Skip to main content

දිට්වා සුළි කුණාටුව ගැන රචනාව

ලක්දිව ජලයෙන් යට කළ දිට්වා 

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපා තිබූ අහිතකර කාලගුණය කෙතරම් විනාශකාරීද යන්න අපි සියලු දෙනා දුටුවෙමු. ඒ සියල්ල සිදුවූයේ දිට්වා නම් විනාශකාරී සුළි කුණාටුව නිසාවෙනි. එය නොවැම්බර් මස අවසන් දින කිහිපය තුළ ශ්‍රී ලංකාවටත් දෙසැම්බර් මස මුල් දින කිහිපයේ ඉන්දියාවටත් විශාල හානි රැසක් සිදු කළේය. 

ඊට අමතරව තවත් දකුණු ආසියාතික රටවල් කිහිපයකටම මෙම දිට්වා සුළි කුණාටුව නිසාවෙන් දැඩිලෙස හානි සිදුවිය. ඒ අතර දහස් සංඛ්‍යාත ජීවිත හානි මෙන්ම දේපල හානි ද විය. 

මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට එම දින කිහිපය පුරාවට අධික වැසි හා සුළන් ඇති වූ අතර ශ්‍රී ලංකාවේ දකුණු පළාත හැර අනෙකුත් සියලුම පළාත් මෙම ව්‍යසනයට මැදිවිය.  

අධික වැසි හමුවේ නමුත් ජලාශයක්, වැවක් හෝ කිසිදු විශාල ජල මූලාශ්‍රයක්වත් නොමැති පළාත් පවා ජලයෙන් යට වීම අහම්බයක් නොවේ. ඊට නිසි ලෙස නඩත්තු නොවූ කාණු පද්ධතිය ඇතුළු ඇල මාර්ග ද ඇතැම් විට හේතුවක් වන්නට ඇත. එලෙස ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක බෙදීමකින් තොරව මුලු ලංකාවම ජලයෙන් යට විය.

මෙම ව්‍යසනය හමුවේ මහා මාර්ග, පාලම්, පොදු දේපල, වාහන, නිවෙස් ඇතුලු සියලු දේ පරිහානියට පත් වූ අතර ඒවා නැවත පිළිසකර කිරීමට හා අලුත්වැඩියා කිරීමට ඉන්දියාව, පාකිස්තානය, චීනය ඇතුලු මිතුරු රටවල් ගණනාවක් සහය ලබාදීමට ද එකග විය.

මෙම ආපදා තත්වයන්ගෙන් පීඩා විදි මිනිසුන්ට බහුතරයක් පිහිට වූයේ ත්‍රිවිධ හමුදාව ඇතුලු අපේම මිනිසුන් ය. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, සමාජ මාධ්‍යයේ බලය භාවිතා කරමින් ජනයා එක් රැස් කොට අවතැන් වූ අසරණ ජනතාවට අවශ්‍ය පහසුකම් හැකි උපරිමයෙන් සැපයූ අතර ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් පොළොවෙන් මෙන්ම ගුවනින් ද සහනාධාර රැගෙන ගියේ ගොඩ බිමින් ලගාවිය නොහැකි පෙදෙස් වල ජනයාට පවා සහනයක් ලබාදීමේ අරමුණින් ය.

ඒ කෙසේ නමුත් එම මෙහෙයුම් අතරතුර ශ්‍රී ලාංකික යුධ හමුදා සෙබෙලෙකු ද අවාසනාවන්ත ලෙස හෙලිකොප්ටර් යානා අනතුරකින් මරණයට පත් වූයේ තම ජීවිතයේ අවසන් මොහොතෙත් සහනක් අවැසි මිනිසුන්ට සහනාධාර බෑගයක් බිමට හෙලමින් ය.

එම සිදුවීම කෙතරම් අවාසනාවන්ත වූවත් ශ්‍රී ලාංකීය මිනිසත්කමේ මහිමය කියාපාමින් එතුමා අවසන් ගමන් ගියේ, එම ව්‍යසන හමුවේ අසරණ වූවන්ට පිහිට වීමට කාලය, ශ්‍රමය හා මුදල් වැය කළ සියලු දෙනා වීරයන් ලෙස නම් කරමින් ය.

දිට්වා නම් රකුසා ඒ දින කිහිපය තුළ පමණක් ලක්දිවට කළ විනාශය සුළු පටු නොවේ. ඒ කෙසේ නමුත් සුනාමියකට, බෝම්බ ප්‍රහාරයට ද පසුව නැවත ගොඩ නැගුණු ශ්‍රී ලංකා මාතාව නැවත වරක් ස්වභාව ධර්මයේ දරුණු තරවටු කිරීමකින් අනතුරුව නැවත ගොඩ නැගෙමින් සිටියි. මේ වන විට අධික වර්ෂාව පහව ගොස් බලාපොරොත්තුවේ හිරු කිරණක් ශ්‍රී ලාංකික මහ පොළොවට පතිත වෙමින් පවතියි.

ඉතින් මෙය අප සියලු දෙනා ස්වභාව ධර්මයට අවනත විය යුතු බව මතක් කිරීමට පරිසරය විසින්ම ගත් තීරණයක් බව දැන පරිසරය ආරක්ෂා කිරීමටත් පරිසර දූෂණයෙන් වැළකී සිටීමටත් මින් පසු අප සියලු දෙනා වගබලා ගත යුතුය.

- ආලෝකා සයුරංගි - 

Comments