Skip to main content

Follow on YouTube

සිංහල විචාර  01 - සතර කන් මන්ත්‍රණය විචාරය 01

මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය විචාරන්න.



සතර කන් මන්ත්‍රණය, උම්මග්ග ජාතකය
සතර කන් මන්ත්‍රණය 

කතුවරයා උම්මග්ග ජාතකය රචනා කර ඇත්තේම අප මහා බෝධිසත්වයන් වහන්සේම වන මහෞෂධ පඩිතුමාගේ උපාය කෞශල්‍යය හා බුද්ධි මහිමය විදහා දැක්වීම සදහා ය. මියුලු නුවර වටලෑමේ සිට අපට කතුවරයා යලි යලිත් පසක් කර දෙන්නක් නම් වේදේහ රාජ්‍ය ආරක්ෂා කරනු පිණිස මහෞෂධ පඩිතුමාගේ උපාය කෞශල්‍යය නොවන්න වේදේහ රජුන්ට කලහැක්කක් නොමැති බවම ය.

"දේවයෙනි, මේ වේදේහ රජහුගේ බලයෙක් නො වෙයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ විදාන යැ."

මෙසේ පවසන්නේ එසේ මෙසේ කෙනෙකුන් නම් නොවෙයි. කතා වස්තුව තුල ඉහළින් ඉස්මතුකල භූමිකාවක් වන කේවට්ට ආචාරීයි. එවන් ආචාරී කෙනෙකුගේ   මෙබදු ප්‍රකාශ තුලින්ම මහෞෂධ පඩිතුමාගේ උපාය කෞශල්‍යය මොනවට විදාහා පා ඇත.
ආචාරී එතනින් නොනවතී තවත් දීර්ග ලෙස මහෞෂධ පඩිතුමාගේ අනුපමේය උපාය කෞශල්‍යය වර්ණනා කරයි.

" ඌ තුමූ මහානුභාව ඇත්තාහ. ඒ මහෞෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිථීලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසිකෙනෙකුත් විසින් ගන්නට නොහැක්කී ය."

සිංහයෙකු උපමාවට ගෙන බෝධිසත්වයන්ගේ උපාය කෞශල්‍යය උපරිම බව හගවන කේවට්ට ආචාරීගේ මේ ප්‍රකාශයම වෙනත් පුද්ගලයෙක් සිදුකලා වී නම් එහි අගය බාල වීමටද ඉඩ තිබුණි. පඩිතුමෙකු විසින් තවත් තමන්ට සතුරු පඩිතුමෙකු මෙලෙසින් වර්ණනා කරන තැනට පත්කිරීමට තරම් අප මහා බෝසතානන් වහන්සේගේ උපාය කෞශල්‍යයම හේතු වී ඇති බව පැහැදිලි ය.

සතුරා පරාජය කිරීමට නම් පළමුව සතුරාගේ මානසික තත්වය බිදවැට්ට විය යුතුය. මේහිදී මහෞෂධ පඩිතුමන් යෙදූ උපාය නම් දඹදිව සියලු රජවරුන් හා සේනා පිරිවරා සැණකෙලි පැවැත්වීමේ මහත් ආශාවක් වේදේහ රජුට කුඩා කාලයේ සිට පැවතී යැයි පවසා ඒ අභිලාශය ඉටුවූවාවෙන් රාජ්‍ය පුරා ප්‍රීති සැණකෙලි පැවැත්වීම යි. තමන් වේදේහ රජුගේ ආශාව සපිරුවේය. එනිසා වේදේහ රජුහා මියුලු නුවර වැසියෝ සතුටු සමරති. මේ ගැන සිතා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හා කේවට්ට ආචාරීන් තවතවත් කෝපාවිශ්ට වීමෙන් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිදිනි. දැන් ඔවුන් ඉක්මන් තීරන ගනී. දුරදිග නොබල යි. එනම් දැනටම සතුරා බාගයක් දුරට පරාජ වී සිටී. මහෞෂධයන්ගේ උපාය නම් අතිසාර්ථකය.

" බැලුව මැනව දේවයන් වහන්ස, මෙබදු ඇඹුල මලක් හා මේ සා දිග ඇඹුල දණ්ඩක් දුටූ විරූ දැ නැතැ" යි

කේවට්ටාචාරීන්ගේ උපාය නම් මියුලු නුවරට ජලය නොදී  සෙබලුන් ක්ලාන්ත වූ විට පහර දීමයි. මේ උපාය පැරද වීමට රාජ්‍ය තුල පොකුණු හා ඒවායේ ජලය යහමින් ඇති බව මහෞෂධයන් විසින් මවා පෑ අයුරු එතුමන්ගේ උපාය කෞශල්‍යය යලිත් පසක් කරයි.

උත්සාහය අත් නොහල කේවට්ට ආචාරීන් දිගින් දිගටම මියුලු නුවර අල්ලා ගැනීමට උපාය යෙදීය. වී සහල් නවතා රාජ්‍ය අල්ලා ගැනීමට උත්සාහ දැරීය . එයද අසාර්තක වූ තැන දර නවතා රාජ්‍ය ලබාගතහැකි යැයි සිතී ය. අප මහා බෝසතානන් වහන්සේගේ උපාය කෞශල්‍යය කොතෙක්ද යත් කේවට්ට ආචාරීගේ සියලු උපායන් පුහුවී ගියේ ය.


"පණ්ඩිතයෙනි, තොපට සුදුසු පඩුරක් සොයන්නෙම් අද මේ මිණි රුවන ලදිමි. හැර ගනුව.."

අවසානයේ තමන්ට නිසැක ජය ලැබිය හැකී සිතා කේවට්ටාචාරීන් ඇරඹූ ධර්ම යුද්ධය ඔහුටම පරාජය හා ලැජ්ජාව අත්කර දීමට තරම් හේතු කරවීමට මහෞෂධ පඩිරුවනගේ උපාය කෞශල්‍යයම හේතු වීය. මැණික් කැටයට ලෝබ වී ඒ ලෝබයෙන්ම අන්ධ වූ ආචාරීන් බෝසතුන් දෙපාමුල වැද වැටෙන බවවත් නොදැනම දෙපාමුල වූ මාණික්‍ය  ගැනීමට නැවුනාවෙන් ධර්ම යුද්ධයෙන්ද පරාජයම අත්කර ගත්හ.

මෙලෙස නැවත නැවතත් කතුවරයා පසක් කර දෙන්නේ වේදේහ රජතුමන්ගේ රාජ්‍ය ආරක්ෂා වීමට  මහෞෂධ පඩිතුමාගේ උපාය කෞෂල්‍යයම හේතුවූ බවම ය.