Skip to main content

Follow on YouTube

සිංහල විචාර 28 - බැද්දේගම විචාරය 02 - උසස් පෙළ | baddegama vichara

බැද්දේගම විචාරය (I)

බැද්දේගම නව කතාව තුලින් කතුවරයා පෙන්වාදීමට උත්සාහ දරා ඇත්තේ ප්‍රබලයා විසින් දුබලයා පෙලීමට ලක් කරන ආකාරයයි නිදර්ශන සහිතව විචාරය කරන්න.

"ද විලේජ් ඉන් ද ජන්ගල්" කෘතිය ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචනා කරන ලදී. මෙම කෘතිය ඒ. පී ගුණරත්න මහතා විසින් සිංහලට අනුවර්තනය කරන ලද අතර එය " බැද්දේගම" ලෙසින් හැඳින්වෙයි. මෙම බැද්දේගම නවකතාව පුරාවට ප්‍රබලයා විසින් දුබලයා පෙලීමට ලක්කරන ආකාරය පෙන්වාදීමට කතුවරයා උත්සාහ දරා ඇත. ඒ පිළිබඳව බැද්දේගම නවකතාව තුළ අන්තර්ගත උදාහරණ ඔස්සේ මෙලෙස විමසුමට ලක් කරමු.

" උඹ ලඟ සල්ලි හෙම තියෙනවද ගෑනියේ නෑ අයියා සතයක් වත් නෑ අපි බොහොම දුප්පත් මිනිස්සු ආ එහෙනම් අපට බෑ මෙහිදී මුකුත් කියන්ඩ"

මෙම බැද්දේගම නවකතාව ඔස්සේ රචකයා සෑම අවස්ථාවකදීම ප්‍රබලයා විසින් දුබලයා පෙලීම කරන ආකාරය ඉස්මතු කර ඇත. පුංචි මැණිකා විසින් තම ස්වාමියා වන බබුන් සොයා යයි. තංගල්ල පසුකරමින් බන්ධනාගාරය සොයා යන පුංචි මැණිකාට එහිදී තම ස්වාමියා ජීවත් වනවාද නැද්ද යන්න ඇය විමසන අතර හිරපල්ලා විස්තර පැවසීමට ඇයගෙන් මුදල් ඉල්ලයි. අල්ලසක් දුන් පසු සියලු විස්තර ලබා ගැනීමට හැකි වූ නමුත් පුංචි මැණිකා ළඟ සල්ලි තිබුණේ නැත. මෙහිදී පීඩිත පන්තිය නිතරම ඊට ඉහලින් ඇති සමාජ මට්ටමේ පුද්ගලයන්ගෙන් නිතරම අල්ලස් වැනි දේවල් මගින් පීඩාවට පත්වෙන ආකාරය බැද්දේගම නවකතාව තුළ කදිමෙට නිරූපණය කොට ඇත. බොහෝවිට රාජ්‍ය නිලධාරීහු දුප්පත් ගැමි ජනතාව පීඩාවට පත්කරයි. ඒ බව ඉහත සඳහන් ප්‍රකාශයෙන් අපට පැහැදිලි වේ. බැද්දේගම කතුවරයා අධිරාජ්‍යවාදී සමාජ ක්‍රමය ඔස්සේ දුබලයා පීඩාවට පත් වන ආකාරය පෙන්වා දීමට උත්සුක වී ඇත.

" මට කොහෙන්ද සාක්‍කි මුලාදෑනියට විරුද්ධව සාක්කි කියන්ට එන්ඩ කවුරුත් කැමති නැ"

බබුන් නිසා ආරච්චි අතර ඇති වූයේ පරණ කෝන්තර නැවත ඇවිස්සීමකි. මේ නිසා ආරච්චි විසින් ප්‍රනාන්දු සමග එක්ව ඔහුව බොරු නඩුවක පැටලීමට කුමන්ත්‍රණ කරයි. තම ගෙදර බබුන් විසින් රෑ සොරා කෑ බවත් ඊට සාක්ෂි සගවා ඒවා ගම්මුන් ඉදිරියේ පෙන්වා දීමටත් ඒ සිද්ධිය ඇසින් දුටු සාක්ෂි ලෙස ප්‍රනාන්දු මුදලාලි ඉදිරිපත් වීමද සිදු විය. මෙම සිද්ධි දාමය ඔස්සේ බබුන්ට බොරු නඩුවක් ඉදිරිපත් විය. නඩු විභාගයේදී බබුන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට කවුරුත් පැමිණියේ නැත. ගමේ ප්‍රධානියා වූ ආරච්චිට විරුද්ධව සාක්ෂි දීමට ගම්මුන්ට නොහැකිය. එසේ වුවහොත් තමන්ට නොයෙකුත් කරදර විපත්වලට මුහුණ පෑමට සිදුවන බව ඔවුන් දැන සිටියහ. මෙහිදී බැද්දේගම කතුවරයා විසින් ධනපති පන්තිය විසින් පීඩිත පන්තියේ දුර්වල මිනිසුන් තලා දමන ආකාරය අපූර්ව ලෙස පෙන්වා දී ඇත. ඒ බව ඉහත උදාහරණය මගින් විද්‍යාමාන වේ.

