Skip to main content

Follow on YouTube

AI තාක්ෂණයේ අහිතකර බලපෑම රචනාව


AI තාක්ෂණයේ අහිතකර බලපෑම

මිනිසා සතු විශාල මොලය නිසා අලුත් අලුත් දේ සොයා ගනිමින් මිනිසා වේගයෙන් ලෝකය වෙනස් කරයි. බොහෝ පිරිස් මෙය ලෝකය දියුණු වීම ලෙසද හඳුන්වයි. එක් එක් අතීත යුගයන්හීදී මිනිසාගේ නව සොයා ගැනීම් නිසා ලෝකයේ කැපී පෙනෙන වෙනස් වීම් සිදු වූ අවස්ථා බොහෝය. 

ගින්දර සොයා ගැනීම, රෝදය සොයා ගැනීම, විදුලිය නිපදවා ගැනීම, දහන එන්ජිම, විදුලි බල්බය, පරිඝණකය, දුරකථනය සොයා ගැනීම ආදීය ලෝකය පරිවර්තනය කල සොයා ගැනීම් සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය.

නූතනයේ වඩාත්ම කතාබහට ලක් වන මෙවැනි වූ සොයා ගැනීම ලෙස AI තාක්ෂණය, නැතිනම් කෘතිම බුද්ධිය (Artificial Intelligent ) නවීන ලෝකයේ සෑම සියලු ක්ෂේත්‍රයන් සඳහා ම සම්බන්ධ වෙමින් පවතී. විශේෂයෙන්ම AI යනු පරිගණක සහ ජංගම දුරකථන පාදක කර ගත් මෘදුකාංග සඳහා වන තාක්ෂණයක් බැවින් ජංගම දුරකථන මත එල්ලී සිටින තරුණ ප්‍රජාව අතර AI යන වදන සුලභ වී ඇත. එසේ කීවද වයස් බේදයකින් තොරව AI තාක්ෂණය වේගයෙන් සමාජගත වන බව මේ දිනවල පෙනෙන්නට තිබෙයි. 

AI තාක්ෂණය යනු මේ දිනවල වඩාත් කතා බහට ලක් වූවද දශක කීපයක් පුරා සිටම පර්යේෂණ සිදු කරමින් වැඩි දියුණු කරන්නකි. AI හි පරමාර්ථය මිනිසා සිතන ආකාරයට හෝ ඊට වඩා විශිෂ්ට ලෙස සිතන යන්ත්‍ර, මෘදුකාංග ආදිය බිහි කිරීම වෙයි. ඒ තුළින් මිනිසා වෙහෙසී කාලය වැය කරමින් කල යුතු කටයුතු වඩා පහසුවෙන් AI තාක්ෂණය මගින් සිදුකර ගැනීමට උත්සාහ දරයි. 

මෙකී උත්සාහයන් බොහෝ සෙයින් සඵල වී ඇති බැව් වර්තමානයේ දැක ගත හැකිය. විශේෂයෙන් මෘදුකාංග ක්ෂේත්‍රය AI හරහා විශාල දියුණුවක් ලබා ඇත. විශාල කාලයක් වැය කර සිදු කල යුතු කටයුතු වූ ඡායා රූප සංස්කරණය, වීඩියෝ සංස්කරණය වැනි කටයුතු පහසු වූවා පමණක් නොව නව ඡායා රූප සහ වීඩියෝ උත්පාදනය කිරීමට පවා AI තාක්ෂණයට හැකි වී ඇත.

AI මිනිසාගේ කටයුතු පහසු කල ද AI ම මිනිසාට තර්ජනයක් වීමට ද හැකිය. සෑම දේකම හොඳ නරක දෙකම පවතින සේ AI හිද අහිතකර බලපෑම් දැනටමත් ඉස්මතු වෙමින් ඇත. AI නිසා ඇති ප්‍රබලතම අභියෝගය නම් බහු තරයකගේ රැකියා සඳහා AI තර්ජනයක් වීමයි. කිහිප දෙනෙකු හෝ පුද්ගලයෙකු විශාල කාලයක් තුළ කලයුතු කටයුතු AI නිසා ඉතා සුළු මොහොතකින් කර ගැනීමේ අවස්ථාව සැලසී ඇත. එහි අහිතකර ප්‍රතිඵලය ලෙස එම කටයුතු තම ජීවන උපාය කරගත් පුද්ගලයන් හට ඔවුන්ගේ ජීවන උපාය අහිමි වෙයි.

