Skip to main content

සිංහල විචාර 21 - අපට වැසිකිළියක් විචාරය 02

වැසිකිළි භාවිතය පිළිබඳව එදා ගම්මුන් තුළ පැවති ආකල්පය කෙබඳු දැයි අපට වැසිකිළියක් කෙටිකතාව ඇසුරින් විමසන්න.

සනීපාරක්ෂක පහසුකම් සදහා අවශ්‍ය සෑම දේම වාගේ තිබෙන අද වාගේ කාලෙක ද කොරෝනා වැනි වසංගතයක් ඇති වූ විට මුඛ ආවරණ තිබිලත් ඒවා පැලදීමට හුරු වීමට කොතරම් කාලයක් ගත වූ වාද?. ඕනෑම දෙයක් මුලින් හුරු වීමට ඇති අකමැත්ත මිනිසාගේ ඇති ඉතා සාමාන්‍ය පොදු ලක්ෂණයකි. මීට දශක අටකට පමණ පෙර කාලයක වැසිකිළි යනු සුලබ දෙයක් නොවූ අතර නගර බදව පමණක් දැකිය හැකි විය.

ගම්බදව පාචනය, කොලරාව, පණු රෝග ආදී වසංගත පැතිරෙත්ම ගම්බද ප්‍රදේශවල ද වැසිකිළි සකස් කරවීමට සෞඛ්‍ය අංශ මගින් දරිගන්වා ඇත. එසේ වැසිකිළි සකස් කලද ගැමියන් ඒවා භාවිතයට එකවර කැමැත්තක් දක්වා නොමැත. එවැනි කාලයක වැසිකිළිය තේමා කොට ගනිමින් අපට වැසිකිළියක් කෙටිකතාව රචනා කරන කේ. ජයතිලක ශූරීන් ජනතාවට වැසිකිළි භාවිතයට කැමැත්තක් ඇති කරවමින් එකල කාලීන අවශ්‍යතාවයක් සපුරා ඇති ආකාරය අගය කල යුතුය. එකල ගැමියා තුළ වැසිකිළිය පිළිබඳව තිබූ ආකල්පය කෙසේ ද යන්න වඩාත් හොදින් දැන ගැනීමට එතුමාගේ මෙම කෙටිකතාවේ නිදසුන් ඇසුරින්ම සලකා බැලිය හැකිය.

සෞඛ්‍ය පරීක්ෂකවරයා හේරත්ගේ නිවසට පැමිණ මෙසේ ප්‍රශ්ණ කරයි,

"මේ ගෙදර වැසිකිළියක් තියෙනවද?"

වැසිකිළිය යන වචනය හේරත්ට හුරු නැත.

"තාත්තා යලිත් උඩබිම බලයි"

තාත්තා යනු හේරත්මය. හේරත් මෙම ප්‍රශ්ණයට පිළිතුරු නොදී උඩ බිම බලනුයේ වැසිකිළිය යන වචනය ද ඔහුට නුහුරු නිසාය. එකල වැසිකිළිය යනු කොතරම් දුලබ දෙයක් දැයි අපට මෙමගින් නිගමනය කල හැකිය.

සෞඛ්‍ය පරීක්ෂකවරයා දොළෙන් එගොඩ නිවාස වල වැසිකිළි තිබේ දැයි හේරත්ගෙන් විමසූ පසු හේරත් මෙසේ පවසයි,

"එහෙම දෙයක් ගැන අහලවත් නැතුව ඇති මයෙ හිතේ"

හේරත් පවසන ආකාරයට දොළෙන් එගොඩ වැසියන් වැසිකිළිය යන නමවත් අසා නොමැති විය යුතුය. එබැවින් මෙම ගැමියන්ට වැසිකිළිය යනු ඉතා අලුත් දෙයක් බව හැගවෙයි.

සෞඛ්‍ය පරීක්ෂක ගිය පසු සංවාදයේ යෙදෙන සුගතන් සිනාසෙමින් මෙසේ පවසයි,

"තිකෝනිස් කිව්වලු, 'අනේ බුදු මහත්තයො, මෙහෙ මොන කක්කුස්සිද? ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න.'.."

සෞඛ්‍ය පරීක්ෂක තිකෝනිස්ගේ නිවසට ගොස් වැසිකිළියක් තිබේදැයි විමසූ විට තිකෝනිස් සිතන්නේ සෞඛ්‍ය පරීක්ෂකට වැසිකිළි යෑමට අවශ්‍ය වී එසේ අසන බවය. ඊට පිළිතුරු වශයෙන් ඉහත පරිදි තිකෝනිස් කියනු ලබන අතර එයට කෝප වන සෞඛ්‍ය පරීක්ෂක තිකෝනිස්ට නඩු පැවරූ බවද හේරත්ට පවසමින් සුගතන් මේ ලෙස සිනාසීම තුළ ද එදා වැසිකිළිය පිළිබඳව ගැමියන් තුළ වූ ආකල්පය සිතා ගත හැකිය.