" හේන් වපුරා ගන්නා අස්වැන්නෙන් ඔවුන් සිය පැළට ගෙන යන්නේ කුඩා කුරක්කන් මල්ලකි. ටික දවසක් ගත වෙන්නටත් පෙර ඊළඟ අස්වැන්නෙන් දෙගුණයක් ගෙවීමේ පොරොන්දුව පිට ණයට ගැනීමට ආරච්චිල සොයා යන්නට ඔහුට සිදුවෙයි"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.

බැද්දේගම ගම්මුන් විසින් හේන් වගා කර ලබා ගන්නා සියලු අස්වැන්නෙන් ණය ගෙවීමට සිදුවෙයි. සියලු ණය පොලියත් සමඟ ගෙවූ පසු ඔවුන්ගේ පැල වෙත ගෙන යෑමට ලැබෙන්නේ කුඩා කුරක්කන් මලක් පමණි. පසුව නැවතත් ඔවුන්ට ඊළඟ අස්වැන්නෙන් දෙගුණයක් ගෙවීමේ පොරොන්දුව පිට ණයට ගැනීමට සිදුවේ. මේ බැද්දේගම ගම්මුන් ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයයි. ප්‍රබලයා විසින් පීඩිත පන්තියේ දුබලයා රවට්ටා ගනිමින් තම ජීවිකාව තර කර ගැනීමට උත්සාහ දරයි. බැද්දේගම කතුවරයා සෑම අවස්ථාවකදීම ඒ බව පෙන්වා දීමට උත්සුක වී ඇත.

" මෙතෙක් මේ කතාව කෙරුනේ ඉංග්‍රීසියෙන් හෙයින් විත්තිකාරයින් දෙදෙනාට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය"

බබුන් හා සිලිදුගේ නඩුවේදී සාක්ෂි ඉදිරිපත් කිරීමට කවුරුත් නොපැමිණි අතර ඔවුන්ට මෙම උසාවියේ දී සිදුකරන ලද කතාබහේ දී කිසිවක් තේරුණේ නැත. සියලු කථා බස් සිදු කෙරුණේ ඉංග්‍රීසියෙනි. සිදුවන්නේ කුමක්දැයි පහදා දීමට ඔවුන්ට කවුරුත් සිටියේ නැත. රටේරාල, ආරච්චිල, ප්‍රනාන්දු යන ප්‍රබලයන්ගේ ගොදුරක් වූ බබුන්ට හා සිනිදු හට සිදුවන දේ තේරුම් ගැනීමට නොහැකි විය. තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සාක්ෂි ඔවුන් අතර ඇති නමුත් ඒවා ඉදිරිපත් කිරීමට කවුරුත් කැමති නොවන්නේ ආරච්චි හට විරුද්ධ වීම අනාගතය වනසා ගැනීමක් වූ හෙයිනි.

මෙම බැද්දේගම නවකතාව තුරාවටම ඒ. පී ගුණරත්නයන් විසින් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත්තේ ප්‍රබලයා විසින් දුබලයා තලා පෙලා දමන ආකාරයයි. ඒ බව ඉහත දැක්වූ උදාහරණ මගින් විදහා දැක්වේ.

- අකීශා මන්දාකිනි-

---------------------------------------

බැද්දේගම විචාරය (II)

"නවකතාකරුවා උචිත පාරිසරික වර්ණනා භාවිත කරමින් ඉදිරිපත් කර ඇත." බැද්දේගම නවකතාව" ඇසුරෙන් විමසන්න.

"නවකතාව වනාහි මානව ජීවිතය විවරණය කරන ගද්‍යමය ආඛ්‍යානයකි." 

            - අඟස්ට් බේකර්-

කෙටි කතාවට එහා ගිය පාරම්පරික සමාජ විකාශනයක් ඉතා වර්ණනාත්මක පරිකල්පන ශක්තියෙන් යුතුව රචිත බැද්දේගම වනාහී ඉංග්‍රීසි භාෂාවෙන් ගැමි ජීවිතය ඇසුරින් රචිත විශිෂ්ටතම ග්‍රන්ථයකි. සැබවින්ම ජීවන අත්දැකීම් තත්වාකාරයෙන් ඉදිරිපත් කරන ලද ලෙනාඩ් වුල්ෆ් මහතා තමා ලද ජීවන අත්දැකීම් වස්තු බීජය බවට පත්කොට ගනිමින් රචිත පාඨකයාගේ ප්‍රඥා ජාලය වඩන්නට රචිත විශිෂ්ට නවකතා අතර සංක්‍ෂිප්ත ආඛ්‍යානයකි බැද්දේගම.

බැද්දේගම හම්බන්තොට පිටිසර ගම්මානයක ස්වරූපය තත්ත්වාකාරයෙන් ඉස්මතු කරන්නකි. මේ අනුව බැද්දේගම ලෙසින් රචිත මෙම ග්‍රන්ථය ආරම්භයේ එහි පවත්නා පාරිසරික කටුකත්වය ඉදිරිපත් කරයි. කතුවරයා මෙම ග්‍රාමයේ ඇති කටුකත්වය මෙන්ම සුන්දරත්වයද පාරිසරික වර්ණනා භාවිත කරමින් ඉතා රසවත්ව ඉදිරිපත් කර ඇත.

" මහ මුහුදටත් කදුවැටි වලටත් අතර පහතරට තැනිතලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් වූයේ ඝණ කැලෑවකි. මෙසේ කැලෑවට බැද්දට ..."

