Skip to main content

සිංහල විචාර 20 - අපට වැසිකිළියක් විචාරය 01 - සාමාන්‍ය පෙළ

අපට වැසිකිළියක් කෙටි කතාව සදහා යොදාගත් භාෂාව එහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවකි" විමසන්න.

කිරිඳිවැල රදාවාන සොදුරු ගම් පියසෙහි ඉපිද හැදී වැඩුනු කේ. ජයතිලක ශූරීන් "සාහිත්‍ය රත්න" සම්මානයෙන් පවා පිදුම් ලැබූයේ ඔහුගේ නවකතා, කෙටිකතා තුල වූ ඉහළ ගුණාත්මක භාවය නිසාය. විශේෂයෙන්ම බස හැසිරවීමේ දී ග්‍රාමීය හා වියත් වහර මනාලෙස භාවිත කරමින් එතුමානන් දක්වා ඇති කුසලතාවය පැසසිය යුතුමය. 

"නොනිමි සිත්තම හා තවත් කෙටිකතා" නම් කෙටිකතා සංග්‍රහයෙහි ඇතුලත් "අපට වැසිකිළියක්" නම් කෙටි කතාව සැලකීමේදී කතාබහ කිරීමට පවා පිළිකුලක් මැලිකමක් දක්වන "වැසිකිළිය" තේමා කොට ගනිමින් රසවත් ලෙස ආදර්ශවත් කෙටිකතාවක් රචනා කිරීම තුලම කේ. ජයතිලක ශූරීන්ගේ භාෂා කුසලතාවය පිළිබිඹු වන අතර "අපට වැසිකිළියක්" කෙටි කතාව තුල එතුමාගේ භාෂා භාවිතය කෙටි කතාවේ සාර්ථකත්වයට බලපෑ ආකාරය නිදසුන් සමගින් විමසා බලමු.

තැනට ගැලපෙන පරිදි කතා බහේදී කියනු ලබන උපමා විශේෂයකට ප්‍රස්තාව පිරුළු යැයි කියනු ලැබෙන අතර සිංහල භාෂාවේ රසවත් භාවිතයක් ලෙස ප්‍රස්තාව පිරුළු හැදින්විය හැකිය. අතීත කතාවක් පැවතීම සාමාන්‍ය උපමාවකට වඩා ප්‍රස්තාව පිරුළු රසවත් හා අර්ථවත් වීමට හේතුවයි. අපට වැසිකිළියක් කෙටි කතාව තුල ද ප්‍රස්තාව පිරුළු භාවිතා කරමින් කතාව වඩාත් රසවත් කිරීමට සේම අවස්ථාව වඩාත් හොදින් පාඨකයාට සමීප කරවීමට කේ. ජයතිලකයන් උත්සාහ දරා ඇති ආකාරය පහත නිදසුන් මගින් දැක්වෙයි.

"කම්මලේ සිටින බල්ලාට යකඩ තළන හඬ මෙන්"

අක්කා තම වැඩ වලට උදව්වන ලෙස මල්ලීට පැවසූ විට මල්ලී විසින් නොයෙකුත් ඇනුම් බැනුම් අක්කාට කියනුයේ එම වැඩ මග හැරීම සදහාය. නමුත් දිගු කාලයක් තිස්සේ මල්ලීගේ ඇනුම් බැනුම් අසා ඇති බැවින් ඒවායේ අමුත්තක් අක්කාට නොමැති බැවින් නෑසුනා සේ සිටියි. මේ සිද්ධිය කම්මලේ බල්ලාට යකඩ තලන හඬ නිතර අසා පුරුදු බැවින් ඒ හඬ නෑසෙනා සේ සිටිනා ආකාරයට සමාන බව පිරුලක් ආකාරයෙන් කතුවරයා දක්වයි. මෙම කෙටි කතාවේ එන එවැනි තවත් පිරුළු කිහිපයක් පහත දැක්වෙයි.

"මටත් කරන්ඩ තිබුණෙ අර වී ඇටය අහුලපු කිකිළි කරපු දේ"

"නොකෙරෙන වෙදකමට ඔහු කෝඳුරුතෙල් හත්පට්ටයක් සොයන්නට පටන් ගති"

ප්‍රස්තාව පිරුළු පමණක් නොව කතාවට උචිත අයුරින් තවත් උපමා නිර්මාණය කරන කතුවරයා පහත ආකාරයේ අපූර්ව උපමාවක් යොදා තිබෙයි.

"ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවාක් මෙන්"

නිවස ආසන්නයේ කුඩාවට තවත් නිවසක් සේ සකසා ඇති වැසිකිළිය නිවසේ පැටියෙක් ලෙස දකින කතුවරයා වැසිකිළියට තමා ප්‍රිය කරන බව පැවසීමට එය රසවත් ලෙස උපමා කොට ගෙන ඇති ආකාරය එතුමා කෙටි කතාවේ සාර්ථකත්වයට භාෂාව භාවිත කල බවට කදිම නිදසුනකි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


කතාව ඉදිරිපත් කිරීමේ දී කේ. ජයතිලකයන් යොදාගත් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය නිසා පාඨකයාට වඩාත් විශ්වසනීය හා සමීප ලෙස තම අද්දැකීම් වශයෙන් ඉදිරිපත් කිරීමට අවකාශ සකසා ගෙන තිබෙයි. එමගින් ඇතැම් දේ තමා දකින සහ සිතන දේවල් ලෙස පාඨකයාට විස්තර කිරීමට එතුමා උත්සාහ දරා ඇත. උදාහරණ ලෙස කුරහන් ගල පිළිබඳව කරන විස්තරය හා තමා දකින සිහින අමතක වීම පිළිබඳව සදහන් කිරීම දැක්විය හැකිය.

ගැමි ව්‍යවහාරයේ ඇති වචන මනා ලෙස භාවිත කිරීම නිසා පාඨකයා ගැමි පරිසරයකට ගෙන යෑම පහසු වූ බව කිව හැකිය.

"තැම්ම"

"කෑම් පීම්"

"බඩවැටිය"

"ගොඩැල්ලෙ"

"හිරමනා කොටය"

"මයෙ හිතේ"

ඉහත දැක්වූ ආකාරයේ ග්‍රාමීය වචන බොහොමයක් යොදා ගනිමින් කතාව රසවත් කරන අතරවාරයේ පහත දැක්වෙන ආකාරයේ විද්වත් වචන ද සුදුසු පරිදි යොදාගෙන තිබීම කෙටි කතාව සාර්ථක වීම කෙරෙහි බෙහෙවින්ම ඉවහල් වී ඇත.

"අභිමතාර්ථසාධනය"

"ගර්වයෙන්"

තවද කතාවෙහි ඒකාකාරී බව නැති කරමින් පිබිදීමක් ඇති කිරීමට අනුප්‍රාසාත්මක ශබ්ද සහිත පද යොදාගෙන තිබීම ද කතාවෙහි සාර්ථකත්වයට ඉවහල් වී ඇති අතර එවැනි පද කිහිපයක් පහත දැක්වෙයි.

"අය්යෙ අය්යෙ"

"කොක් කොක්"

"බැහ්! බැහ්!"

"පිච්චෙයි පිච්චෙයි"

මෙවැනි ශබ්ද රසය සහිත පද මගින් පාඨකයාගේ මනස උද්දීපනය කරවන අතර කතාව කියවාගෙන යෑම සදහා ආශාවක් ද ඇති කරයි.

අපට වැසිකිළියක් කෙටි කතාව සාර්ථක වීම සදහා කතුවරයා භාවිත කර ඇති ප්‍රධානම භාෂා උපක්‍රමයක් ලෙස දෙබස් භාවිතය දැක්විය හැකිය.

සෞඛ්‍ය පරීක්ෂක :- "කෝ, කවුද හේරත් කියන්නේ?"

හේරත් :- "මම"

සෞඛ්‍ය පරීක්ෂක :- "කෝ, වැසිකිළිය හැදුවද?"

හේරත් :- "තවම ඉවර නෑ"

සෞඛ්‍ය පරීක්ෂක :- "ඉවර නැ කියන්නෙ හදන්න පටන් ගත්ත ද?"

හේරත් :- "ඒකට තමයි මේ ලෑල්ල දැම්මෙ"

සෞඛ්‍ය පරීක්ෂක :- "ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහො"

සිද්ධිය කියනවාට වඩා මේ අයුරින් නාට්‍යයානුසාරී දෙබස් ලෙස ඉදිරිපත් කිරීම මගින් පාඨක සිතෙහි චිත්තරූප මැවෙන අතර පාඨකයා කතාව තුළම ඇද බැද තබා ගැනීමට මෙම කෙටි කතාව තුල දෙබස් භාවිතය බෙහෙවින්ම ඉවහල් වී ඇත.

ඉහත දක්වන ලද නිදසුන් අනුව උපමා, ප්‍රස්තාව පිරුළු, ග්‍රාමීය හා වියත් වහර, අනුප්‍රාස ශබ්ද සහිත පද සහ විශේෂයෙන්ම දෙබස් භාවිතය ආදී වූ භාෂා අංග යොදාගත් ආකාරය අපට වැසිකිළියක් කෙටි කතාව සාර්ථක වීමට ප්‍රධාන ලෙස හේතු සහගත වූ බව පැහැදිලිය.

-Admin-


අපට වැසිකිළියක් විචාරය 02






Key words 

අපට වැසිකිළියක් විචාරය 

අපට වැසිකිලියක් විචාර 

අපට වැසිකිළියක් විචාර ලිවීම 

අපට වැසිකිළියක් විචාරය pdf

අපට වැසිකිළියක් විචාරය download 

අපට වැසිකිලියක් Ol විචාර


Comments