Skip to main content

මත් උවදුර රචනාව

මත් උවදුර

අද නූතන සමාජය දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටියි. තාක්ෂණික ප්‍රවර්ධනය, වාණිජ සංකීර්ණතාවය, කාර්යබහුල ජීවිතය වැනි මූලික වෙනස්කම් මිනිසුන්ගේ හැසිරීම් ආකාරය හා ජීවන රටාව සදහා තදින් බලපායි. එමගින් ඇතැම් පිරිස් සදාචාරයෙන් හා නීතිමය සීමාවන්ගෙන් ඉවතට යමින් විනාශකාරී මාර්ගයකට ඇද වැටේ. ඒ අතර තරුණ පරපුර මූලික වේ.එවැනි භයානක මාර්ගයකින් එකක් වනුයේ “මත් උවදුර”යි.

මත් උවදුර යනු මනසට හා සිරුරට විශේෂ බලපෑම් කරන, වසංගත වැනි ආකාරයෙන් පැතිරෙන, නීති විරෝධී හා සෞඛ්‍යයට අනිසි බලපෑම් ඇති කරන මත්ද්‍රව්‍යවලට බහුලව ඇළී සිටීමයි. මෙය පුද්ගලයෙකුගේ මෙන්ම සමාජයේ පරිහාණියට ද සෘජුවම හේතු වේ. මත්පැන්, හෙරොයින්, ගංජා, අයිස්, කොකේන් වැනි ද්‍රව්‍ය මෙයට අයත්ය. පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව තුළද මෙම ගැටලුව දැඩිව පැතිරී ගොස් ඇති බව නොරහසකි.

මත් උවදුරෙහි ව්‍යාප්තිය සඳහා සමාජමය, ආර්ථිකමය හා මානසික හේතු රැසක් බලපායි. විශේෂයෙන්, තරුණයන් අතර එය ව්‍යාප්ත වන්නේ අධ්‍යාපන හෝ රැකියා අවස්ථා නොමැතිවීම, පවුල් සබඳතා කඩා වැටීම, ආදර්ශ රහිත ජීවන රටාවන්, සහයෝගීතාවය නොමැති පරිසරය සහ විනෝදාස්වාදය පිළිබඳ වැරදි අවබෝධය මතය.

මත් උවදුර පුද්ගලයෙකුගේ පෞරුෂය විනාශ කරයි. ඔහු ආතතියට පත්වීම, නීති උල්ලංඝනය, අපරාධ මඟ යාම වැනි දේවල් සිදු වේ. ඔහුගේ පවුල, දරුවන්, මිතුරන් අතර ඇති අන්තර් පුද්ගල සබඳතා බිද වැටේ. සමාජයෙන් වෙන්වී සන්සුන් ජීවිතයකින් මිදුණු ඒ පුද්ගලයා, වංචා, සොරකම්, අඳුරු ක්‍රියා මත පදනම් වූ ජීවිතයක් ගත කරයි.

මානසික සෞඛ්‍යයට ද මෙය දැඩි බලපෑම් ඇති කරයි. බහුතරයක්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් පසුව විකෘති හැසිරීම්, ව්‍යාකූලතා, උද්වේග සහ ඝාතනකාරී හැසිරීම් වල නිරත වෙයි. 

එමෙන්ම මත් උවදුරට ලක්වීමෙන් තරුණයන්ගේ අධ්‍යාපන දිවිය විනාශ වේ. විභාග අසාර්ථකත්වය, පාසලෙන් නෙරපීම, ශිෂ්‍ය විනය කඩ කිරීම වැනි දේවල් ඔවුන්ගේ අනාගතය සදහා බාධා ඇති කරයි. මෙය ජාතියක් ලෙස ද විශාල පාඩුවක් වේ.

මත් උවදුර රටක ආර්ථිකය පරිහානියට දැඩි ලෙස බලපායි. රජයට මෙය මර්දනය කිරීම සදහා වැය කල යුතු කාලය, අවධානය සහ වියදම් විශාල ය. රෝහල් පද්ධතිය, පොලිස් අංශය, බන්ධනාගාර පද්ධතිය මේ නිසාම බරපතල පීඩනයකට ලක්වේ. ඊට අමතරව මතට ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ව්‍යාපාරිකව හෝ සේවාදායක වශයෙන් වටිනාකමක් ලබා නොදිය හැකිවීම ද ආර්ථිකයක පිරිහීමට හේතු වේ.

ශ්‍රී ලංකාවේ නීතිය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා පොලිසිය සහ ඒ සදහා වගකිව යුතු රජයේ ආයතන මගින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, අලෙවි කිරීම, සහ භාවිතය සඳහා දැඩි දඩුවම් පනවනු ලැබේ. නමුත් නීතියෙන් පමණක් මත් උවදුර නවතා දැමීමට හැකියාවක් නැත. සමාජය, පාසල්, පවුල්, ආගමික ආයතන මෙයට එක්විය යුතුය.

මත් උවදුරට ලක්වූ පුද්ගලයින්ව තරයේ දඩුවම් කිරීමෙන් පමණක් යථා තත්වයට පත් කිරීමට නොහැකි වන අතර ප්‍රතිකාරය සහ මනෝධර්ම මගින් ඔවුන්ට මානසිකව යළි ගොඩනැගීමට උපකාර කළ යුතු වේ. ඒ සදහා ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන මෙන්ම අන්තරායකර ජාතික ඖෂධ පාලන මණ්ඩලය ආදී ජාතික ආයතන මගින් ද පුනරුත්ථාපන සේවාවන් ලබා දෙනු ලැබේ. ඔවුන්ට ආදරයෙන්, නිසි උපදේශනයෙන්, විශ්වාසයෙන් යුතු පරිසරයක් ලබා දීම ඔවුන් නැවත සාමාන්‍ය ජීවිතයකට ගෙන එන මාර්ගය වේ.

නිවැරදි අධ්‍යාපනය, ආදර්ශ ආකල්ප සහ විනෝදය පිළිබඳ නිවැරදි අවබෝධය මඟින් තරුණයන් මත් උවදුරෙන්  දුරස්ව තබාගත හැකිය. පාසල්වල මත්ද්‍රව්‍ය ප්‍රතිරෝධී වැඩසටහන්, ප්‍රචාරක කටයුතු, සහ මනෝවෛද්‍ය උපදේශන ක්‍රම ද මෙයට උපකාරී වේ.

අපෙ රටේ වටිනා මිනිස්කම මෙන්ම යහපත් අනාගතය රැක ගැනීම සඳහා මත් උවදුරට එරෙහිව තීව‍්‍රව කටයුතු දියත් කළ යුතුය. නීතිය, ආදරය, විශ්වාසය සහ අවබෝධය යන පදනම් මත ඒ වෙනුවෙන් සටන් කළ යුතුය. “මත් උවදුර” වැනි වසංගතයක් දුරු කර, සාධාරණ, සාමකාමී සමාජයකට ගමන් කිරීම අප සැමගේම වගකීම වේ.

- ආලෝකා සයුරංගි -

Comments