කෙතරම් කටුකත්වයක් තිබුනු නමුත් කතුවරයා ඉතාමත් අලංකාර වර්ණනා භාවිත කරමින් බැද්දේගම වනයෙහි ඇති සුන්දරත්වය කියාපායි. මුහුදත් කඳුවැටියත් අතර පිහිටි තැනිතලා ප්‍රදේශයක බැද්දේගම නිර්මාණය වී ඇත. ඒ අවට ඝණ කැලෑව ඉතාමත් අලංකාරව ස්වභාවිකවම නිර්මාණය වී ඇති ගමක් ලෙස බැද්දේගම නිර්මාණය වී තිබේ. කෙතරම් දුෂ්කරතා සහිත ගම්මානයක් වුවත් ඉතාමත් අලංකාරව ග්‍රාමීය ජනතාවට මෙන්ම රසිකයාටද සිත් ඇද බැඳ ගන්නා ආකාරයට කතුවරයා මෙම බැද්දේගම නවකතාව නිර්මාණය කරයි. 

"ගම සම්පූර්ණයෙන්ම වනවත් වීම වළක්වා ගත හැක්කේ අවුරුදු පතා කැති පොරෝවලින් පහර දී පහත් කර දැමීමෙනි. එය ගම වටා පිහිටි ජීවමාන ප්‍රාකාරයකි."

බැද්දේගම වනය ඉතාමත් දුෂ්කර පාරිසරික කටුකත්වයන්ගෙන් සපිරි ගම්මානයකි. මෙම ගම්මානය කාලයෙන් කාලයට ඉතාමත් පාරිසරික කටුකත්වයන්ට මුහුණ දීමට සිදුවේ. අවුරුදු පතා කැති පොරෝවලින් ගම විනාශයට පත්වීම වළක්වා ගැනීම සඳහා පහරදී පහත් කර දැමීමෙන් ගමක් වනවත් වීම වළක්වා ගත හැකි විය. බැද්දේගම ගම්මානය ඉතා දුෂ්කර ගම්මානයක් වන නිසාත් එම කටුකත්වයන්ට මුහුණ දීමට සිදුවිය.

බැද්දේගම ගම්මානය දුෂ්කර වුවත් කතුවරයා පාරිසරික වර්ණනා භාවිත කරමින් සංක්‍ෂිප්තව ඉදිරිපත් කොට තිබේ.

" හැම වනයක්ම ඉතා භයානක ය. එහෙත් බැද්දේගම අවට තිබූ වනය තරම් භයානක වනයක් තවත් නොමැති තරම්ය."

බැද්දේගම වනය ඉතාමත් භයංකාර වනයක්ය. සතුන් යක්ෂයන් හා වෙනත් ජීවීන් සිටිනා ඉතාමත් භයංකාර වනාන්තරයක් ය. වෙනත් වනයක් තරම් නොව බැද්දේගම වනය ඉතාමත් දුෂ්කර කටුක ග්‍රාමීය වනයකි. බැද්දේගම අවට තිබූ වනය තරම් භයානක වනයක් තවත් නොමැති තරම්ය. එතරම් කටුක වනයකි. කතුවරයා මෙම වනයෙහි භයංකාර බව උචිත පාරිසරික වර්ණනා භාවිතා කරමින් ඉතාමත් වර්ණාත්මක ඉදිරිපත් කොට තිබේ. 

   " වර්ෂා කාලයට බැද්දේගම භයානක තැනක් මෙන් පෙනේ. එකල හැම ගහක්ම කොළ පාටින් වැසි යයි. එලිමහන් තැන්වල කොළ උසට වැවේ."

            බැද්දේගම වනය ඉතාමත් අලංකාර මෙන්ම කටුක තැනකි. වර්ෂාව ලැබෙන කාලයට බැද්දේගම වනය ඉතාමත් භයංකාර ලෙස දිස්වෙයි. වර්ෂා කාලයේදී වනාන්තරයේ ඇති සෑම ගහක්ම කොළ පාටින් වැසී යයි. එළිමහනේ ගස්වල මෙන්ම තැනින් තැන කොළ උසට වැඩී ඇත. බැද්දේගම වනය එතරම් භයංකාරය. කතුවරයා උචිත වර්ණනා යොදා ගනිමින් බැද්දේගම වනය පිළිබඳව වර්ණනාත්මකව ඉදිරිපත් කොට ඇත.

මේ අනුව පැහැදිලි වන්නේ බැද්දේගම වනය ඉතා කටුක ගම්මානයක් වුවත් ඉතාමත් උචිත පාරිසරික වර්ණනා භාවිත කරමින් රසිකයාට ඉතා රසවත් ලෙස ගම්‍යමාන කර ඇති බවයි.


----------------------------------

බැද්දේගම විචාරය (II)

"අධිරාජ්‍යවාදී පාලන සමයේ ශ්‍රී ලංකාවේ වනගත ප්‍රදේශ ආශ්‍රිතව දුෂ්කර ජීවිතයක් ගත කළ මිනිසුන්ගේ ජීවිතයෙහි යථා ස්වභාවය බැද්දේගම තුළින් මනාව පිළිබිඹු වේ. " එහි සත්‍ය අසත්‍ය භාවය විමර්ශනය කරන්න.

