ජලය සුරැකීම අපේ යුතුකමකි
ජලය යනු මිනිස් ජීවිතයට අත්‍යවශ්‍යම ස්වාභාවික සම්පතකි. ජලය නොමැතිනම් මනුෂ්‍යයා පමණක් නොව, සතුන්, වෘක්ෂලතා හා සමස්ත පරිසර පද්ධතියම විනාශයට ලක්වනු ඇත. පෘථිවියේ පවතින ජලයෙන් බහුතරයක් ලවණ සහිත ජලය වන අතර, මනුෂ්‍යයාට භාවිත කළ හැකි පානීය ජල ප්‍රමාණය ඉතා සීමිතය. එබැවින් ජලය සුරැකීම අප සෑම දෙනාගේම වගකීමක් බව තේරුම් ගත යුතුය.
අතීතයේ අපේ පුරාණ රජවරු පවා ජලයේ වටිනාකම හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ නිසාම ඔවුන් වැව්, ඇළ මාර්ග ආදී විශාල ජල කළමනාකරණ පද්ධති ගොඩනැගූහ. “ගමයි දාගැබයි, වැවයි පන්සලයි” යන පාඨයෙන් ඒ බව පසක් වෙයි. ඒ අනුව ඔවුන් රට පුරා වැව් පද්ධතියක් නිර්මාණය කරමින් වියළි කලාපයේ ජීවිත යහපත්ව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ක්‍රියා කළහ. මේ මඟින් පැහැදිලි වන්නේ ජලය සුරැකීම අපේ සංස්කෘතියේද අත්‍යවශ්‍ය කොටසක් වූ බවයි.
නමුත් අද කාලයේ ජලය අපහරණය කිරීම, අනිසි ලෙස භාවිත කිරීම සහ ජල මූලාශ්‍ර විනාශ කිරීම වැඩි වෙමින් පවතී. නගරීකරණය, කාර්මීකරණය, වනාන්තර විනාශය සහ පරිසර දූෂණය නිසා බොහෝ ගංගා, වැව් හා උල්පත් දූෂිත වී ඇත. සමහර ප්‍රදේශවල පානීය ජලය හිඟ වීමත්, වියළි කාලවලදී ගොවි ජනතාවට දැඩි අපහසුතා ඇතිවීමත් දැකිය හැක. මෙය අනාගත පරපුරට ඉතා භයානක අනතුරකි.
ජලය අපේ දෛනික ජීවිතයේ සෑම කටයුත්තකටම භාවිතා වේ. පානය කිරීම, ආහාර පිසීම, ස්නානය, වගා කිරීම, කර්මාන්ත කටයුතු හා විදුලි බල උත්පාදනය වැනි සියල්ල ජලය මත රඳා පවතී. එබැවින් ජලය නොමැති වීම යනු ජීවිතයේ සියලු ක්ෂේත්‍ර අඩාල වීමකි. ඒ නිසා ජලය සුරැකීම යනු ජීවිතය සුරැකීමක් ලෙස සැලකිය හැක.
අපට පුද්ගලිකව කල හැකි කුඩා ක්‍රියාවලින්ද ජලය සුරැකීමට විශාල දායකත්වයක් ලබා දිය හැක. අනවශ්‍ය ලෙස ටැප් විවෘත කර තැබීමෙන් වැළකීම, ජල නළ නියමිත වේලාවට අලුත්වැඩියා කිරීම, වැසි ජලය රැස් කර භාවිතා කිරීම, වාහන සෝදන විට හෝ බිම් පිරිසිදු කරන විට ජලය ඉතිරි වන ක්‍රම භාවිතා කිරීම වැනි දේ ඒ අතරට ඇතුළත් වේ. එමෙන්ම ගස් වගා කිරීම හා වනාන්තර ආරක්ෂා කිරීමද ජල චක්‍රය සුරැකීමට ඉතා වැදගත් වේ.
පාසල් මට්ටමින් සහ සමාජ මට්ටමින් ජලය සුරැකීම පිළිබඳ අවබෝධය වැඩි කිරීමත් අත්‍යවශ්‍යය. ළමුන්ට කුඩා කාලයේ සිටම ජලයේ වටිනාකම උගන්වන්නේ නම් ඔවුන් අනාගතයේ වගකීම් සහගත පුරවැසියන් බවට පත්වේ. සමාජ සංවිධාන, රාජ්‍ය ආයතන සහ මාධ්‍ය එක්ව ජල සුරැකීම පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් ජනතාවගේ හැසිරීමද ධනාත්මක ලෙස වෙනස් විය හැක.
අද ලෝකය මුහුණ දී සිටින දේශගුණික වෙනස්වීම් නිසා වැසි රටාවන් වෙනස් වෙමින් පවතී. සමහර කාලවල දැඩි වියළි තත්ත්වයත්, තවත් කාලවල අධික වැසිත් ඇතිවීම සාමාන්‍ය දෙයක් වී ඇත. මෙවැනි තත්ත්වයන් හමුවේ ජලය සුරැකීම තවත් අත්‍යවශ්‍ය වේ. අපි අද ජලය අපහරණය කළහොත් හෙට අපටම එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු නියතය.
අවසානයේ කිව හැක්කේ ජලය යනු අපට ස්වභාවධර්මයෙන් ලැබුණු අගනා ත්‍යාගයක් බවයි. එය සුරැකීම රජයේ හෝ කිසිදු ආයතනයක පමණක් නොව, අප සැමදෙනාගේ ද යුතුකමකි. අද අප ගන්නා සරල තීරණ හෙට පරපුරේ ජීවිත තීරණය කරනු ඇත. එබැවින් “ජලය සුරැකීම අපේ යුතුකමකි” යන අදහස ක්‍රියාවට නන්වමින්, ජලය සුරැකි සුවදායී අනාගතයක් ගොඩනැගීමට අප සැම එක්ව කැපවිය යුතුය.
- ආලෝකා සයුරංගි -
Comments