Skip to main content

Follow on YouTube

සිංහල විචාර 09 - මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03

සද්ධර්මරත්නාවලී කතුවරයා භාෂාව හසුරුවා ඇති ආකාරය පිළිබඳ මට්ටකුණ්ඩලී කතා වස්තුව ආශ්‍රයෙන් විමසන්න.


ධම්මපදට්ඨකථාව සිංහල බෞද්ධයන් විසින් පරිශීලනය කරන ලද උසස් ධර්ම ග්‍රන්ථයකි. එවැනි වටිනාකමක් ඇති ග්‍රන්ථයක් ආශ්‍රය කොට ගෙන ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කොට ඇත. ධර්මසේන හිමියන්ගේ බලාපොරොත්තුව වූයේ එයට මූලාශ්‍ර වූ  ධම්මපදට්ඨ කතාවේ සදහන් කතා වස්තුව එලෙසම ඉදිරිපත් කිරීම නොව එයට වඩා නවකතාවකින් කතුවරයා ජීවත් වූ සමකාලීන සමාජයේ ජීවිතය තත්ත්වාකාරයෙන් විවරණය කිරීමයි. 

ධර්මසේන හිමියෝ සද්ධර්මරත්නාවලිය ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ සත්පුරුෂ ජනතාවට හිත වැඩ පිණිසයි. බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථය අනුරාධපුර යුගයේ සතර පහ සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි නිගමනය කෙරෙයි.

කතා වස්තුවක ප්‍රධාන මෙවලම භාෂාවයි. සාහිත්‍ය කලා නිර්මාණයක සාර්ථකත්වයට බෙහෙවින්ම ඉවහල් වනුයේ එම නිර්මාණය සතු භාෂාවයි. කතාවක් පාඨක සිතට සමීප කරවීමට, පාඨකයා එය ප්‍රතික්ෂේප නොකිරීමට, පාඨකයා ඒ තුල රදවා ගැනීමට රචකයා විවිධ භාෂා උපක්‍රම භාවිතා කරයි. එය කතුවරයාගේ සාර්ථකත්වයට ප්‍රධාන මාර්ගයකි.

සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී කථා වස්තුව තුළ ධර්මසේන හිමියන් භාෂා උපක්‍රම අපූරුවට යොදාගෙන භාෂාව හසුරුවා ඇති ආකාරය නිදසුන් ඇසුරින් විමසා බලමු.


" නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ"
"කිසිවක් දීලන්ට මැලියා සේ"
"සක්දෙවිඳු සම්පත් විසුරුවා දන් දෙන තෙක් තමන් දී ගත නොහුණු වූවා සේ"
"තණ අග ගලා තෙල් බිදුවක් විතරක් අනුන්ට නොදුන් විරිය. එසේ.."

අපේ බොහෝ සාහිත්‍යධරයෝ සංස්කෘත කවීන් අනුගමනය කරමින් අනුකාරකයන් ලෙස උපමා යෙදූහ. මට්ටකුණ්ඩලී කතාව ආරම්භයේ දී එහි ප්‍රධාන චරිතයක් වන අදින්නපුබ්බක බමුණා කෙබඳු පුද්ගලයෙකු දැයි පැවැසීමට පමණක් මෙලෙස උපමා රැසක් යොදා ගෙන තිබේ. යම් වස්තුවක්, යම් තත්ත්වයක් වඩා හොඳින් පැහැදිලි කිරීම සඳහා තවත් වස්තුවකට සමාන කර දැක්වීම උපමාවක් නම් වේ. 

අදින්නපුබ්බක බමුණා අතිශයින්ම ලෝභී බව පාඨක සිත තුළ ගැබ් කිරීම සදහා ඉහත පරිදි නොයෙක්  දෙයට ඔහු උපමා කර තිබේ. කතාවස්තුව තුළ එක් පුද්ගලයෙකුගේ දුර්ගුණ මෙලෙස සාර්ථකව නිරූපණය කිරීමෙන් ධර්මසේන හිමියන් භාෂා උපක්‍රම හැකියාවක් වන උපමා නිර්මාණය හැකියාව මැනැවින් ඉස්මතු කර තිබේ.