" The Village in the Jungle " යනු, මෙරට සිංහල ජන ජීවිතය ඇසුරු කොට ගෙන ලියන ලද ඉංග්‍රීසි නවකතා අතුරින් ශ්‍රේෂ්ඨතම කෘතියකි. එම කෘතිය ලියන ලද්දේ මෙරට සේවය කළ ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ "ලෙනාඩ් වුල්ෆ්" නම් රචකයා විසිනි. මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ. පී. ගුණරත්න මහතා විසිනි. වර්තමානය වන විට ද සිංහලයන් අතර ජනප්‍රිය වූ සාහිත්‍ය කෘතියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. එම කෘතිය තුළ සිංහල ජන ජීවිතය මනාව නිරූපණය කරන අතර අධිරාජ්‍යවාදීන් විසින් මෙරට පාලනය කළ සමයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ආශ්‍රිතව දුෂ්කර ජීවිතයක් ගත කළ මිනිසුන්ගේ ජීවිතවල යථා ස්වභාවය දකින රචකයා තමා ලද අත්දැකීම් හරහා අපූර්ව ලෙස කෘතිය තුළ සමාජයට එය පෙන්වා දෙන ආකාරය නිදසුන් ඇසුරෙන් විමසා බලමු. 

බැද්දේගම අවට පිහිටියේ විශාල ගන වනාන්තරයකි. එම වනයට මැදි වූ මෙම ගම්මානයෙහි තැනින් තැන පිහිටි ගෙවල් දහයක් පමණ විය. එම කැලෑව එළි පෙහෙළි කොට ගමේ ජනතාව හේන් ගොවිතැන සිදුකළ අතර ඔවුන්ගේ ප්‍රධාන යැපීම් ක්‍රමය වූයේ ද මෙම වගාවයි. එහෙත් ගමේ ජීවත් වූ ඔවුන්ගෙන් රැකියාව කුමක්ද යන්න ඇසූ විට ඔවුන් හැම දෙනාගෙන් ලැබුණු පිළිතුර නම් කෘෂිකර්මාන්තය යන්නයි. ප්‍රධාන ජීවන උපාය ක්‍රම දෙකක් වූ අතර ඒවා නම් පෙර පැවසූ හේන් වගාව සහ කුඹුරු ගොවිතැනයි. ගමේ පිහිටා තිබූ වැවට පහළින් වැවක් තිබූ අතර එම වැවට පහළින් වේල්යායක් විය. එහෙත් ඔවුන්ට එම වෙල්යායෙහි කෘෂිකර්මාන්තයෙහි නියැළීමෙහි හැකියාවක් නොතිබිණ. එයට ප්‍රධාන ලෙස බලපෑවේ වර්ෂාව නොමැති වීමයි. මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබෙනුයේ කෙටි කාලයකි. එහෙත් නියං කාලය බොහෝ විය. එසේ කෘෂිකර්මාන්තයේ නියැලීමට තිබූ ගැටලුව නිසා බැද්දේගම සියල්ලන්ට හේන් ගොවිතැන කරන්නට විය. මොවුන් තුළ කෘෂිකාර්මික දැනුම පැවතුණි. එම ප්‍රදේශයට පැවති මෙම වර්ෂාව නිසි පරිදි නොලැබීම තුළ කෘෂිකර්මාන්තය පමණක් නොව හේන් වගාව ද සාර්ථකව කරගත නොහැකි වීම තුළ බැද්දේගම වාසීන්ගේ ජීවිතය දුෂ්කර විය.

"එහෙත් ඉතාම හොඳින් හේන පැසුණු අවුරුද්දේ දී පවා ගම්මුන්ගේ ආයෝජනයට ප්‍රමාණවත් ධාන්‍ය හේන්වලින් නොලැබේ" 

ගමේ ජීවත් වූ මිනිසුන් බොහෝ අපහසුතාවයෙන් හේන් වගාව සිදුකළ ද එම හේන් වගාවෙන් ලබාගන්නා ධාන්‍ය කිසිදු ආකාරයකින් ඔවුන්ට ප්‍රමාණවත් නොවිය. මෙම ආහාර හිඟකම තුළ බැද්දේගම වැසියන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය. නිසි ආහාර නොලැබීම නිසා ගමේ ජීවත් වූ ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවිය. එය වඩා ඛේදනීය තත්ත්වයක් වූයේ ය. 

මෙම හේන් වගාව සිදුකිරීම තුළ ඇති වූ තවත් ගැටළුවක් නම් ශරීරයට අවශ්‍ය පරිදි පෝෂණයක් නොලැබීමයි. බැද්දේගම ගමෙහි විසූවන් හේන් ගොවිතැනෙහි නියැලුනේ තමාට වෙනත් කිසිවක් සිදු කරගත නොහැකි නිසාවෙනි. හේන් වපුරා ලබාගත් කුරක්කන්, අමු මෙනේරි ආදීය මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාරයන් නොවේ. 

"හේන් වපුරා වගා කර ගන්නා මෙම දාන්නය සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාර නොවේ. ඉන් ශරීරය උණුසුම් වීමෙන් උණත් ඉතා භයානක රෝගත් බෝවේ."

