ මගින් කුමාරතුංග මුනිදාසයන් උත්සාහ ගනී.

කුමාරතුංග මුනිදාස කිවිදා ස්වකීය නැළැවිල්ල පැදි පෙළ සහෘදයා ඉදිරියෙහි තබන්නේ ඉතා සරල සිදුවීම් යොදාගනිමිනි. විවිධ භාෂාත්මක අංග වලින් යුක්තව නිර්මාණය කොට ඇති "නැළැවිල්ල" පද්‍ය පන්තිය තුළ කුමාරතුංග මුනිදාසයන් කොතෙක් දුරට සාර්ථක වී දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු.

"දොයි දොයි    දොයි
 බයි බයි            බයි
 නිදි මව             එයි
 වැලැද           ගනියි"

කුමාරතුංග මුනිදාස කවියා ස්වකීය නැළැවිල්ල පැදි පෙළෙහි ආරම්භය ගනුයේ මෙසේය. මෙම අවස්ථාව පාඨක සිත් තුළ සංකල්ප රූප මවමින් නිර්මාණය කරන්නේ මවකගේ ආදරය ඒ අයුරින්ම පෙන්වා දෙමිනි. තොටිල්ල මත නිදන දරුවාට තොටිල්ල සුව පිරි ගෙනදෙන යහනාවකි. මෙම අවස්ථාවේදී පාඨකයා අතීතයට රැගෙන යාමට මුනිදාස කුමාරතුංග කවියා සමත් ය.

"උණු වැඩි යැයි හිරුගෙ      රැස්
 තෙමා නැවැතැ ගෙනෙන ලෙස්
 ගියේ යැ වැදැ මුහුදු            කුස් 
 පෙනේ ද ආදර             වෙසෙස්"

හිරු බැස යාම වෙනස්ම ආකාරයෙන් කුමාරතුංග මුනිදාස කවියා කවිය තුළ දක්වන්නේ මවකගේ රැකවරණය ලබමින් තොටිල්ලක තාලෙට පැද්දෙන දරුවා නිදි මව විසින් වැලඳ ගත් පසුව නින්දට ගිය දරුවාගේ නින්දට හිරුගේ රශ්මිය උණු වැඩි යැයි සිතා හිරුරැස් අඩුකරගැනීමට මුහුද යටට ගොස් නැවත එන බව පවසමිනි. 

හිරු එසේ තමාගේ රශ්මිය දරුවාගේ නින්දට බාධාවක් යැයි සිතන්නේ දරුවාට ඇති අසීමිත ආදරය නිසාවෙන් යන බව මෙයින් කියයි. දිනපතා සිදු වන හිරු බැස යාම මෙහිදී කුමාරතුංග මුනිදාස කවියා වෙනස්ම අයුරින් දැක ඇත. මෙම සිදුවීම දක්වන්නේ කුඩා දරුවාට ස්වාභාවික වස්තූන් සමීප කරවමිනි. මෙහිදී කවියා උත්ප්‍රේක්ෂාලංකාරයකින් යුතුව නැළැවිල්ල පද්‍ය නිර්මාණය කර ඇති අතර එළිසමය රකිමින් ශබ්ද රසය තීව්‍ර කරයි.

"සිහිල් වෙතියි සඳ        ඉතා 
  සාවා එහි පැනැ           ගතා 
  රැසින් අඩක් නො    නවතා
  සිටී ද ඒ හොඳ             සතා"

සද නම් කුඩා දරුවන් අතිශයින්ම ප්‍රිය කරන්නා වූ ස්වභාවික වස්තුවකි. සඳ පෑයීමේ අරමුණ නිදා සිටින කුඩා දරුවාට සැපසේ නිදා ගැනීමට සිසිල ලබා දීම බව කුමාරතුංග මුනිදාස කවියා උත්ප්‍රේක්ෂාලංකාරයකින් යුතුව පවසයි. සඳෙහි මැද සිටින හාවා කුඩා දරුවන්ට අතිශයින්ම සමීප ය. එම හාවා දරුවා නිදා සිටින දෙස බලා සිතනුයේ එසේ සඳ මැද හාවා සිටීමෙන් දරුවාට සිසිල අඩුවෙන් ලැබෙතැයි කියාය. 

එසේ සිතා හාවා සදෙන් පැන ගොස් ඇති බව පවසන කුමාරතුංග මුනිදාස කවියා කුඩා දරුවාගේ නින්ද ගැන සිතා සදෙන් ඉවත්වීමට තරම් හාවා දරුවාට කොතරම් ආදරේද එම සතා කෙතරම් හොඳ දැයි මෙම කවියෙන් කීමට වෙර දරයි. එමගින් පාරම්පරික දැනුම ලබාදෙන අතරම උත්ප්‍රේක්ෂාලංකාරයකින් යුතුව එලි සමය රැක ගෙන ඇති අතර ඒ හරහා ශබ්ද රසය එක් කරයි. මෙහි සදෙහි සිසිල පිළිබඳ පැවසීමෙන් පාඨකයා තුළ ස්පර්ශ ගෝචර සංකල්ප රූප මවාලයි.