"පාර අයිනෙ එහෙම එකක් තියෙන එක හරි. මොකද එහෙ කැලෑ තියෙනවද?"

තවදුරටත් වැසිකිළිය පිළිබඳව කතාබහ කරන හේරත් සුගතන්ට ඉහත පරිදි පවසයි. ඒ තුළින් ගම්‍ය වනුයේ වැසිකිළියට වඩා ඔවුන්ට කැලෑව ඒ සදහා සුදුසු බවයි. කැලෑවක් නැති නම් පමණක් වැසිකිළියක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි. තවදුරටත් වැසිකිළියට තමන්ගේ ඇති අකමැත්ත ප්‍රකාශ කරන හේරත් පහත පරිදි පවසයි,

"නීතියෙන් බේරෙන්ඩ හැදුවත් කියමු. ගෙයක් ඇතුළෙ ඉඳ ගෙනත් ඔය වැඩේ කල හැකිද?"

එසේ පැවසීම තුළ වැසිකිළිය පිළිබඳව ඔහුගේ ඇති දැඩි විරෝධය මනාව ප්‍රකට වෙයි. වැසිකිළියක් තිබුණත් ඔහු නම් එය පාවිච්චි නොකරන බව ද කියමින් තව දුරටත් කතාබහේ යෙදෙයි.

"ෂික් විතරක්! ගඳ ගහන්නෙ නැද්ද?"

නගර වල වැසිකිළිය නිවස ඇතුළත ද සකස් කරන බව සුගතන් පැවසූ විට හේරත්ට දැනුනු පිළිකුල ඉහත පරිදි ප්‍රකාශ කරයි. නුහුරු නුපුරුදු බව හා බොහෝ විට නොදැනුවත්කම නිසා වෙන් ඔවුන් නිතරම වැසිකිළිය දෙස බැලුවේ පිළිකුල් සහගත දෘෂ්ටිකෝණයකින් බව එම නිදසුනෙන් පැහැදිලි වෙයි.

"අවශ්‍යතාවක් ඇති වූ විට පවා ගෙදර එනතුරු තද කරගෙන සිටියෙමු"

තිකෝනිස්, සුගතන් සහ හේරත් නොදැනුවත් කම නිසා වැසිකිළි දැක නොමැති නිසා එසේ කීවා යැයි සිතිය හැකිය. නමුත් පාසලේ වැසිකිළියක් තිබියදී පවා ළමයින් එය පාවිච්චියට නොගන්නා බව කතුවරයා පවසයි. එසේ වීමට තරම් වැරදි දැක්මක් එකල දරුවන් තුළ පවා වැසිකිළිය පිළිබඳව තිබී ඇත. සමහර විට ඔවුන් තුළ වැසිකිළිය භාවිතා කිරීමට ලැජ්ජාවක් පවතින්නටද ඇත.

ඉහත උදාහරණ සමගින් විමසා බලන විට පෙනී යන කරුණු වනුයේ එදා ගැමි සමාජයේ වැසිකිළියට කැමැත්තක් නොතිබූ බවය. එසේම ඔවුන් හුරු පුරුදුව සිටි කැලෑවෙන් වැසිකිළිය වෙත හුරු වීම ඔවුන්ට ලේසි නොවන බවය. ආර්ථික දුෂ්කරතා මැදින් දුක්විඳ වැසිකිළියක් සදා ගත්තද එයට කැමැත්තක් ඇතිවීමට ඒ සදහා හුරු වීමට, කොටින්ම ආකල්පමය වෙනසක් ඇති වීමට ඔවුන්ට තරමක කාලයක් අවශ්‍ය වූ බව මෙම කෙටිකතාවේ එන කරුණු අනුව අපට නිගමනය කල හැකිය.

-Admin-

අපට වැසිකිළියක් විචාරය 01


Grade 10 sinhala sahithya vichara athwela
Grade 11 sinhala sahithya vichara athwela
Sinhala sahithya vichara pdf free download
Grade 10 sinhala sahithya vichara question & answers
Apata vesikiliyak vichara pdf download 
Apata vesikiliyak vichara examples
Apata wesikiliyak vichara livima
10 ශ්‍රේණිය අපට වැසිකිළියක් විචාර
10 වසර අපට වැසිකිළියක් විචාර

Comments