මෙම ආහාර දිගින් දිගටම ආහාරයට ගැනීම නිසා උණ වැනි රෝග තත්ත්වයන් මෙන්ම වෙනත් රෝග ප්‍රබල ලෙස ව්‍යාප්ත විය. නොදියුණු පහසුකම් තුළ නිසි සෞඛ්‍ය පහසුකම් නොතිබුණ හෙයින් බැද්දේගම වැසියන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නට විය. 

හේන් ගොවිතැන සිදුකළ ගම්මුන්ට කන්න දෙකම වගා කළ ද අවුරුද්දෙන් භාගයක්ම කුස පුරා ආහාරයක් ලබා ගැනීමට නොහැකි විය. එම දුෂ්කර ජීවිතය තුළ ගමේ මුලාදෑනියා වූ බබේ හාමි ආරච්චිට බදු මුදල් ගෙවීමට සිදුවූ අතර එසේ නොමැති නම් තමා වගා කර ලබා ගත් ධාන්‍ය වලින් කොටසක් ගෙවීමට සිදුවිය. ධනපතියා මෙලෙස පීඩනය, සූරා කෑම තුළ ගමේ ජීවත් වූ දුප්පත් ජනතාවගේ ජීවිතය තවත් දුෂ්කර වන්නට විය. බබේ හාමිගෙන් පසුව ගමට ප්‍රනාන්දු නම් වූ මුලාදෑනි කෙනෙකුන් පැමිණි අතර ඉන්පසු ඔහු උපරිම ලාභ ලබා ගැනීම උදෙසා බබේ හාමිගේ මෙම රාජකාරිය සිදු කරන්නට විය.

"හේන් අස්වැන්නෙන් පහෙන් පංගුවකට සම්පූර්ණ හේන් අයිතිවාසිකම් ප්‍රනාන්දුට පවරාදීම ගම්මුන්ගෙන් ඉටුවිය යුතුය. " 

හේන් වගාවෙන් තමාට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය වත් ලබාගත නොහැකි වූ අතර ධනපති පංතියේ මෙසේ සූරා කෑම තුළ ආහාර තවත් හිඟ වූ අතර ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර විය.

ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළ පාලනය වන ග්‍රාමීය ජනතාවක් බැද්දේගම තුළ ජීවත් විය. ගමේ ප්‍රධානියා වූයේ ආරච්චි මහතා ය. අසීමිත බලතල ඔහුට හිමි විය. එම නිසා බොහෝ පීඩනවලට මිනිසුන්ට මුහුණ දීමට සිදු විය. ගමේ ජීවත් වූ සියලු ජනතාව ඔහුට යටත්ව ජීවත් විය යුතු අතර ඔහුට ඉහළින් කිසිවකුට කටයුතු කළ නොහැකි විය. එම නිසා මුලාදෑනියා නැතහොත් බලය හා ධනය හිමි තැනැත්තා අනෙකා පාගා දමමින් සමාජය ඔහුට යටත්ව තබා ගෙන පාලනය කරන්නට විය. බබේ හාමි ආරච්චි ගමේ පාලනය තමාගේ යටතට ගෙන තිබූ අතර ඉන්පසු ගමට පැමිණි ප්‍රනාන්දු මුදලාලි ද එලෙසම අසීමිත බලයක් භුක්ති විඳින ලදී. අධිරාජ්‍ය පාලන සමය තුළ මෙරට වෙනස්ම වූ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක විණි. එකල බදු ක්‍රමය පැවතීම තුළ ධනපතියා අධික ලාභයක් ලබමින් බදු මුදල් එකතු කිරීම සිදුකරයි. නිවසක ජීවත්වන අයෙකුට එක් මුදල බැගින් නිවසක ජීවත්වන සියලු දෙනාට ඇඟ බද්ද ගෙවිය යුතුව තිබිණි. එය අතීතයේ ප්‍රබලව ක්‍රියාත්මක වූ බදු වර්ගයකි. එලෙස ඇඟ බද්දට මුදල් නොගෙවූ විටෙක පාරේ වැඩ කිරීමට සිදුවිය. බැද්දේගම ජීවත්වූ මිනිසුන්ට ඇඟබද්ද ලෙස බබේ හාමි ආරච්චි වෙත සිලින් තුනක් ගෙවීමට සිදු විය. 

 "හැම ගම්වැසියෙකුටම ඇඟ බද්ද වශයෙන් සිලින් තුනක් ගෙවීමට හෝ ඒ වෙනුවට පාරේ වැඩ කිරීම හෝ කළ යුතුවේ. "

බැද්දේගම ගමේ ජීවත් වූ කිසිවකුට ජීවත්වීමට හේන් ගොවිතැන හැරුණු විට වෙනත් කිසිවක් නොපැවතුණු අතර ඒ තුළ ඔවුහු බොහෝ ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නෝ ය. බොහෝ දෙනෙකුට කුසගින්නේ සිටීමට ද සිදුවිය. මෙවන් වටපිටාවක් තුළ මෙලෙස බඳු ගෙවීමට සිදුවීම ඔවුන්ට තවත් ගැටලුවක් විය. මෙලෙස බදු ගෙවීම නිසා ඔවුන් ආර්ථික වශයෙන් තවත් කඩා වැටීමට එය බලපෑ අතර වැටුප් නොලබා පාරේ වැඩ කිරීම නිසා ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇති විය. හේනේ වැඩ අතපසු වීමට මෙය හේතු වූ අතර ඒ තුළ ඔවුන්ගේ ආර්ථිකය තවත් අස්ථාවර විය. ඒ අනුව මෙලෙස අසීමිතව බදු එක් කිරීම නිසා එම ගමෙහි සිටි මිනිසුන්ගේ ජීවිත දුෂ්කරතාවයට පත් විය. 

