Skip to main content

සිංහල විචාර 52 - සද්ධර්මරත්නාවලිය විචාරය 05 | purathana gadya sangrahaya

ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේදී උන්වහන්සේටම ආවේණික වූ රචනා රීතියක් අනුගමනය කර තිබේ. එතුළින් ඔහුගේ ස්වකීයත්වය ප්‍රකට කෙරේ. උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

"සද්ධම්මට්ඨති මච්ජන්තෝ 
ධම්මසේන යතිස්වරෝ" යනුවෙන් සද්ධර්මරත්නාවලියෙහි කර්තෘත්වය සඳහන් වේ. එසේ නම් 'සද්ධර්මය නමැති මිණිකැට අමුණන ලද මාලය' යනුවෙන් අර්ථගැන්වෙන මේ මහැගි බණකතා ‍ග්‍රන්ථය ගද්‍ය සාහිත්‍යාවලියට එකතු කරනු ලැබුවේ පුරාතන ගද්‍ය සාහිත්‍යයේ කිරුළු පළන් යුගයක් ලෙස හැඳින්වෙන පළවන පැරකුම් රජ දවස දඹදෙණිය යුගයේදී ධර්මසේන හිමිපාණෝ විසිනි. අනුරාධපුර යුගයේ ලියවුනා යැයි සැලකෙන පාලි ධම්මපදට්ට කතා මූලාශ්‍ර කර ගනිමින් විරාජිත මේ බණ කතා කෘතිය බණ කතා සාහිත්‍ය තුළ නොනිමි දැල්වෙන පහනක් බදුය. එතරම්ම සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සද්ධර්මරත්නාවලිය බණකථා රීතියෙන් රචිත සදහම් පුස්තකයෙකි.

" පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළාවූ ප්‍රබන්ධයකි. ක්‍රම විලංසාදී වූ අඩු වැඩි ඇතත් එය නොසලකා පැන් හා කිරි මුසු වූවත් කිරි පමණක් තෝරාගන්නා හංසයන් මෙන්.." 

මෙම පාඨය අනුව අපට හෙළි වනුයේ සද්ධර්මරත්නාවලිය පාලි ධම්මපදට්ඨයේ හුදු අනුවාදයක් හෝ පදානුගතික පරිවර්තනයක් හෝ නොවන බවයි. එසේ නම් සද්ධර්මරත්නාවලිය තුළින් ධර්මසේන හිමියන්ගේ ස්වකීයත්වය මෙන්ම උන්වහන්සේටම ආවේණික වූ රචනා රීතිය ද ප්‍රකට කෙරේ. එයට හොඳම නිදසුන වනුයේ පාලිදම්මපදට්ටයේ නොමැති කතා පුවත් ද සද්ධර්මරත්නාවලියේ දක්නට ලැබීමයි. මිලින්ද ප්‍රශ්නයෙන් ගත් නාගසේන කථා වස්තුව, දීඝ නිකාය අටුවාවෙන් ගත් බරණැස් රජතුමන්ගේ කථාව, සුත්ත නිපාත අටුවාවෙන් ගත් සතාගිරි හේමවත කථාව හෝ කාෂ්ටවාහන රජුගේ කථාව ඇතුළු තවත් කථා වස්තු රැසක් මෙසේ ධම්මපදට්ඨ කථාවට පරිබාහිරව ඈදා ගත් කථා වස්තූන්ය. එතුළින් ප්‍රත්‍යස්ථ වනුයේ සද්ධර්මරත්නාවලිය තුළින් කතුවරයාණන්ගේ ස්වකීය නිර්මාණ කුසලතා මෙන්ම ව්‍යුත්පත්ති ඥානය ප්‍රකට කෙරෙන බවයි.

