අපේ ජාතික වීරවරු
අතීත ශ්‍රී ලංකාව බත බුලතින් ස්වයන්පෝෂිත සරුසාරවත් දිවයිනක් විය. එකළ මෙරට යහපත් රටවැසියන්ගෙන් සහ දැහැමි, ශක්තිමත් පාලකයින්ගෙන් සවිමත් යුත් සාඩම්බර ජාතියක් වාසය කළ හ. කුලු බඩු වලින්, අලි ඇතුන්ගෙන්, මුතු මැණික් වලින් මෙන්ම වටිනා සම්පත් රැසකින් සපිරි මේ දිවයිනට වෙනත් පිට රැටියන්ගේ ඇල්ම බැල්ම වැටීම අරුමයක් නොවුණි.
එලෙස පෘතුග්‍රීසි, ලන්දේසී මෙන්ම ඉංග්‍රීසි ජාතීන්ද කලින් කලට මෙරට පාලනය අතට ගත් කළ මෙරට විසූ සිංහල ලේ දැරෑ මහා වීරයින් අවදි වූයේ හතු පිපෙන්නා මෙනි. ඒ අතර රාජකීයන්ට නෑකම් කියන්නෝ ද, සාමාන්‍ය ගැමියන් ද, කම්මල්කරුවන් ද, ගොවියන් ද, මෙරටට ප්‍රේම කළ විදේශික සිංහලයින් මෙන්ම චීවරදාරීන් ද විය.
1809 වර්ෂයේ මාර්තු 13 වැනිදා මෙලොව එළිය දුටු ගොන්ගාලේගොඩ බණ්ඩා හෙවත් වන්සපූර්ණ දේවගේ ඩේවිඩ් ඒ වීරවරයන් අතරින් එක් අයෙකි. මොහු 1848 වර්ෂයේ දී මාතලේ කැරැල්ලට නායකත්වය දුන්, ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජ වූ පුද්ගලයා යි. ශ්‍රී ලාංකීය නිදහස් සටනේ මුලසුනක් හෙබවූ ගොන්ගාලේගොඩ බණ්ඩා 1849 දෙසැම්බර් මස 1 වන දින මලක්කාවේදී මෙලොවින් සමු ගත් හ.
1812 වර්ෂයේ නොවැම්බර් 07 වන දින උපත ලැබූ වීර හැන්නදිගේ ෆ්රැන්සිස්කු ප්‍රනාන්දු නොහොත් වීර පුරන් අප්පුද නිදහස් සටන අතරතුර කෙටි කලකට 'වලිසින්හ' නමින් රජ පදවියට පත්වූ තවත් එක් සුවිශේෂී ජාතික වීරවරයෙකු වේ. එකළ රජය විසින් ක්‍රියාත්මක කළ බලු බද්ද, තුවක්කු බද්ද, ඔරු බද්ද ආදී අසාධාරණ බදු ක්‍රම අහෝසි කිරීමට ඔහු කැපවී සිටියහ. පසු කලෙක ඉංග්‍රීසින් විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයකින් අභාග්‍යසම්පන්න ලෙස පරාජයට පත්වූ වීර පුරන් අප්පු නඩු විභාගයෙන් අනතුරුව බෝගම්බර වැව් ඉවුරේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 1848 වර්ෂයේ අගෝස්තු 8 වන දා ය.
බදුල්ල කොහොකුඹුර ප්‍රදේශයේ උපත ලැබූ කොහොකුඹුරේ රටේ රාල නැතිනම් පුන්චි රාල නම් තැනැත්තා ද ඌව කැරැල්ල සදහා නායකත්වය ගෙන කටයුතු කර ඇත. ඉංග්‍රීසි කදවුරු සදහා මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් ක්‍රියා කළ මොහුද නිදහස් සටනේ නම සටහන් වූ තවත් එක් වීරවයෙකි. පසු කලෙක ඉංග්‍රීසින්ට පක්ෂපාතී පුද්ගලයෙකු ඝාතනය වීම සදහා සැක පිට ඉංග්‍රීසි රජය විසින් ඔහුව අත් අඩන්ගුවට ගන්නා ලදී.
බූටෑවේ රටේ රාල ද සේනා සන්විධානය කිරීමෙන් හා නිදහස් සටනට ආයුධ සපයමින් මව්බිම සදහා තම සේවය ඉටු කළේ ය. මොහු වෙල්ලස්සේ බූටෑව ප්‍රදේශයේ උපත ලබා ඇති බව ද වෙල්ලස්ස හා බින්තැන්න යන ප්‍රදේශ වල රටේරාල බවට පත්ව සිටි බව ද සදහන් වේ. මෙතුමා 1818 වර්ෂයේ ඔක්තෝම්බර් 03 වැනිදා දින මැක්ඩොවල් කොටුවට පහර දීම නිසා මරණ දණ්ඩනයට භාජනය විය.
මොණරවිල කැප්පෙටිපොළගේ නම ද ශ්‍රී ලාංකීය නිදහස් සටන් ඉතිහාසයේ නොමැකෙන නමකි. ඇහැළේපොල කුමාරිහාමිගේ සහෝදරයෙකු වූ මොහු මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මාතලේ ප්‍රදේශයේ මහ දිසාව ලෙස පත්වූ අතර පසු කලෙක ඌව - වෙල්ලස්ස ජනතාව ගෙන ගිය සටන පවත්වාගෙන යාමට උර දුන්නේ ය. 1818 වර්ෂයේ නොවැම්බර් 25 වන දින මෙතුමා මෙලොව හැර ගියහ.
වාරියපොළ, බමුණුකොටුව නම් ගමෙහි රාලහමිගේ කිරිහාමි නමින් මෙලොව එළිය දුටු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් නිදහස් සටනේ වීරයන් ලෙස නම් ලැබූ චීවරදාරියන් අතර මූලික පෙළේ විය. උන් වහන්සේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ඉහළට එසවූ බ්‍රිතාන්‍ය කොඩිය බිම හෙළා සිංහ කොඩිය ඉහළට ඔසවා ජාතියේ අභිමානය කියා පෑහ. වාරියපොළ සුමංගල හිමියන් අපවත් වී ඇත්තේ නිදහස් සටන කෙළවර වීමෙන් පසුව බව සදහන් වේ.
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ද කඩුවෙන් නොව පෑන් තුඩෙන් නිදහස් සටනට උර දුන් දේශප්‍රේමියෙකි. උන් වහන්සේ රචනා කළ ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය වැනි ග්රන්ථ රචනා කරමින් කතුවරයෙකු ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ දේශප්‍රේමී හැගීම් අවුලවා නිදහස් සටන ප්‍රවර්ධනය කළ හ. උන් වහන්සේ 1951 වර්ෂයේ මාර්තු 16 වැනි දින අභාවප්‍රාප්ත විය.
අප හොදින් දන්නා නම් දරන වීරයන් හැරුණු විට ප්‍රසිද්ධ නොවූ එහෙත් නිදහස් සටන වෙනුවෙන් ලේ දහඩිය හෙලූ සියලු දෙනාටම අපි සියල්ලෝම ණය ගැති වෙමු. එලෙස කඩුවෙන්, පෑන් තුඩෙන්, වචනයෙන් හෝ නිදහස් සටනට උර දුන් සියලු දෙනා ජාතික වීරයන් වේ. වසර ගණනාවක් ගත වුවත් සාඩම්බරයෙන් ඔවුන්ව සිහිපත් කරන්නේ එබැවිනි.
- ආලෝකා සයුරංගි -
Comments