ගමේ ප්‍රධානියා ආරච්චිල විය. ඔහු වටා අසීමිත බලයක් පැවති අතර ඔහු එම බලය අසීමිත ලෙස භුක්ති විඳින්නට විය. බැද්දේගම මුලාදෑනියා ලෙස කටයුතු කරන ලද්දේ බබේ හාමි ආරච්චිලයි. ඔහු ගමේ ජීවත් වූ අනෙක් මිනිස්සුන් තමා යටතට ගෙන සිටියහ. ආරච්චි සෑම විටම අසරණ මිනිසුන් රූකඩ බවට පත්කොට තිබිණි. නීතිය, යුක්තිය, බලය හා සල්ලි මත සෑම දේම නැවී ගියාය.

" ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත කිරීමේ හෝ ඕනෑම මොහොතක අවාසනාවන්ත කිරීමේ බලය ද ඔහු කෙරේ පැවතුණි..." 

එකල සිදුවූයේ ධනය මත බලය ලැබීමකි. එම ධනය නිසාවෙන් සියල්ල තමා යටතට ගැනීමේ හැකියාවද විය. බබුන් සමඟ තිබූ තරහව නිසා තමාගේ ධනය හා බලය යොදා ගනිමින් ඔහුව සිරගත කරයි. ඒ තුළ බබුන්ට තමාගේ ජීවිතයම අහිමි වී යයි. බබුන්ට පමණක් නොව ගමේ අනෙක් මිනිසුන්ට ද මෙම ගැටළුව මේ ආකාරයෙන්ම විය. එබැවින් ගමේ කිසිවෙකු ඔහුට ඉහළින් ක්‍රියා කිරීමට නොසිතීය. මෙලෙස ධනය හා බලය මත නීතිය නැවීම තුළින් නිර්දෝෂි තැනැත්තාට අසාධාරණයක් සිදුවූ අතර බලවත් හා ධනවත් පන්තිය තමාගේ අභිමතය පරිදි තම කටයුතු සිදු කරන්නට විය. 

මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ බලය හා ධනය හිමි තැනැත්තාගේ කටයුතු කිරීම තුළ බැද්දේගම ගමේ මිනිසුන්ගේ ජීවිත තවත් අස්ථාවර වූ අතර දුෂ්කර භාවයට පත්විය. 

ගමේ ප්‍රධානියා ආරච්චි වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුට තමාගේ නම ලිවීමේ හැකියාව තිබීමයි. ගමේ අන් කිසිවෙකුට එම හැකියාව නොතිබුණි. බබේ හාමි ආරච්චිට පමණක් තමාගේ නම පමණක් ලිවීමට හැකි විය. එයින් පෙනී යන්නේ බැද්දේගම තුළ අධ්‍යාපනයක් නොතිබුණ බවය. වෙනත් කිසිදු දැනුමක් නැති තමන්ගේ නම පමණක් ලියා ගැනීමේ හැකියාව ඇති හේතුව නිසාම ඔහු ගමේ ආරච්චි විය. එයින් පෙනීයන්නේ බැද්දේගම ගමෙහි ඉතාම නූගත් පිරිසක් ජීවත් වූ බවයි.

" මේ මිනිසුන් ඔක්කොම කරන්නේ ඒකයි. උන් ඔක්කොම මෝඩයි. මොන හරක්ද... " " අපි දුප්පත් මිනිස්සු අයියා. ඒ වගේම මෝඩයි..." 

මෙලෙස නිසි අධ්‍යාපනයක් නොලැබීම තුළ ඔවුන්ට කිසි දැනුමක් නොපැවතුණි. එම නිසාම ඔවුන්ගේ ජීවිත දුෂ්කර වීමට එය ප්‍රබල හේතුවක් විය. 

ග්‍රාමීය සංකල්පය තුළ මිනිසුන්ගේ චින්තන ශක්තිය, අභිචාර හා විශ්වාස මත රඳා පැවතුණි. එසේම ගුණධර්මවලින් නිරන්තරයෙන් පෝෂණය වූ මිනිසුන් පිරිසක් ග්‍රාමීය පරිසරය තුළ දැකගත හැකි විය. ඔවුන් බොහෝ විට අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් වලට මෙන්ම ඇදහිලි විශ්වාසයන් පවත්වාගෙන යනු ලබයි. බැද්දේගම ජීවත්වූ මිනිස්සුන් අතර ද එවැනි ඇදහිලි විශ්වාස ඇත්තෝ විය. 

