Skip to main content

වැඩිහිටියන්ට සලකමු රචනාව

වැඩිහිටියන්ට සලකමු

අපට වඩා වයසින් වැඩි සියලුම පුද්ගලයින් වැඩිහිටියන් වේ. අම්මා, තාත්තා, අයියලා, අක්කලා, නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා ආදී වූ විශාල වැඩිහිටි පිරිසක් අප සැමට සිටී. අපට වඩා වැඩි කාලයක් ඔවුන් මිහිපිට ජීවත් වී ඇති නිසා ජීවිතය පිළිබඳ වැඩි අවබෝධයක් ඔවුන්ට තිබේ. 

අප ඉපදුන දා සිට අම්මා, තාත්තා, අච්චී, සීයා අපව හදාවඩා ගැනීමට විදි දුක් අපමණය. මොකුත් නොදත් බිලිදුන් වූ අපට ඔවුන් දන්නා වූ සියල්ල ටික ටික කියා දුනි. හොද නරක තේරුම් කර දුනි. අද අප මෙලෙස ජීවත් වන්නේ ඔවුන් කියා දුන් දේවල් නිසාය. එනිසා අපි අපගේ වැඩිහිටියන්ට ගරු කල යුතු වෙමු. සැලකිය යුතු වෙමු. 

අපට බොහෝ දේ කියා දෙන වැඩිහිටියන් අපෙන් මිල මුදල් බලාපොරොත්තු නොවෙයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ අප යහමග යනු දැකීම වෙයි. අප හොද මිනිසුන් වනු දැකීම වෙයි. එවැනි අපට ආදරය කරන වැඩිහිටියන්ට සැලකිය යුතු බව අපට කවුරුන් හෝ කියා දිය යුතු නැත. හැකි සෑම විටම වැඩිහිටියන්ට සැලකීමට, ගරු කිරීමට අප වග බලාගත යුතුය.

නිවසේදී අම්මාට, තාත්තාට උදව් කරමින් ඔවුන්ගේ උපදෙස් පිළිපදිමින් අපි ජීවත් විය යුතුය. ඔවුන්ට ලෙඩක් දුකක් සෑදුන විට දී හැකි පරිදි ඔවුන්ගේ වැඩ කර දී උදව් විය යුතුය. ඔවුන් අපිව කුඩා කල බලාගත්තා සේ, යම් දිනෙක ඔවුන් වයසට ගිය පසු ද ඔවුන්ව ආදරයෙන් රැක බලා ගත යුතුය. 

දෙමාපියන්ට පමණක් නොව ගුරුවරුන්ට හා අනෙකුත් වැඩිහිටියන් හටද අපි ගරු කල යුතු වෙමු. සැලකිය යුතු වෙමු. මන්ද ඔවුන් වචනයකින් හෝ අප යහමගට ගැනීමට උත්සාහ දරයි. අප වෙනුවෙන් කැප වෙයි. 

සෑම වැඩිහිටියෙකුටම ගරු කිරීමට සැලකීමට අප සිහිතබා ගත යුතුය. අපට ඔවුන් වෙනුවෙන් සෑම විටම උදව් උපකාර කල නොහැකි විය හැක. නමුත් වැදගත් ලෙස කතා කර ඔවුන්ට නිසි ගෞරවය ලබා දිය හැකිය. ඔවුන් අපට වටිනා බව පෙන්වීමට හැකිය. 

එලෙස වැඩිහිටියන්ට සලකමින් ගෞරවාදරය දක්වන විට එම වැඩිහිටියන්ගේ හදවතේ ආශීර්වාදය අපට ලැබෙනු ඇත. එසේම යම් දිනක අපද වැඩිහිටියන් වන විට අපගේ දරුවන්ද අපගේ ආදර්ශය ගෙන අපට ගරු කරනු ඇත. සලකනු ඇත.


Comments