" පොල් ගසින් තල් පතක් පතන්නා සේ "
"ආදා යවා තබාලා වල්පත ගත්තා සේ"

සද්ධර්මරත්නාවලී කර්තෘ ධර්මසේන හිමියෝ අනුකාරක ගමන් මගින් ඉවත්ව ජන සමාජයෙන්, ගැමි දිවි පෙවෙතින් උපමා යොදා ගැනීමෙහි නිරත වූහ. උන් වහන්සේ ගැමි දිවිපෙවෙත ඇසුරින් යොදාගත් ග්‍රාමීය උපමා ඉහත නිදසුනෙන් දැක්වේ.

මට්ටකුණ්ඩලී කතා වස්තුව රචනා කළ යුගය පාදක වන්නේ අතිශයින්ම ගැමි වටපිටාවකටයි. එකල තාක්ෂණික මෙන්ම සම්පත් දියුණු මට්ටමක නොපැවතිනි. නාගරික සමාජයක් ද නොතිබුණි. ගැමි පරිසරයෙන් ගැමි ජනයා යොදාගෙන ධර්මසේන හිමියන් අලංකාර ගැමි උපමා නිර්මාණය කර ඇත.

"පුන්සඳ මඩලෙන් භාගයක් රත් වලා යෙකින් වසන කලක් පරිද්දෙන් වැළඳගෙන ඊ මත්තෙහි පබළු සමූහයක් රන් පවුවකින් වෙළන කලක් පරිද්දෙන් විදුලි හා සමාන වූ පටී ධාතූන් වහන්සේ බැදගෙන ඉක්බිති නුගපත් සමූහයක් වැනි වූ දෝහෝ නොහොත් බදුවද මල් ඇතිරිල්ලක් වැනි වූ සුසත් පොරෝනා සිදුර රන් පලසකින් අත් කුමක්.."

ධර්මසේන හිමියෝ ස්වකීය ප්‍රතිභා ශක්තිය තුළින් සද්ධර්මරත්නාවලියෙහි පාඨකයා තුළ විවිධ රස ජනිත කරවීමෙහි සමාර්ථයක් දැරූහ. උපමා රැසක් එකට එක්කොට උපමා මාලා කතාව තුළ නිර්මාණය කර ඇති ආකාරය උක්ත නිදසුනෙන් පෙනී යයි. එක් උපමාවක් නොව ස්ථානයට, පුද්ගලයාට හා උපමාවෙන් උපමාවට ගැලපෙන අයුරින් මෙලෙස උපමා මාලා නිර්මාණකරණයෙහි ලා ධර්මසේන හිමි සාර්ථකත්වයක් දක්වා ඇත.

"අලතාපිඩෙක ඇති වූ පබළු දළු වැනි වූ දෝහෝ නොහොත් ලා රසෙනි ගලා ඔසවා ගත් කොබොනීල මල් දමක් වැනි වූ"
"එක් කෙනෙකුන්ට සොර දෙටුවා යැයි ප්‍රධාන කොට කියා ගන්නා සේ"

සාහිත්‍යකරුවාගේ මූලික පරමාර්ථය පාඨකයා තුළ සහෘදත්වයක් ඇති කරමින් රස ජනිත කරවීමයි. ප්‍රතිභා සම්පන්න කවියා තමන් නිර්මාණය කරනු ලබන කාව්‍ය හෝ පද්‍යයෙන් එම පරමාර්ථය මුදුන්පත් කර ගනී. එලෙසම ප්‍රධාන භාෂා උපක්‍රමයක් වන උපමා අතර දීර්ඝ උපමා ද වේ. මට්ඨකුණ්ඩලී කතා වස්තුව තුළ බොහෝ තැන් වලට ගැලපෙන අයුරින් දීර්ඝ උපමා රැසක් ධර්මසේන හිමියන් කතා වස්තුවට ඇතුළත් කර ඇත. 
ඒ අනුව සාර්ථක භාෂා උපක්‍රමයක් වන උපමා භාවිතය තුළින් කෙටි උපමා, දීර්ඝ උපමා මෙන්ම උපමා මාලා යොදාගෙන සාර්ථක ලෙස ධර්මසේන හිමි භාෂාව හසුරුවා ඇත.
තවද,
රූපකාලංකාර යනු නිපාතයක් යොදා නොගෙන වස්තුවක් සතු ලක්ෂණ තවත් වස්තුවකට ආරෝපණය කොට දැක්වීමයි. මට්ඨකුණ්ඩලී කතාවස්තුවෙහි එවැනි තැන් බොහෝය.
"කෙලෙස් සතුරන්"
"චිත්ත ප්‍රසාද නැමැති"
"නුවණ දැල"
"නිවන් පුර"
"දරු ශෝකය නැමැති ගින්න"
"මිනිසා දෘෂ්ටි නැමැති අදුර"

