Skip to main content

රිය අනතුරු සහ මිනිස් ජීවිත රචනාව

රිය අනතුරු සහ මිනිස් ජීවිත

'දුල්ලභංච මනුස්සත්තං’, ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ’ යනුවෙන් මිනිසත් බවේ දුර්ලභත්වය බුදුදහම පවා අවධාරණය කරයි. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලන්නා වූ තරම් දුර්ලභ වූ සිදු වීමක් ලෙස සංසාරයේ මිනිසෙකුව ඉපදීම දැක්විය හැකිය. එතරම් දුර්ලබ වූ මිනිස් ජීවිත මහ මග යකඩ ගොඩවල් වල හැපී පොඩිවී මිලින වී යෑම කෙතරම් නම් අභාග්‍යයක් වන්නේද?

තාක්ෂණයේ දියුණුව මිනිසාගේ අවශ්‍යතා අනවශ්‍ය ලෙස සංකීර්ණ කර ඇති යුගයක අප ජීවත් වෙයි. ගමනාගමන ප්‍රවාහන අවශ්‍යතා නූතන මිනිසාගේ අත්‍යවශ්‍ය අංග බව රහසක් නොව. එදිනෙදා රැකියා සඳහා දහස් සංඛ්‍යාත ජනයා නගර හා ගම් දනව් අතර කොතරම් ගමනාගමන සිදු කරනවාද? 

නූතන ලෝකයේ තාක්ෂණය පරිණත යැයි කීවද ලෝකය පුරා සිදුවන රිය අනතුරු සහ අහිමි වන මිනිස් ජීවිත අපට පෙන්වා දෙන්නේ තාක්ෂණයට පමණක් ජීවිත ආරක්ෂා කල නොහැකි බවයි. නූතන මිනිස් ජීවිතය පහසු කිරීම සදහා වන රථ වාහන වල දායකත්වය මිනිසාගේ ජීවිත වල විනාශයට හේතු නොවිය යුතුය.

නමුත්, වර්තමානයේ ඇසෙන දකින පරිදි රථ වාහන භාවිතය නිවැරදිව සිදු නොවිමෙන් මිනිස් ජීවිත කෙතරම් විනාශ වන්නේද ? දිනෙන් දින වැඩිවන ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු අති විශාල අනුපාතයකින් වැඩි වෙමින් රියදුරන්ට, මගීන්ට සහ පදිකයින්ට සැලකිය යුතු තර්ජනයක් එල්ල කර හමාරය.

රියදුරු තෙහෙට්ටුව, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, දුර්වල යටිතල පහසුකම්, බීමත්කම, ආතතිය, වාහන වල පවතින විවිධාකාර තාක්ෂණික දෝෂ බොහෝ විට මෙම අනතුරු වලට හේතුන් වෙයි.

මාර්ග අනතුරු හේතුවෙන් සෑම වසරකම මිලියන 1.3 ක ජනතාවක් මරනයට පත් වේ. මාර්ගවල සිදුවන මරණවලින් 93%ක්ම සිදුවන්නේ දුප්පත් සහ මධ්‍යම පාන්තික රටවලය. රථ වාහන වල සහ මහා මාර්ග වල තාක්ෂණය දියුණු වූවද එම දියුණු තාක්ෂණය ලබා ගැනීමට තරම් වත්කම් නැති ලංකාව වැනි රටවල රිය අනතුරු අවම කර ගැනීමට සිදු කල යුතු දේ අති විශාලය.

රිය අනතුරු වළක්වා ගැනීම සදහා ඒ ඒ අදාළ මාර්ගයන්හි ඊට අදාළ නියමිත වේග සීමාවන් තුළ ධාවනය කිරීම සහ බයිසිකලයක්/යතුරුපැදියක් හෝ ඕනෑම වාහනයක් පැදවීමට පෙර සෑම විටම හිස්වැසුම්, ආසන පටි සහ අනෙකුත් ආරක්ෂක උපකරණ පැළදීම සිදුකළ යුතුය.

බීමතින් රිය පැදවීම, රිය පැදවීමේදී ජංගම දුරකථන හෝ ඉයර් ෆෝන් භාවිතා කිරීම, දිගු වේලාවක් එක දිගට ධාවනය කිරීම සිදු නොකළ යුතුය.

ඔබේ වාහනය වඩා හොද ප්‍රමිතියකට පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වේ. ඇතුළත සුව පහසුව, භාහිර අලංකාරයට පෙර ඔබේ වාහනයේ තිරින්ග, හෙඩ් ලයිට්, ටයර් ආදී යාන්ත්‍රික පද්ධතිය පිළිබඳව සැලකිල්ල දැක්විය යුතුය.

අනතුරක් සිදු වීමෙන් පසු පසුතැවිලි වී කිසිදු ඵලක් නොමැත. හොඳට තිබූ අතපය අහිමි වී විදවන ජීවිත කොතරම්ද? මව පියා අහිමි වී විදවන දූ දරුවන්, දූ දරුවන් අහිමිවී විදවන දෙමාපියන් බවට ඔබ අප පත් නොවිය යුතුය. වගකීම් සහිත රියදුරෙකු, පදිකයෙකු හෝ මගියෙකු ලෙස ක්‍රියා කිරීමෙන් තමාගේ ඇතුලු තව බොහෝ දෙනාගේ දුර්ලභ වූ ජීවිත රැසක් රැක ගැනීම සඳහා අප වගකිව යුතුය.

-ආලෝකා සයුරංගි- 

Comments