බණ දහම් උගන්වා සමාජය සුචරිතයෙහි යෙදවීමත් සාමාන්‍ය ජනයා තුළ ශ්‍රද්ධා බුද්ධිය වැඩි දියුණු කරලීමත්, ධර්ම ඥානය වැඩිදියුණු කරලීමත් සද්ධර්මරත්නාවලිය රචනයේ කතුවරයාණන්ගේ පරම අභිලාෂයයි. 

"නුවණ මදවත් කුසලච්ජන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදී නම් බණ දැන පිංකම හැසිර නිවන් සාදා ගනීත් නම් එවැනි වූ සත්පුරුෂයන්ට වැඩ සදහා සද්ධර්මරත්නාවලිය කරම්හ."

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


කතා තුන්සීයකින් සමන්විත වූ සද්ධර්මරත්නාවලියේ එන සෑම කතා පුවතක්ම ආරම්භ කර ඇත්තේ අරමුණ සඳහන් කරමිනි. එම කතා පුවත ඉදිරිපත් කරන්නේ කුමක් අරමුණු කොටගෙනද යන්න ආරම්භයේදීම පැහැදිලි කරදීමට ධර්මසේන හිමියෝ අවධානයයොමුකරඇත. මේ අනුව මට්ටකුණ්ඩලී කතා වස්තුව ආරම්භ කරන්නේ මෙසේය.

" යම් කෙනෙක් නුවණ නමැති පහන් ඇසින් කුසල් මඟට බැස ලඝු වූත් කුසලයෙහි හැසිරෙත් නම් ඒ නිසා ලැබෙන ලොවී ලොව්තුරා සැපත් මට්ටකුණ්ඩලී කතා වස්තුවෙන් දක්වමු"

ඒ අනුව කතාව ආරම්භයේදීම රූපකාර්ථය දනවන බස් වහරින් ඉතා සංක්‍ෂිප්ත ලෙස ශ්‍රාවක සිත් සතන් වලට ධර්මෝපදේශ කාවදින අයුරින් කියාදීම රචනා උපක්‍රමයයි. නුවණ පහන් ඇසකි. කුසල් නමැති මාර්ගයකි. මෙම මාර්ගයට ප්‍රවේශ වී ඉතා කුඩා පිනක් කලද මෙලොව පරලොව සැප සම්පත් ලබාදෙන බව පූර්වෝක්ත වශයෙන් කියා පා ඇත. එසේ නම් සැදැහැවත් ජනයා තම ධර්ම දේශනාවට ආකර්ෂණය කර ගැනීමට කතු හිමියන් මෙතුළින් සමත් වී ඇත.

කුණ්ඩලකේශී කතා පුවතට ද සමාරම්භය ලබා දී ඇත්තේ ඒ ආකාරයෙන්මය. 

" තවද නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලාභයකුත් නැති නියාව හඟවන්ට කුණ්ඩලකේශීගේ වස්තුව දක්වමු."

මේ අනුව අපට පැහැදිලි වනුයේ ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේදී ඔහුටම ආවේණික වූ රචනා ශෛලියක් අනුගමනය කර ඇති බවයි.

එමෙන්ම සෑම කතා පුවතක්ම අවසාන කරනුයේ සුවිශාල වූ සමාජ සංශෝධනයක් ඇති කරලමින්ය. සැදැහැවතුන්ට අවශ්‍ය ධර්මෝපදේශ ලබාදෙමින්ය. එයද කතු හිමියන්ගේ සුවිශේෂ වූ රචනා ශෛලියයි. උන්වහන්සේගේ ස්වකීයත්වය මෙතුළින් ද ප්‍රකට කෙරේ. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ අවසානයේදී ලබා දෙනුයේ මෙවැනි වූ ධර්මෝපදේශයකි. 

" එසේ හෙයින් සත්පුරුෂයන් විසින් සද්ධර්මරත්නාවලී නමැති කැඩපතින් සදහම් නමැති මුහුණ බලා ශීලසමාදී ආදී ගුණ ශෝභාවෙන් හොබනේ මැනවි."