උක්ත නිදසුන් ඇසුරින් ඒ බව තහවුරු වේ. එයද සාර්ථක භාෂා උපක්‍රමයකි. එම උපක්‍රමය යොදාගෙන ධර්මසේන හිමි මට්ටකුණ්ඩලී කතා වස්තුව තුළ සාර්ථක ලෙස භාෂාව හසුරුවා ඇත.
තවද,
කතා වස්තුවක් නාට්‍යයක් මෙන් සජීවී ලෙස පාඨකයාට සමීප කරවීම සදහා දෙබස් භාවිතය සාර්ථක භාෂා උපක්‍රමයකි.

මට්ඨකුණ්ඩලීගේ මව:-
"තොපගේ පුතණුවන්ගේ සැටි පෙවෙත් නපුරු උන් තමන් නොකියත් ලෙඩක් දුකක් ඇත්තා සේ ඊට නිසි පිළියම් දන්නා කෙණෙකුන් ගෙන්වුත් පිළියමක් කරව."

අදින්නපුබ්බක බමුණා:-
"පින්වත් බැමිණි කුමන් කියයිද? පිළියමට වෙදවරුන් ගෙන කළ වෙදකම් නිම තෙක් බතුත් දුන මැනව"

ගැමි නිවසක සැබෑ ස්වරූපය ධර්මසේන හිමි දෙබස් මගින් දක්වයි. කතා වස්තුව ඉදිරියට ගලා යන අතරතුර මෙසේ දෙබස් කිහිපයක් එක් කිරීම නිසා එය පාඨකයාට වඩා සමීප වීම සිදු වේ. කතුවරයා කතා වස්තුව එක දිගට කියාගෙන යෑමට වඩා දෙබස් එක් කිරීමෙන් එය සත්‍ය සිදුවීමක් බව පාඨකයාට දැනෙයි. නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයා කැමැත්ත දැක්වීමටත්, කතා වස්තුවක් කියවන පාඨකයා එයට කැමැත්තක් දැක්වීමටත් මෙය හේතුවකි.

බොහෝ ධන සම්භාරයකට උරුමකම් කියන අදින්නපුබ්බක බමුණා තම පුතුගේ රෝගයට පිළියම් කිරීමටත් අකමැති වූයේ මන් ද යන වග තම බිරිඳ සමග පවසන අවස්ථාව බමුණු චරිතය හා බමුණාගේ බිරිඳගේ චරිතය යන චරිත දෙක උපයෝගී කොටගෙන පාඨකයා ඉදිරියේ සිදුවන සංවාදයක් මෙන් සජීවී ලෙස නිර්මාණය කරයි. කතා වස්තුව තුළ එලෙස දෙබස් භාවිත කළ තවත් අවස්ථා බොහෝය.

අදින්නපුබ්බක බමුණා:- 
"තෙපි කවුරුද"
මට්ඨකුණ්ඩලී:- 
" මම තොපගේ පුත් මට්ඨකුණ්ඩලීය"
අදින්නපුබ්බක බමුණා:-
"කොයි උපනු දැ"
මට්ඨකුණ්ඩලී:- 
"තව්තිසා දෙව්ලොව උපන්නෙමි"

තව්තිසා දෙව්ලොව උපන් මට්ඨකුණ්ඩලී නැවත මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ මනුෂ්‍යයකු වී සිටියදී තම පියාගෙන් විය යුතු යුතුකම් අදින්නපුබ්බක බමුණා සිදු නොකළ හෙයින් පියාට යම් අවබෝධයක් ලබා දීම සඳහා ය. මනුෂ්‍ය ලෝකයට පැමිණි පසු පිය පුතු අතර ඇතිවන සංවාදය දෙබසක් මගින් ධර්මසේන හිමි දක්වයි. ඒ අනුව ධර්මසේන හිමි දෙබස් ආකෘතිය යොදා ගෙන භාෂාව සාර්ථක ලෙස හසුරුවා ඇත.