ගමේ මිනිසුන් ඔවුන්ට සිදුවූ සෑම කරදරයකදීම ඔවුන් සිතුවේ ඒ ඔවුන්ගේ කරුමය කියා ය. සියලු දේ තමාගේ කර්මයට අනුව සිදුවන බව ඔවුන් විශ්වාස කළාය. එක් කාලයකදී ගමෙහි කුඩා දරුවන් සියලු දෙනා මිය යයි. එහිදී ඔවුහු සිතන්නේ සිලිදු තමාගේ දරුවන් දුටු නිසාවෙන් දරුවන් මිය යන බවයි. ඒ අනුව ඔවුන් ඇස් වහ කට වහ විශ්වාස කරන්නට විය. මේ සියල්ලට බලපෑ හේතුව වූයේ ඔවුන්ට නිසි අධ්‍යාපන දැනුමක් නොමැති වීමයි. 

" උඹේ මිනිහා කිව්වා හරි. මේ මාසේ තමයි ළමයි මැරෙන්නේ. ගිය අවුරුද්දේ හරියට මේ මාසේ මගේ ළමයෙකුයි අපේ අයියගේ හාමිනේගේ ළමයයි දෙන්නෙක්ම වැළලුවා..."

දරුවන් එකිනෙකා මිය යාමට හේතු වූයේ සිලිදුදැකීමවත්, දරුවන්ට ඇස් වහ වැටීමවත්, ඔවුන්ගේ කරුමයවත් නොව ඔවුන්ගේ පිරිසිදුකමක් නොමැති වීම, නිසි ආහාර පරිභෝජනයක් නොමැති වීම වැනි හේතූන් ය. ඔවුන්ගේ නූගත්කම තුළ ඇදහිලි විශ්වාස අනුව ජීවත් විය. එම ඇදහිලි, විශ්වාස හා ග්‍රාමීය සංස්කෘතිය තුළ ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර විය.                               

ඉහත කරුණු සියල්ල අධ්‍යයනයෙන් පෙනී යන්නේ ආර්ථික ක්‍රමය තුළ දේශපාලන වටපිටාව, අධ්‍යාපනයේ නොදියුණුව හා ඇදහිලි විශ්වාස තුළ මෙම බැද්දේගම ගමෙහි ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත දුෂ්කර වීම කෙරෙහි බලපෑ ආකාරය මෙයින් මනාසේ නිරූපණය කොට ඇති අතර ඒ තුළ බැද්දේගම නවකතාව අපූර්ව ලෙස නිර්මාණය කොට ඇත.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල


------------------------------

බැද්දේගම විචාරය (IV)

පුංචි මැණිකා මනා ඉවසීමෙන් යුක්ත ශක්තිවන්ත ගැහැනියකි, මේ කියමන බැද්දේගම නවකතාව ඇසුරින් විමසන්න.

ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචනා කළ "ද විලේජ් ඉන් ද ජන්ගල්" වූ කලී ලංකාවේ ඈත කැලෑ බද පෙදෙසක පිහිටි ගමක මිනිසුන්ගේ ජීවිතය පැහැදිලි ලෙස ද තත්ත්වාකාරයෙන් ද විස්සර කරන කතා ප්‍රවෘත්තියකි. මෙම නවකතාව "බැද්දේගම" නමින් සිංහලයට නංවන ලද්දේ ඒ. පී ගුණරත්න මහතා විසිනි. බැද්දේගම නවකතාවෙහි හමුවන චරිත අතර ඉවසිලිමත් ශක්තිවන්ත ගැහැණියක් ලෙසට පුංචිමැණිකාගේ චරිතය හදුන්වා දිය හැකිය.

" එයා මට හොඳයි මට නිදහස් ඉන්ඩ ඇරලා යන්ඩ. එයාගෙ ගෙදර දොර බලා ගෙන එයාගෙ බත් ටික උයා දීලා මෙහෙම ඉන්න එක මට සැපයි"

මෙවැනි වදන් පාඨ මගින් බැද්දේගම නවකතාවේ එන පුංචි මැණිකාගේ චරිතය පිළිබඳව ලක්ෂණ රැසක් මොනවට පැහැදිලි කරයි. මෙහි විස්තර වන පරිදි ප්‍රනාන්දු මුදලාලි බබුන්ගේ බිරිද වන පුංචි මැණිකාහට තමන් ලඟට ජීවත්වීමට පැමිණෙන ලෙස කළ ඉල්ලීමේදී ඇය මේ ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට තරම් නිර්භීත වී ඇත. ප්‍රනාන්දු මුදලාලිගේ ධනය සහ බලය ලඟ ඇය තම ආත්ම අභිමානය පාවා දීමට හෝ බබුන් ව හැරදා ඔවුන් ලඟට යෑමට ඇය අකමැති වූවාය. "එයා මට හොඳයි මට නිදහස් ඉන්ඩ ඇරලා යන්ඩ" මෙසේ පුංචි මැණිකා ප්‍රනාන්දු හට පවසන්නේ ඉතාමත් ඉවසීමෙන් ය. බැද්දේගම යනු කැලෑබද නොදියුණු පරිසරයක් වන අතර එහි වෙසෙන මිනිසුන් ජීවත්වීමට දරන වෑයම දන්නේ ඔවුන් පමණි. ඒ අතර ධනය හා බලය සහිත මිනිසෙකු ඉදිරියේ තම හැගීම් වහල් නොකර ගත් පුංචි මැනිකා සැබැවින්ම ඉවසිලිවන්ත ශක්තිමත් ගැහැනියකි.