AI යනු විදේශ රට වල බහුලව වැඩි දියුණු කල පද්ධති නිසාවෙන් ඒවායින් ලංකාව වැනි නිශ්චිත සංස්කෘතියක් පැවති රටවල සංස්කෘතිය බටහිර සංස්කෘතිය හා දැඩිලෙස මිශ්‍ර වීම නොවැළැක්විය හැකිය. AI යනු දත්ත හා තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා දීම තුළින් පුරුදු කල පද්ධති වේ. 

උදාහරණ ලෙස යම් රූපයක් ඇතුළත් කර එයට කියන නම කිව හැකි සෑම අයුරින්ම ඇතුළත් කර AI පද්ධතිය සකස් කර ඇතැයි සිතන්න. AI සමග ගනු දෙනු කරන පුද්ගලයෙකුට එම වචනය උච්චාරණය වන ආකාරය වෙනස් වීමෙන් පද්ධතිය මගින් ඒ රූපය වෙනුවට වෙනත් රූපයක් ලබා දිය හැකිය. වෛද්‍ය ක්ෂේත්‍රය, ආරක්ෂක ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර වල මෙවැනි සුළු වරදකින් ජීවිත විශාල ගණනක් අහිමි විය හැකිය. 

නිදසුන් ලෙස AI තාක්ෂණය භාවිත වන ආරක්ෂක පද්ධතියක් තුල සිදුවන වැරදි හදුනා ගැනීමක් නිසා නිකුත්වන ප්‍රති මිසයිලයක් සාමාන්‍ය ජනයා වෙත එල්ල වීමට හැකිය.

AI තාක්ෂණය නිසා විශාල ලෙස වීඩියෝ නිර්මාණය වීම සිදු වෙයි. මේවායින් බොහොමයක් ගත යුත්තක් නොමැති දේවල් වෙයි. යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වලට එක් කරන මෙවැනි වීඩියෝ නැරඹීම නිසා අධ්‍යාපනය ලබන දරුවන්ගේ කාලය අපතේ යනවා පමණක් නොව AI තුල නිර්මාණය වන විකෘති වීඩියෝ නිසා දරුවන්ගේ මනසද විකෘති වී විවිධ සමාජ ගැටළු වලට හේතු වෙයි.

එසේම AI යොදාගෙන අසැභි වීඩියෝ ඡායාරූප නිර්මාණය කර ළමා මනස විකෘති කරයි. එපමණක්ද නොව දරු දැරියන්ගේ ඡායාරූප වල මුහුණු යොදා AI මගින් වීඩියෝ නිර්මාණය කර එම දරු දැරියන් ගොදුරු කර ගැනීම නිසා අකාලයේ ජීවිත පවා අහිමි වූ අවස්ථා නැතුවා නොව.

AI භාවිත වන Chat GPT වැනි පද්ධති තුලින් ප්‍රශ්න වලට විසඳුම් පහසුවෙන් සෙවීමට ළමයින් හුරු වීම නිසා ඔවුන්ගේ සිතීමේ හැකියාව දුර්වල වෙයි. එසේම තවමත් සංවර්ධනය කරමින් පවතින මෙවැනි පද්ධති තුළින් සියයට සියයක් නිවැරදි පිළිතුරු ද අපේක්ෂා කල නොහැකිය.

මිනිසාගේ පහසුව හා අභිවෘද්ධිය පිණිස නිර්මාණය කරමින් පවතින AI වැනි තාක්ෂණයන් හා ගනුදෙනු කිරීමේ දී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. සුන්දර මුහුණුවරක් දිස් වූවද ගැබ් වී ඇති නපුර හඳුනාගෙන ගනුදෙනු කල යුතුය. අවසාන ලෙස AI නිසා ඔබගේ ජීවිතය ජය ගන්නවා මිස AI නිසා ඔබ ඔබගේ ජීවිතය විනාශ වීමට ඉඩ නොතැබිය යුතුය.