තවද, මට්ටකුණ්ඩලී කතා වස්තුව තුල පිරුළු යොදාගෙන තිබේ.

"ආදා යවා තබාලා පල්පත ගත්තා සේ"
"පය බරවායට පිටිකර බෙහෙත් බදිනා සේ"

අපේ අතීත ගැමි ජනයා එකල එදිනෙදා ජීවිතයේ කතා කිරීමේ දී බහුල වශයෙන් පිරුළු භාවිත කර ඇත. යම් ක්‍රියාවක ප්‍රයෝජනවත් බව හා නිශ්ඵල බව පැවසීම සදහා බහුල ලෙස පිරුණු යොදා ගනී. මෙසේ පිරුළු යොදාගැනීම නිසා එම ක්‍රියාවෙහි ස්වරූපය කෙබඳු ද යන්න පාඨක සිතෙහි අගවයි. වර්තමාන කතා ව්‍යවහාරයේ පිරුළු භාවිතය සීමා වුවද අතීතයේ සුලබව භාවිතයේ පැවති එයත් සාර්ථක භාෂා උපක්‍රමයකි. එම උපක්‍රමය යොදා ගෙන ධර්මසේන හිමියන් අලංකාර අයුරින් බස හසුරුවා තිබේ.

සාහිත්‍ය නිර්මාණයක විමසා බලන ප්‍රධාන ලක්ෂණයක් නම් ශබ්ද රසය යි.

"බැලු බැලුවන් ඇස් සනහන සිතු සිතුවත් සිත් සනහන ඇසු ඇසුවන් කන් සනහන අකල්ප කල්ප.."

එකම අකුර හෝ එකම පදය නැවත නැවත යෙදීම අනුප්‍රාස යයි. ශ්‍රව්‍ය ගෝචර රටාව මුල් කරගෙන රචනා කරන ලද මෙම ග්‍රන්ථයෙහි බොහෝ තැන් වල අනුප්‍රාසය යොදා ඇත්තේ ශ්‍රාවකයාට රසය ලබාදීමේ අරමුණෙනි. සද්ධර්මරත්නාවලියෙහි ඇති මට්ටකුණ්ඩලී කතා වස්තුව තුළ අලංකාර භාෂා උපක්‍රමයක් ලෙස අනුප්‍රාසය බොහෝ තැන්වල යොදා තිබීම නිසා කතා වස්තුව සාර්ථකත්වයට මෙය ප්‍රබලව හේතු වී ඇත.

" අකුරු ලියනා සේ නොදන්නා කෙනෙකුන් පත් වල ඉරි අදිනා සේ කුණ්ඩලාභරණ සේ තලා පියා"

අසූ කෙළක් ධනස්කන්ධයට හිමිකම් කියන බමුණා තම එකම පුතු ගේ කරේ එල්ලීමට කුණ්ඩලාභරණයක් සෑදීමට බඩාල් කෙනෙකුට කීමට අකමැති වන්නේ ඒ කරවා නිමවන තෙක් බඩාල් කෙනා හට බදු කුලිය දීමට සිදුවන බව සිතාය. එලෙස සිතූ ලෝභී බමුණා රන් කැබැල්ලක් ගෙන එය තලන අවස්ථාව නිරූපණය කරන්නේ පාඨක සිතතුල චිත්ත රූප මවමිනි.

