Skip to main content

Follow on YouTube

සිංහල රචනා 03 - ළමා අපයෝජනය පිටු දකිමු

"ළමා අපයෝජනය පිටු දකිමු" යන මැයෙන් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


ළමා අපයෝජනය පිටු දකිමු

"සමනල තටු සිඳින්නෙපා - පාට මැකී යයි දේදුන්නේ"

සමනල රෑනක් සේ ඉඟිළී අකුරට ගිය ඒ පාසල් කාලය කිසිවෙකුටත් අමතක නොවන්නකි. දේදුණු හීන රැසක් පාට කරන පුංචි සමනල පැටව් සේ නිදහසේ සුව අරණක ආදරණීය කැදැල්ලක සුරතල් වෙමින් දිවිගෙවූ කාලයක් අපහටත් තිබුණා නොවේද? එහෙව් අපට දැනුම් තේරුම් ඇති මේරූ අවධියට පා තැබූ කල තවත් පිරිසක් අප සිටි බාල වියේ මල් හීන ඇහිදිනවා යයි අමතකව යන්නට හැකියාවක් නොමැත. 

නමුත් පාට පාට දේදුන්නක සමනළ සිහින සොයන අහිංසක කුඩා ජීවිත රැසක අනාගත ලෝකයම මකා දමමින් සොඳුරු බාල වියේ දුව පැන නටනා පුංචි සමනල ජීවිත වන් කුඩා දරුවන් සිදබිඳ දමා පොඩිකරන්න බලා සිටිනා වල්මත් වෘකයින් වැනි එවන් කෘර පාපතරයන් අද සමාජයේ පැටව් ගසා ඇත.

අප සිටින්නේ තාක්ෂණයෙන්, දැනුමින්, ගෝලීයකරණයෙන්, නව්‍යකරණයෙන් කෙළ පැමිණි යුගයකය. විශ්වය ද හඹා යන යුගයකය. නමුත් කෙතරම් දියුණු සමාජයක් බවට අප පත්ව සිටියද වල්මත් වී අතරමංව සදාචාරය ඉක්මවමින් නැවතත් අප මුල් යුගයකට පා තබමින් සිටිනවා දෝ යැයි මට සිතේ. මන්දයත් මුද්‍රිත හා විද්‍යුත් හා අන්තර්ජාලය යන මාධ්‍ය වල විශාල අවකාශයක් දෙමින් වෙළඳපොලේ විකුණනු ලබන්නේ හැඟීම්බර, උත්තේජනාත්මක පුවත් වූ ළමා අපචාර, ලිංගික සූරාකෑම්, ළමා දිවි නසා ගැනීම් වැනි සිද්ධීන්ය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


තම නිවස, මහ මඟ, පොදු ප්‍රවාහන සේවාව, පාසල් වෑන් රථය, පාසල වැනි සියලු තැන්වලදී දරුවන් කෙලෙසන්නේත්, කෲර වද බන්ධනවලට ලක්වන්නේත්, දුෂණ සිදුවන්නේත්, විවිධ වූ අපයෝජනයන්ට ලක්වන්නේත්, මනුෂ්‍යත්වය හා සමාජීය හර පද්ධති දියාරු වී ගිය පදනමක් මතය. අධ්‍යාපනය අහිමිව ළමා යාචකයන්, වීදි දරුවන්, ළමා කම්කරුවන් බවට පත්වී හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට යටත් වී සිටින දරුවන්ගේ ජීවිත වලට වගකිව යුත්තේ දෙමාපිය වැඩිහිටියන්ද? පිරිහී යන ආර්ථිකයද? සුදු රෙදි පොරවා ගත් ආශාවන්ගෙන් උච්චස්ථානයකටම පැමිණි උද්වේගකර සමාජයද? නොඑසේ නම් රජයද? නීතියද? යන්න වත්මන් සමාජ පද්ධතියම කලඹවා විසඳුම් සෙවිය යුතු කරුණක් බවට පත්ව ඇත.

එමෙන්ම අප රටේ මෙන්ම විශ්වයේද බොහෝ දරුවන් ලිංගික අපයෝජනයන්ට හා විවිධ හිංසනයන්ට බඳුන් වෙයි. අන්ත දුගීභාවය, දරුවන්ට මව්පිය රැකවරණය හා ආරක්ෂාව අහිමිවීම, දරුවන් හුදකලා වීම, මවුපිය ආදරය නොලැබෙන දරුවන් එම ආදරය සමාජයේ වෙනත් පාර්ශව වෙතින් සොයායාම, අයහපත් මිතුරු ඇසුර, අන්තර්ජාලය වැනි වූ තාක්ෂණික ක්‍රම අයතා ලෙස භාවිතය වැනි වූ හේතුන් ද දරුවන් අපයෝජනයන්ට පාත්‍ර වීමට පසුබිම සකස් කරයි.

ආකල්පමය වශයෙන් සමාජය පරිවර්තනයකට ලක් විය යුතු තීරණාත්මක ප්‍රවේශයකට අද අපි අවතීර්ණ වී සිටිමු. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත. එහෙත් එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කර ගැනීම සරල පහසු කටයුත්තක් වන්නේ ද නැත. 

දරුවන්ට සිදුවන අපයෝජන, දූෂණ හා සියලුම නොපහත්කම්වලට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ළමා කටයුතු කාර්යාංශය ඇතුළුව රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වේ. එතැනින් නොනැවතී අප ලාංකේය සමාජයේ හර පද්ධතිය ඉදිරියට ගෙන යමින් සදාචාරවත් අනාගතයක් ගොඩනැගීමට අනාගත පරම්පරාව ආරක්ෂා කිරීමට සෑම ආගමික පූජ්‍ය පක්ෂය ද ඇතුළුව ළමයින් වශයෙන් ඔවුන්ටත්, දෙමාපියන් හා වැඩිහිටියන් යන සමාජයේ සෑම භූමිකාවකටම ඒ සඳහා නිසි වගකීමක් ඇත.

පාට පාට දේදුන්නක සමලන සිහින සොයන අහිංසක කුඩා ජීවිතවල අනාගත ලෝකය වර්ණවත් කරදීම අප කාගේත් වගකීමකි.

- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)



ආදර්ශ රචනා..






ළමා අපයෝජනය පිටු දකිමු රචනය