Skip to main content

හොඳ සිරිත් අගයමු රචනාව

හොඳ සිරිත් අගයමු 

හොඳ සිරිත් යනු තමන්ටත් අනුන්ටත් යහපතක් වන ක්‍රියාවන්ය. වැඩි හිටියන් විසින් කුඩා කල සිටම අපට හොඳ සිරිත් විරිත් තෝරා බේරා දී පුරුදු පුහුණු කර තිබීම අපේ වාසනාවකි. තනි තනි පුද්ගලයන් ලෙස තම තමන් හොඳ සිරිත් වලට වැඩි වටිනාකමක් ලබා දෙමින් ක්‍රියා කරයි නම්, මුළු සමාජයම හොඳ සිරිත් වලින් පෝෂණය වෙයි. එවිට අප සැමට හිතේ සතුටින් ජීවත් වීමට හැකි වට පිටාවක් නිර්මාණය වනු ඇත.

දැන් අපි හොඳ සිරිත් මොනවද කියා මතක් කර ගනිමු. උදෑසනම අවදි වීම, දින පතා දත් මැදීම, පිරිසිදුව සිටීම, දින පතා පාසල් යාම, දෙමා පියන්ට ගුරුවරුන්ට ගරු කිරීම, බුදුන් වැදීම ආදී ආගමික වතාවත් සිදු කිරීම ආදිය අපගේ දින චර්යාව හා බැදී ඇති හොඳ සිරිත් වේ. දින පතා දත් මැදීම, පිරිසිදුව සිටීම ආදී හොඳ සිරිත් ක්‍රියාවට නැංවීම තුළින් අපගේ ජීවිතය නීරෝගීමත් වීම සිදු වෙයි. 

දින පතා පාසල් යාම, වැඩි හිටියන්ට ගරු කරමින් ඔවුන්ගේ අවවාද අනුශාසනාදිය පිළිපැදීම ආදිය තුළින් අපගේ දැනුම කුසලතා වර්ධනය වේ. මනුෂ්‍යයන්ට සේම සතා සිවුපාවුන්ට පවා කරුණාව දැක්වීම හොඳ සිරිතකි. ඔබ ගෙදර ඇති කරන සුරතලාට ඇති කරුණාව දයාව ඔබට මග තොට හමුවන බල්ලන්, පූසන් ආදී සතුන්ටද දැක්වීමට හැකි නම් ඒවා කොතරම් වටිනා හොඳ සිරිත් ද?

පරිසරය පිරිසිදුව තබා ගැනීම, කුණු කසල නිසි තැන් වලට දැමීම, ගෙදර දොර සේම පාසල, පංති කාමරය පිරිසිදුව තබා ගැනීම ආදිය අපට එදිනෙදා පුරුදු පුහුණු විය හැකි හොඳ සිරිත් වෙයි.

එසේම හොඳ වචන කතා කිරීම, තරහ නොගැනීම, රණ්ඩු දබර නොකිරීම හොඳ සිරිත් වේ. යාලුවන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම, යාලුවන්ට උදව් උපකාර කිරීම හොඳ සිරිත් වෙයි. මෙවැනි හොඳ සිරිත් ඇති දරුවන් යාහලුවන් අතර කැපී පෙනෙයි. ගුරුවරුන්ගේ ප්‍රසාදයද මෙවැනි දරුවන්ට නිතැතින්ම හිමි වෙයි. 

පරිසරය සහ අප ජීවත් වන සමාජය යහපත් තැනක් බවට පත් කරන මේ හොඳ සිරිත් අපි අපේ ජීවිත වලට හුරු කර ගනිමු. අපව හොඳ මිනිසුන් කරන මේ හොඳ සිරිත් වලට අපි හුරු වෙමු. එසේම හොඳ සිරිත් පිළිනොපදිනන යාලුවන්ටත් අපි ඒවායේ අගය පහදා දෙමු. 

Comments