" වසු පැටියෝ ගෙල        පසා
  මිණිවැල් සෙලැවෙන    නිසා
  රිසි ලෙස ඇඟ  නොමැ කසා
  හිඳිති තණට ඇස          වසා"

ළමා ලෝකයෙහි සිත් ගත් සතුන් කවියා පද්‍ය පන්තිය සදහා යොදා ගනී. කුඩා වසු පැටවුන් දරුවන් වැනිය. එම දඟකාර වසු පැටවුන්ගේ දඟකාර කම නිසාම ගෙලෙහි ගෙජ්ජි එල්ලයි. මේ වසු පැටවුන් තමාගේ ඇගෙහි වසන මැස්සන් වැනි සතුන්ගෙන් බේරෙන්නේ හිස කරකවමිනි. එහෙත් මේ වසු පැටවා තමාගේ ඇඟ කැසුවද නොසැලි සිටින්නේ සෙලවුණු විට ගෙලෙහි ඇති ගෙජ්ජි වල හඬ නැගී නිදා සිටින දරුවා අවදි වේ යැයි සිතාය. එසේ සිතන වසු පැටවා සතුන් ගෙන් බේරීමට තණ පදුරක් යටට වී සිටී. මෙම අවස්ථාවෙන් පෙන්වා දෙන්නේ වසු පටවා දරුවාට දක්වන අසීමිත සෙනෙහසයි.

"හූනෝ එළියට              අවුත් 
 මැස්සන් පස්සෙන්   ගතොත් 
 නගති යි උන් හඬ       මහත්
 කට ම කටෙහි ලා       ගනිත්"

හූනා කෘමීන් ආහාරයට ගෙන ජීවත් වෙයි. කෘමීන් පැමිණෙන තුරා සැඟවී සිටි හූනන් සැණින් පැමිණෙන්නේ තමාගේ ආහාරය සපයා ගැනීම සදහාය. නිදා සිටින දරුවා දුටු හූනා මැස්සෙකු දුටුවද අල්ලා ගැනීමට පස්සෙන් නොයයි. ඒ මැස්සා පස්සෙන් අල්ලා ගත් විට මැස්සා කෑගසයි යන බිය නිසාම ගොස් ඉදිරිපසින් ම අල්ලා ගනියි. මේ තුළින් පෙනී යන්නේ හූනා තුළ දරුවා කෙරෙහි පවතින සෙනෙහසයි. සැබැවින්ම හූනාට දරුවා ගැන සිතිය නොහැකි අතර කුමාරතුංග මුනිදාස කවියා මෙම අවස්ථාව පාඨකයා හමුවේ දක්වන්නේ උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතුවයි.

"සර සර ගානා                 තදේ
 ගසුත් සුළඟ  වැදැ          මඳේ
 දැන් නොමැ කැරැ  කිසි  සඳේ
 අතු අතරින්  ගමන            දේ"

සඳෙහි සිසිලස බොහෝ විට දැනෙන්නේ සුළඟ නිසා වෙනි. ශරීරයට සිසිල ගෙන දෙන සුලඟ ගස් අතරින් යන්නේ ගස් අතර වදිමිනි. එසේ ගස් වල වැදෙන විට ගස් ඇබරෙන ශබ්දයක් ඇති වේ. එම ශබ්දය නිසා නිදා සිටින දරුවාගේ නින්දට බාධාවක් වේ යැයි සිතා සුළඟ හමන විට සුළඟට යාමට ඉඩ දී ගස් දෙපස වී ඉඩදෙන බව මෙයින් කියැවේ. ගස්වැල් ආදී අජීවී වස්තූන් පවා දරුවාට දක්වන්න සෙනෙහස කුමාරතුංග මුනිදාස කවියා නැළැවිල්ල පද්‍ය නිර්මාණයේදී මෙම කවිය තුළ උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතුව දක්වයි.

"සුවද  ගෙනෙන   මලු' යනා
 සුළඟ කවුළු       තිරයෙනා
 තද  ගති අඩු  කැරැ   ගෙනා
 එයි ඔබ හට  දී             සිනා" 

දරුවාට සුවද රැගෙන එන සුළග නින්දට බාධාවක් නොවන ලෙස හෙමිහිට තිරරෙදි නොසෙල්වෙන සේ සුවද දී යන බව මෙයින් පවසන අතර සුළඟ දරුවාට දක්වන්නා වූ ආදරය කෙතරම්ද යන්න කුමාරතුංගයන් අපූරු අයුරින් පවසයි.