යනුවෙන් කතාව අවසානයේදී අඳින්න පුබ්බකගේ දැඩි මසුරුකම පලවා සෝවාන් ඵලයට පැමිණේ. එමෙන්ම කුණ්ඩලකේශී කතා වස්තුව අවසන් කර ඇත්තේ ද එසේමය.

" එහෙයින් නුවණැත්තන් විසින් ලැදි සටන් ආදී වූ විමසුම් නමැති අතින් මාර්ගඥාන නමැති කඩු ගෙන කෙලෙස් සතුන් හා සටනටම නියැළි නින්දයුතු"

තවද ධර්මසේන හිමි තම කතා පුවත් ඉදිරිපත් කිරීමේදී අවස්ථානෝචිතව අතුරු කතා ගෙනහැර දක්වයි. එයද ධර්මසේන හිමියන්ගේ ස්වතන්ත්‍ර ‍රචනා රීතියයි. කතාව ඇරබෙනුයේද චක්ඛුපාල තෙරුණ්වහන්සේගේ කතා පුවතෙනි. එමෙන්ම ඉල්ලීස සිටුවරයාගේ චරිතය ද සිහිගන්වයි. එපමණක්ද නොව චුල්ලධනුද්ධර ජාතකය, ජවනහංස ජාතිකය, නලපාන ජාතකය ආදී අතුරු කතා සිහිගන්වමින් තම කතා පුවත ඔපවත් කරගෙන ඇත.

"සද්ධර්මය නැමැති මිණිකැට අමුණන ලද මාලය " යනුවෙන් ද මේ පුස්ථකය ගෞරවාදරයට පාත්‍ර වනුයේ ධර්මසේන හිමියන්ගේ ශ්‍රාවක පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සේ පෝෂිත වූ ගැමි බසින් හා කවීත්වයෙන් පණ පෙවුනු බස් වහර නිසාය. සිද්ධියා අවස්ථා පාඨක මනසෙහි චිත්‍රණය වූයේ එම සෑම අවස්ථාවකදීම ගැමි පිරුළකින් උපමාවකින් කියන දේ වඩාත් අර්ථවත් කළ නිසාවෙනි. දැඩි මසුරු ගති ඇති අදින්න පුබ්බක බමුණාගේ චරිත අභ්‍යන්තරය එළියට ඇද දැමුවේ අපූරු ගැමි උපමා වලින්ය.

"තණ අග ගලා තෙල් බින්දුවක්වත් අනුන්ට නුදුන් විරූය."
"නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ"
"ආදා යවා තබාලා වල්පත ගත්තා සේ"
"හී දඩු මිටියකින් හී දණ්ඩක් ගත් කල අඩුව පෙනෙන්නා සේ"
"පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා සේ"

ධර්මසේන හිමියන් තම කතා පුවත් විකාශනය කිරීමේදී උපයෝගී කොටගත් තවත් ජනප්‍රිය භාෂා ප්‍රයෝගයක් වනුයේ වාක්‍ය සාධනයේදී උපකාරක ක්‍රියා හෙවත් පූර්ව ක්‍රියා භාවිතා කරලීමයි.
"තබාලා, හිදුවාලා, සිටුවාලා, බැසපියා, මරා තබා, වළදවලා යනාදිය එයට නිදසුන්ය. 

මේ අනුව අපට හැගී යන කරුණක් වනුයේ සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේදී ධර්මසේන හිමියන්ටම ආවේණික වූ රචනා ශෛලියක් අනුගමනය කර ඇති බවයි. එතුලින් උන්වහන්සේගේ ස්වාධීන ලේඛන කෞශල්‍ය, ප්‍රතිභාව මනාවට පැහැදිලි වේ.

P.G උමේෂා සචිනි දිසානායක
උසස් පෙළ කලා අංශය
පු/ මුන්දලම සිංහල මහ විදුහල







Comments