ඉවසීම ජයග්‍රහණයට මග වේ
මිනිස් ජීවිතය යනු සරල, සෘජු මාර්ගයක් නොවේ. එය බොහෝ විට අභියෝග, පරාජය, වේදනා සහ අසාර්ථක අවස්ථා වලින් පිරුණු ගමනකි. මෙම ගමන තුළ මිනිසාට මුහුණ දීමට සිදුවන බාධක සහ අභියෝග ජයගැනීමට අත්‍යවශ්‍ය ගුණයක් ලෙස ඉවසීම සැලකිය හැක. ඉවසීම නැති ජීවිතයක් අතහැර දැමූ සිහින වලින් හා උත්සාහයන්ගෙන් පිරී යන අතර, ඉවසීම ඇති ජීවිතයක් ජයග්‍රහණයට මාර්ගය සලසයි. එබැවින් “ඉවසීම ජයග්‍රහණයට මග වේ” යන වාක්‍යය ප්‍රායෝගික ජීවිතය තුළ සත්‍යයක් ලෙස සැලකිය හැක.
ඉවසීම යනු කේන්තිය, හදිසි තීරණ සහ අපහසු තත්වයන්ට නොඇදෙමින්, සන්සුන් සිතින් දුෂ්කරතා හමුවේ දෘඪව සිටින හැකියාවයි. එය දුර්වලත්වයක් නොව, විශාල මානසික ශක්තියකි. බොහෝ දෙනා ඉවසීම දුර්වලතාවයක් ලෙස වැරදි ලෙස හඳුනා ගත්තද, ඇත්ත වශයෙන්ම එය විශාල ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. කාලයට, උත්සාහය සහ විශ්වාසය එක්කර ගනිමින් ඉදිරියට ගමන් කිරීම ඉවසීමේ සැබෑ අරුතයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය දෙස බැලූ විට ඉවසීමේ වටිනාකම පැහැදිලිව දක්නට ලැබේ. විභාගවල අසාර්ථක වීම්, අඩු ලකුණු ලැබීම, හෝ අකමැති විෂයයන් සමඟ සටන් කිරීම සිසුන්ගේ ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම් වේ. එවැනි අවස්ථාවලදී ඉවසීම නැති සිසුන් තම අධ්‍යාපන ගමන අතහැර දමන අතර, ඉවසීම සහ උත්සාහය ඇති සිසුන් අසාර්ථකතාවෙන් පාඩම් ඉගෙන ගෙන නැවත උත්සාහ කරති. අද සමාජයේ විශිෂ්ට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් සහ විද්වතුන් බොහෝ දෙනා තම ජීවිතයේ ආරම්භයේදී පරාජයන්ට මුහුණ දුන් පුද්ගලයන්ය. නමුත් ඔවුන්ගේ ඉවසීම ඔවුන්ට ජයග්‍රහණය ලබා ගෙන දී ඇත.
රැකියාව සහ වෘත්තීය ජීවිතය තුළද ඉවසීම අත්‍යවශ්‍ය වේ. රැකියාවක් සොයාගැනීමේදී, උසස්වීම් බලාපොරොත්තු වන විට, හෝ සේවා ස්ථානයේ අභියෝගවලට මුහුණ දෙන විට ඉවසීම විශාල කාර්යභාරයක් ඉටු කරයි. වහාම සාර්ථකත්වය ලැබේ යැයි සිතන අය කුඩා බාධකයකදීම උත්සහය අත්හැර දමන අතර, ඉවසීමෙන් ක්‍රියා කරන පුද්ගලයා කාලයත් සමඟ තම හැකියාවන් වර්ධනය කර ගනිමින් ඉදිරියට යයි. අද ලෝකයේ සාර්ථක ව්‍යාපාරිකයන් බොහෝ දෙනා තම පළමු උත්සාහවලදී අසාර්ථක වී ඇත. නමුත් ඔවුන් ඉවසීමෙන් නැවත නැවත උත්සාහ කිරීම හේතුවෙන් අද ජයග්‍රහණයේ හිනි පෙත්තටම ලගා වී තිබේ.
මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහාද ඉවසීම අත්‍යවශ්‍ය වේ. ජීවිතයේ සෑම විටම අපේ කැමැත්ත පරිදි දේවල් සිදු නොවේ. අපේ බලාපොරොත්තු බිඳ වැටෙන අවස්ථා, අප ආදරය කරන පුද්ගලයන්ගෙන් වෙන් වීමට සිදුවන අවස්ථා හෝ අපට අසාධාරණ ලෙස දුක් විඳීමට සිදුවන අවස්ථා ජීවිතයේ ඇත. එවැනි අවස්ථාවලදී ඉවසීමෙන් කාලය ගත කරමින්, සිත සන්සුන් කරගෙන ඉදිරියට යාමෙන් මිනිසා නැවත ශක්තිමත් වේ. කාලය සමඟ වේදනාව අඩුවන අතර, ඉවසීමෙන් ජීවිතය පිළිබඳ නව දෘෂ්ටියක් ලැබේ.
ඉතිහාසය පුරාවටම ඉවසීමෙන් ජයග්‍රහණයට ළඟා වූ පුද්ගලයන්ගේ උදාහරණ රැසක් දක්නට ලැබේ. නිදහස ලබාගැනීමට දිගු කාලයක් ඉවසීමෙන් සටන් කළ ජාතීන්, අසාධාරණයට එරෙහිව සන්සුන්ව හා ස්ථිරව ක්‍රියා කළ නායකයන්, සහ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා වසර ගණනාවක් උත්සාහ කළ විද්වතුන් ඉවසීම ජයග්‍රහණට ඇති එකම මග බව පසක් කරයි. එක් දිනයකින් හෝ කෙටි කාලයකින් ලැබෙන ජයග්‍රහණ බොහෝ විට තාවකාලික වන අතර, ඉවසීමෙන්, උත්සාහයෙන් සහ විශ්වාසයෙන් ලබාගන්නා ජයග්‍රහණ සදාකාලික වේ.
ඒ අනුව බලන විට, ඉවසීම යනු ජීවිතය ජයගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍යම ගුණයක් බව අපට වැටහේ. එය අපට සන්සුන් සිතක්, ශක්තිමත් හදවතක් සහ පැහැදිලි මනසක් ලබා දෙයි. අසාර්ථකත්වය යනු පරාජය නොව, ජයග්‍රහණයට යන මගෙහි එක් පියවරක් බව අපට ඉගැන්වෙන්නේ ඉවසීමෙනි. එබැවින් අපි ජීවිතයේ දුෂ්කර මොහොතවලදී ඉවසීම අතහැර නොදමා, විශ්වාසයෙන් හා උත්සාහයෙන් ඉදිරියට ගමන් කළහොත්, ජයග්‍රහණය නියතවම අප වෙත පැමිණේ.
- ආලෝකා සයුරංගි -
Comments