"සඳ පානේ වැලි         තලා
 සුර කුමරියො මල්     සලා
 නටති මෙ දෙස   බල බලා
 ගිගිරි වළලු  පය  නො  ලා"

සුරංගනාවියන් කුඩා දරුවන්ට බොහෝ සෙයින් සමීප ය. ගෙජ්ජි එල්ලාගෙන නටන සුරකුමාරියෝ ගෙජ්ජි හඬින් නිදා සිටින දරුවා අවදි වේ යැයි සිතා ගෙජ්ජි ගලවා නටන බව මෙම කවියෙන් පවසයි. මෙම අවස්ථාවේදී ද කවිය නිර්මාණය කොට ඇත්තේ ද උත්ප්‍රේක්ෂාලංකාරයෙන් යුතුවයි.

කවියා තම නැළැවිල්ල පද්‍ය පන්තියෙහි සාර්ථකත්වය සඳහා සිව්පද ආකෘතිය යොදා ගන්නා අතර ඒ තුළ ඔහු මාත්‍රා 11 කින් යුත් ගී විරිතක් යොදාගෙන ඇති බව දැක ගත හැකිය.

කුමාරතුංග මුනිදාස කවියා මෙහිදී යොදාගෙන ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. "හෝරා යතුරත් අපේ" යන්නෙන් ඒ බව සනාථ වෙයි.

භාෂාව දෙස බැලීමේදී ළමා මනස අමන්දානන්දයට පත් කරන වචන භාවිතයට කුමාරතුංග මුනිදාස කවියා පෙළඹේ. ළමා මනසට නිතර ඇස ගැටෙන ජීවී අජීවි වස්තූන් චිත්‍රණය කිරීමට උචිත සරල භාෂාවක් යොදාගෙන ඇත.

"හූනෝ එළියට අවුත්"

"මැස්සන් පස්සෙන් ගතොත්"

"සාවා එහි පැන ගතා"

ආදී පද තුළින් ඒ බව සනාථ වේ.

සරල කෙටි වදන් හා අනුප්‍රාසාත්මක යෙදුම් භාවිත කරමින් සිඟිති දරුවකුගේ මනසෙහි ස්වභාවික පරිසරයක සුන්දරත්වය ඉස්මතු කරයි.

බිඳු බිඳු, බල බලා, එබි එබී, බයි බයි ආදී වූ අනුප්‍රාසාත්මක වචන තුළින් පාඨකයාට ශබ්ද රසය ලබා දෙන අතර රස තවත් වැඩි කිරීමට කුමාරතුංග මුනිදාස කවියා මෙහිදී එළි සමය රැක ඇති බව කවි පන්තිය පුරාම දැක ගත හැකිය. 

එසේම සම්භාව්‍ය කවි බසක් භාවිත කර තිබීම මෙහිදී කැපි පෙනෙන ලක්ෂණයකි. ලෙස්, කුස්, වෙසෙස්, මිණි වැල්, රිසි ලෙස, මලුයනා, පයැඟිලි ආදී පද මගින් එම ලක්ෂණ ඉස්මතු වෙයි.

නැලැවිල්ල, වැලැපේ, සෙලැවෙන ආදී තම පරපුරට ආවේණික අමිශ්‍ර සිංහල බස හා පැද්දෙයි, රන්කිරි, පස්සෙන්, පෙරා එවයි, ඇසෙන්නටා වැනි ජනවහරේ භාෂාව ද භාවිතයට ගෙන ඇත. 

එසේම "ඇ" කාරය බෙහෙවින්ම භාවිත කොට ඇති බව පෙරැ, කැරැ, විඳැ, පයැ, වැදැ ආදී පද මගින් පිළිබිඹු වෙයි.

ඒ අනුව ඉහත කවි සියල්ල අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ බොහෝ ජීවී අජීවි වස්තූන් තම නිර්මාණය සඳහා යොදාගත් කුමාරතුංග මුනිදාසයන් "නැළැවිල්ල" පද්‍ය පන්තිය ඉතා සාර්ථකව නිර්මාණය කොට ඇති අතර ඒ තුළ කවියා බෙහෙවින් සමත්ය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල






Key words 

උසස් පෙළ සිංහල රසාස්වාදය pdf
නැලැවිල්ල පද්‍ය රසාස්වාදය 
නැළවිල්ල පද්‍ය පන්තිය රසාස්වාදය 
නැළැවිල්ල පද්‍ය රසාස්වාදය pdf download 
Nelevilla rasaswadaya 
Nelavilla rasaswadaya pdf download 
නැලැවිල්ල කුමාරතුංග මුනිදාස 
Nelavilla kumarathunga munidasa