" ඊට නිසි පිළියම් දන්නා කෙණෙකුන් ගෙනවුත් පිළියමක කරව"
" වෙදවරුන් ගෙන ආ කල වෙදකම් නිමවන තෙක් බතුත් දුන මැනව"

මෙම නිදසුන අනුව ද නිවසක මවක මෙන් ම පියෙකු කටයුතු කරන අයුරු චිත්තරූප සහිතව නිර්මාණය කිරීමට කතුවරයා සමත්ව තිබේ.

" බමුණු මියගිය පුතු දවාපියා මළ පුතු අරබයා හඩමින් දමාපු සොහොනෙහි ඇවිද්දී"

අදින්නපුබ්බක බමුණා අර්ථ විරහිත වූ මෙම ක්‍රියා සිදුකරන්නේ දරුවන්ගේ වියෝව තුළ පුද්ගල සන්තානයේ හටගන්නා වේදනා සිතුවිලි වල ස්වභාවය පාඨක සිත තුළ චිත්ත රූප මවමිනි. ධර්මසේන හිමි චිත්ත රූප මැවීමෙහි ලා භාෂාව සාර්ථක ලෙස හසුරුවා ඇති බව මගින් ද ගම්‍ය වේ.

"උරුට්ටු"        "වල්පත"
"පෙරුත්ත"    "කුඩමසු"
"මෛති"         "පත්වල"

ගැමි වටපිටාවක් පාදක වූ හෙයින් ගැමි ජනතාව භාවිතයට ගන්නා ග්‍රාමීය වචන මෙන්ම දෙමළ වචනද මට්ටකුණ්ඩලී කථාව තුළ අන්තර්ගතය. සිංහලයට සීමා නොවී දෙමළ බස් වහර ද යොදාගෙන කතුවරයා භාෂාව අලංකාර ලෙස හසුරුවා තිබීම අගය කල යුතුය.
සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත්තේ බුදු දහම මුල් බැසගෙන තිබූ යුගයක හෙයින් එම යුගයේ සංස්කෘත බස් වහරෙහි වචන ද භාවිතා කර ඇත.

" තමන් වහන්සේගේ හඳනා සිවුර රත්කොට ගෙන ත්‍රීමණ්ඩලපට්ච්ඡාදන"

"ආදා යවා තබාලා වල්පත ගත්තා සේ"
"මූ මල කල එළවුවට ආ සම්පත් තබාගෙන හිද දුප්පත් සේ පුතුට පිළියම් පමණකුත් නොකරවා"

දඹදෙනිය යුගයේ රචිත සද්ධර්මරත්නාවලියෙහි ඉහත පාඨය තුළින් සමකාලීන බස් වහර කෙබඳු ද යන්න මැනවින් තේරුම් ගත හැකිය. සද්ධර්මරත්නාවලිය කතුවරයාගේ භාෂා ශෛලිය සරලය. පහසුවෙන් අවබෝධ කරගත හැකිය. තැනට ගැලපෙන පරිදි කෙටි වාක්‍ය ශෛලිය හා දිගු වාක්‍ය ශෛලිය අනුගමනය කරමින් අසන්නාගේ සන්තෘෂ්ටිය ජනිත කරවන පරිදි ශ්‍රව්‍ය ගෝචර රටාවකට ගැළපෙන අයුරින් නිර්මාණය කර තිබේ.

ඒ අනුව ධර්මසේන හිමි උපමා, ග්‍රාමීය උපමා, උපමා මාලා, දීර්ඝ උපමා, රූපාලංකාර, දෙබස්, අනුප්‍රාසය, චිත්තරූප, දෙමළ, සිංහල වචන මෙන්ම සංස්කෘත තත්සම වචන ආදි සාර්ථක භාෂා උපක්‍රම යොදා ගෙන අලංකාර ලෙස භාෂාව හැසිරවීමෙහි ලා බෙහෙවින් සමත්වී ඇති බව කිව හැකිය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය





මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාර, mattakundali jathakaya mp3 download, mattakundali story sinhala, මට්ටකුන්ඩලී විචාරය pdf download, සද්ධර්මරත්නාවලිය විචාර ප්රශ්න, මට්ටකුණ්ඩලී කතා වස්තුව කෙටියෙන්, මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාර ප්‍රශ්ණ හා පිළිතුරු, Mattakundali vichara Q & A