"ජන කවිය ගැමි සංස්කෘතියේ කැඩපතකි." යන මැයෙන් ජන කවිය යනු කුමක්ද, එහි ආරම්භය සහ විකාශය, ජන කවියේ ප්‍රභේද සහ එහි වැදගත්කම ආදී අංග කැටි කොට නිර්මාණාත්මක රචනයක් ගොඩනගන්න.
ජන කවිය ගැමි සංස්කෘතියේ කැඩපතකි.
"ජනකවි ජන ගී නොමැති රට මල් නොපිපුණු නිසර බිමකි."
ජනයාගේ මුවින් ගිලිහී පරම්පරාගතව පැවත එන කවි "ජන ගී" ලෙසින් හැඳින්වේ. ලාංකීය ජන කවියට නිශ්චිත ආරම්භයක් දැක්විය නොහැකි අතර විජයාගමනයටත් පෙර සිටම පැවත එන බවට සාක්ෂි පවතී. ජනයාගේ සිත් සතන් තුළ නිසගයෙන් හටගන්නා වූ නිදහස් අදහස් හා සිතැඟි ළයාන්විත රිද්මයකට ජන කවිය තුළ සියුම්ව විහිදේ. එනිසාම සිංහල ජන කවිය සියුම් කලාවක් වන අතරම එහි රස මුසු තැන් ද බොහෝ වේ.
ජන කවිය නම් වූ සම්ප්‍රදායට බොහෝ විට වස්තු විෂයන් වී ඇත්තේ මිනිසුන්ගේ අත්දැකීම්, රැකියාවන්, භාව ප්‍රකාශයන්, සංස්කෘතීන් හා පාරිසරික සබඳතා වැනි දෑය. මෙලෙස අංග ගණනාවක් යටතේ සිංහල ජන කවිය පෝෂණය වී ඇති නිසා ජන කවි වර්ග රැසක් අපට හඳුනාගත හැකිය. පැල් කවි, කමත් කවි, ගොයම් කවි, නෙළුම් කවි, කුරහන් කවි, වාරම් කවි, වැදි ගී, ටීකා, සිලෝ ආදිය සිංහල ජන කවිය තුළ බෙහෙවින් ප්‍රචලිතය. කෙසේ වුවත් සිංහල ජන කවියේ මේ කවර අංශයක වේවා ඒවායේ රස මුසු තැන් එමට ය. ඒ ඊට ප්රමුඛ හේතු රැසක් ජන කවිය තුළ දක්නට ලැබෙන නිසාවෙනි.
සිංහල ජන කවියේ ඇති නිර්මාණශීලීත්වය, ප්‍රාසාංගික බව, සරලත්වය, අව්‍යාජත්වය, ආකර්ෂණීය භාවය, විශ්වාසනීයත්වය වැනි මෙම ලක්ෂණයන් ඔස්සේ සිංහල ජන කවිය විමර්ශනය කරන විට එහි රස මුසු තැන් බහුලව සොයාගත හැකිය. අව්‍යාජත්වය නම් වූ නිර්මාණාත්මක සන්නිවේදන ලක්ෂණය ජන කවියේ කැපී පෙනේ. ජීවිතයේ විවිධ අවස්ථාවල ස්වකීය අත්දැකීම් අවසන් ලෙස ගැමියා ඉදිරිපත් කරයි.
"තණ්ඩලයේ දෙන්නා දෙපොලේ දක්කනවා..."
මේ කරත්ත කවිය තුළ බර අදින හරකා තැලෑකරුවා තම දුක හවුලේ විඳ දරාගෙන ඇති ආකාරය ඉදිරිපත් කෙරෙන ජන කවියකි. ප්‍රවාහනයේ පවතින දුෂ්කරතාවය පදවැල්වල හා තනුවේ ඇති හැඟුම්බර බවින් යුක්ත අව්‍යාජ ගැමි සුවඳ වහනය වේ. එමෙන්ම ජන කවිය මේ තරමටම රසවත් වීමට එහි පවත්නා වූ සරලත්වය ද හේතු වේ. සංකීර්ණ යමක් වුවද නිරවුල් ලෙස සරලව ඉදිරිපත් කිරීමට ජන කවිය සමත් ය. පුද්ගල ජීවිතය හා බද්ධ වූ උපමා ඔස්සේ එම කාර්යය මනාව සිදුකර ඇත.
ළග එනකොට රිදියෙන් කළ වැඩක් වගෙයි
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ නෑනා මට මානෙල් මලක් වගෙයි"
සමාජයේ නෑනා මස්සිනාලාගේ ආදර සම්බන්ධතා බහුලව පැවැති අතර ඒවා මනා සංයමයෙන් හා ගෞරවයෙන් සිදුකර ඇති ආයුරු ඉහත කී ජන ගීයෙන් මනාව පැහැදිලිය. එසේම ජන ගීය සතු ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයා ගෙන යන අයුරු ද විටෙක කදිමය.
සමාන වූ ප්‍රබන්ධ දිගින් දිගට නොනවත්වා ගායනය කරන ටීකාවන් ද ජන ගී විෂයේ තවත් රසවත් වූවකි. අර්ථ රසයට වඩා ශබ්ද රසය එහිදී මුල් තැන දේ.
" වාරේ වාරේ කියනවා විනා - කජු වාරෙ ද කොස් වාරයද ..."
මීට අමතරව ජන කවි තුළින් විවිධ සිරිත් විරිත් ද විවිධ සංස්කෘතික අංගයන් ද හුවමාරු කරන ආකාරය දරු නැළවිලි ගී, ඔන්චිලි වාරම්, එළුවන් කෑම ආදිය විමසා බැලීමේදී එකල සමාජ ආර්ථික තොරතුරු හුවමාරු කරන අයුරු පැහැදිලිය. එමෙන්ම ගැමි දිවිය හා ආගමික දිවිය අතර ඇති ආධ්‍යාත්මික සබඳතාව ද හෙළි වේ.
"බුදුන් තිලෝකව තුන්නම වන්නේ - යොදුන් ගණන් බුදු රැස් විහිදෙන්නේ..."
ගැමියා ජන කවි ගායනා කළේ සිය කවිත්වය හෝ පණ්ඩිතත්වය හෙළි කිරීමට නොවන නිසා සිංහල ජන කවියේ සජීවී රසය ඉහළව ගොස් ඇත. මෙතරම් වටින අව්‍යාජ නිර්මල ගැමි සුවඳ විහිදුවන ජන කවි ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුය. මෙය අප සතුව ඇති උරුමයකි. උරුමයක් බඳු වූ ජන කවි සාහිත්‍යාංගය සංරක්ෂණය කළහොත් අව්‍යාජ වූ ජන කවියේ රසය මතු පරපුරටද අත්විඳීමට අවකාශය ලබා ලැබෙනු ඇත.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
ආදර්ශ රචනා..
ජන කවියයි ගැමි දිවියයි රචනා
ජන කවිය හා සමාජය
Jana Kavi sinhala essay
සිංහල ජන කවිය විචාර
සිංහල ජන කවිය රචනා
ජන කවියේ ලක්ෂණ
ජන කවිය ගැමි සංස්කෘතියේ කැඩපතකි
Comments
තව ඕනේ..