" හේන් වාරයට අනුන්ගේ හේන් වල බස්තියන් අප්පුගේ, බාලඅප්පුගේ, පුංචිරාළගේ හේන් වල පවා ඈ වැඩ කළාය. පින් තකා ඇයට දුන් කුරක්කන් අහුරු කීපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු වූවාය."

ඉතාමත්ම දුෂ්කර වූ කටුක වූ බැද්දේගම නම් ගමේ ජීවිතය පවත්වාගෙන යෑම එහි වෙහෙස මිනිසුන්ට මහත් අභියෝගයකි. එදා වේල පිරිමසා ගැනීමට ඔවුන් විදින දුක් ගැහැට ඔවුන්ගේ ශරීරයෙන්ම කියැවෙන බව ලෙනාඩ් වුල්ෆ් මහතා සදහන් කර ඇත. එසේම එම ගමේ විවිධ දුක් ගැහැට මැද වෙසෙන කාන්තාවකි පුංචි මැණිකා. තම සහෝදරිය, තම පියා ද එසේම තමාගේ ස්වාමියා වූ බබුන් ද දැන් ඇයට අහිමි වී ගොස් හමාරය. රුදු කැලය මැද ඇති අභියෝගවලට දැන් එයට මුහුණ දීමට සිදුව ඇත්තේ තනිවමය. එදා වේල පිරිමසා ගැනීමට කුරක්කන් ටිකක් ලබා ගැනීමට පවා එයට ඉතාමත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. ස්වාමියා ද තමාට අහිමි වූ විට ඇය තමාගේ එදිනෙදා ජීවිතය ගෙන යාම පිණිස ඉතාමත් ඉවසීමත් මෙන්ම ශක්තිමත්ව මුහුණ දී ඇති ආකාරය "පුංචිරාලගේ හේන් වල පවා ඇය වැඩ කළාය" යනුවෙන් රචනා කර තිබීමෙන් අපට මනාව වටහා ගත හැකිය.

" හිර පල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බදාගෙන කෑ ගසන ගැහැණියකගේ විලාපයකි. ඒහෙත් පුංචි මැණිකා නිශ්ශබ්දවම එතනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇන තියා ගැනීම ඔහුගේ විමතියට හේතු විය."

පුංචි මැණිකා ගව් ගණන් දුර තරණය කරමින් ඉතා වෙහෙසකර ගමනකින් පසු අවසානයට තංගල්ලට පැමිණියේ තමාගේ ස්වාමිපුරුෂයා වන බබුන් දැක බලා ගැනීමටය. නමුත් අවසානයේ හිරපල්ලාගෙන් පුංචි මැණිකාහට දැනගන්නට ලැබුණේ මීට මාස දෙකකට ඉහතදී හිරගෙදර දී බබුන් මරණයට පත්වූ බවයි. පුංචිමැණිකා ඉතා වෙහෙසකර වූ ගමනක් වුවද තංගල්ලට පැමිණියේ බබුන් දැක බලාගැනීමේ මහත් වූ අභිප්‍රායක් ඇතිව ය. නමුත් ඇයට තම ස්වාමියා මිය ගියා යැයි දැනගන්නට ලැබීම ඇගේ ජීවිතේ ජීවත් වීමට තිබූ එකම බලාපොරොත්තුව සුන් වී යාමකි. හිරපල්ලා ද එම නිසා බලාපොරොත්තු වූයේ අත් හිස බදාගෙන විලාප නගන ගැහැනියකි. නමුත් පුංචිමැණිකා එම පුවත ඇසූ විට එය විද දරා ගත් සැටි හිරපල්ලාගේ ද මවිතයට හේතුවිය. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙකුට වඩා ගැහැණියකගේ දරාගැනීමේ ශක්තිය අඩු යැයි කීවද මෙලෙස සියලුම දුක උහුලන්නේ ගැහැනියකි. මෙහිදී ද පුංචිමැණිකාහට බබුන් ද මියගිය විට තනිව විසීමේ දී මුහුණ දීමට සිදුවන දුක් කම්කටොලු එමටය. එසේම බිය උපදවන වනයේ තනිව විසීමට නම් ජීවිතය ගැටගසා ගැනීමට දවස තිස්සේ වෙහෙස වී වැඩ කරමින් අභියෝගවලට මුහුණ දී නොසැලී සිටිය යුතුය. බබුන් මිය ගිය පුවත හමුවේ පුංචි මැණිකාගෙ දෑස් අභියස ද එම භයංකාර ඉදිරිය මැවෙන්නට ඇති බව නොඅනුමානය. නමුත් පුංචි මැණිකා ඉවසිලිවන්ත සහ ශක්තිමත් ගැහැනියක් ලෙස නොසැලී ක්‍රියා කිරීම අපට මෙම කතාවේ දී ලබා දෙන අගනා ආදර්ශයකි.

- උත්තරා රාජපක්ෂ -




Key words 
බැද්දේගම විචාර 
බැද්දේගම විචාර උසස් පෙළ
බැද්දේගම විචාර ලිවීම 
බැද්දේගම විචාර උදාහරණ 
විචාර ලිවීම බැද්දේගම 
Beddegama vichara
බැද්දේගම විචාර pdf
බැද්දේගම විචාර ප්‍රශ්ණ pdf download 
12 ශ්‍රේණිය විචාර ප්‍රශ්ණ 
විචාර ප්‍රශ්ණ හා පිළිතුරු