Skip to main content

ඩෙංගු මර්දනය කරමු රචනාව

ඩෙංගු මර්දනය කරමු

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් පැතිරෙන රෝගයකි. මෙය ඊඩ්ස් නම් ගණයට අයත් ගැහැණු මදුරුවෙකු හරහා පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙයි. ආසාදිත පුද්ගලයෙකුට දෂ්ට කළ සාමාන්‍ය ඊඩ්ස් ගැහැණු මදුරුවෙකු තවත් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙන් මෙම රෝගය පැතිරේ. ඩෙංගු මදුරුවන් සාමාන්‍යයෙන් උදෑසන ඉර පායා පැය කිහිපයක් යන තුරු ද, ඉර බැස යාමට පැය කිහිපයක සිට ද ක්‍රියාකාරී වේ.

ඩෙංගු උණ, සාමාන්‍ය උණෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ බොහෝ විට කෙටි කලකින් සුව වන නමුත් ඩෙංගු උණ එලෙස ඉක්මනින් සුව නොවේ. එමෙන්ම මෙම රෝගය ආසාදනය වීමට විශේෂ අවදානම් සාධක අවශ්‍ය නොවන අතර ආසාදිත ඊඩ්ස් මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම අයෙකු මෙම රෝගයට භාජනය විය හැක. නමුත් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණය, වයස හා ස්වභාවය මත රෝගය දරුණු වනවාද නැතිද යන්න තීරණය වේ. මෙම වෛරසය මගින් මිනිසාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ආක්‍රමණය කරන බැවින් ප්‍රතිශක්තිකරණය දුර්වල වන අතර එනිසා වෙනත් රෝග වැළදීමට ඇති අවධානම ද ඉහළ යයි. 

සාමාන්‍ය ලෙස ඩෙංගු උණ වැළදුනු අයෙකුට හිසරදය හා ඇස් යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය මෙන්ම සමෙහි රතු ලප ද ඇතිවේ. නමුත් ඩෙංගු රක්තපාත උණ නොහොත් ඩෙංගු රෝගයෙහි වඩා අවධානම් තත්වයේ පසුවන අයෙක් නම් එම පුද්ගලයාට උදරයේ වේදනාව, නොනවතින වමනය, අප්‍රණික බව, අධික නිදිමත, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය වහනය හා මුත්‍රා පිටවීම අඩුවීම යන ලක්ෂණ දැකගත හැකිය. 

ඩෙංගු රෝගය විනිශ්චය කිරීමේදි ඩෙංගු රක්තපාත උණ රෝගීන් හා සාමාන්‍ය ඩෙංගු රෝගීන් වෙන් කර හදුනා ගැනීම ප්‍රතිකාර ගැනීම සදහා වඩා වැදගත් වේ. එලෙස රෝග විනිශ්චය සදහා උණ වැලදීමෙන් දින දෙකකට පමණ පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු වන අතර රක්තපාත උණ හා සාමාන්‍ය ඩෙංගු උණ වෙන් කර හදුනා ගැනීම සදහා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදුකළ යුතු වේ. මේ සියල්ල වෛද්‍යවරයකුගේ අනුදැනුම යටතේ සිදුකළ යුතු වේ.

ඩෙංගු රෝගය සෑදීමට පෙර එයින් ආරක්ෂා විය යුතු වේ. ඒ සදහා විශේෂයෙන් අප ජීවත් වන වට පිටාවෙහි පිළිවෙළ හා පිරිසිදු බව වඩා වැදගත් වේ. ඉවතලන ප්ලාස්ටික්, මැටි බඳුන්, පොල් කෝම්බ, බැරල්, විසිතුරු මල් බඳුන්,  ඉවතලන  ටයර්, කුරුලු තටාක, වැලි පීළි වැනි ජලය රැදෙන ස්ථාන නිතර පිරිසිදු කිරීම හෝ ඉවත් කිරීම සුදුසු වේ. ඊට අමතරව සිරුර හොදින් ආවරණය වෙන ඇදුම් ඇදීම, මදුරු දැල් භාවිතය, පැඟිරි තෙල් ආලේප කිරීම, මදුරු විකර්ෂක භාවිතා කිරීම වැනි පියවර මගින් ද මදුරු දෂ්ටණයන්ගෙන් වැළකිය හැකිය.

ඩෙංගු මර්දනය මෙන්ම වර්ධනය ද බොහෝ දුරට මිනිසාගේ තීරණයකි. ඩෙංගු මදුරුවන් බෝ වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙනි. එබැවින් ඩෙංගු රෝගය තුරන් කිරීම අප සැම සතු වගකීමක් වේ.

- ආලෝකා සයුරංගි -

Comments