Skip to main content

ජීවක කතා වස්තුව විචාරය-02

උගත් ශිල්පය ආත්ම අභිමානය හා ජීවිතය ඔසවා තබනා ආකාරය ජීවක වෛද්‍ය වරයාගේ ජීවිත කතාව ඇසුරින් විමසන්න.

"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" යන මසුරන් ප්‍රසිද්ධ කියමන දැන දැනත් අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කර නොගන්නා දරුවන් කොතෙක් නම් සමාජයේ සිටී ද?. අද මෙන්ම එදත් සමාජයේ පැවති මේ පරිහානිය සමනය කිරීමට පූජාවලිය රචනා කිරීමේ දී බුද්ධ පුත්‍ර හිමියන් උත්සාහ දරා ඇති බව ජීවක කතා වස්තුව තුළින් අපට මනාව පිලිබිඹු වෙයි. 

"මාගේ කිසි නෑසිය කෙනෙකුත් නැත. මතු මට හිමිවන කුල සැපතෙකු දු නැත. එසේ හෙයින් මා විසින් ශිල්පයක් හදාරා ගත මැනව. ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොට ගෙන ධනය උපදවා ගත මැනැව"

ජීවක රජ මැදුරක හැදුනා වැඩුනා වූවත් රජ සම්පත් ඔහුට උරුම නැත. සාලවතී ගණිකාවට උපන් ජීවකගේ සැබෑ පියා අභය රාජ කුමාරයා වූවත් ඒ බව අභය රාජ කුමාරයා පවා දැන සිටියේ නැත. අභය රාජ කුමාරයා කුණු ගොඩින් අහුලා ගෙන ඇති දැඩි කල ජීවක, වයසින් මෝරත්ම තමාගේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමත් වීම භාග්‍යය කි. තමා රජ මැදුරක සිටියත් තමාට ඒවා හිමි නැති බව ජීවක වටහා ගැනීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බව කිව යුතුය.

තමාට ජීවිතය ජය ගැනීමට ඇති එකම මග, එකම හවුහරන ශිල්පයක් ඉගෙනීම යැයි ජීවක අවබෝධ කර ගැනීම අපට, අප සමාජයේ සියළු දරු දැරියන්ට ලබා දෙන අමිල පරමාදර්ශ වෙයි. තමා තුළින්ම ස්වයං අවශ්‍යතාවයක් ඇති වූ පසු ඒ කාර්යය කිරීම ඉතා පහසුය. 

ජීවකට ඇති වූයේ ඒ ස්වයං අවශ්‍යතාවයි. ජීවකට කවුරුන් හෝ වෙදකම ඉගෙන ගන්නැයි උපදෙස් දුන්නේ නැත. තමාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට, ධනය උපයා ගැනීමට, නෑදෑ හිත මිත්‍රයන් ඇති කර ගැනීමට කොටින්ම තම ජීවිතයට අභිමානයක් ඇති කර ගැනීමට ඇති එකම මඟ අධ්‍යාපනය පමණක් බව ජීවක වෛද්‍ය වරයා අපට කියා දෙයි.

හැරී බලමු ජීවක වෛද්‍යවරයා සාකේත නුවර සිටු දේවියගේ ශීර්ෂාබාධය සුව කිරීමට ගිය අවස්ථාව දෙස. සිටු දේවිය වසර ගණනාවක සිට දරුණු ශීර්ෂාබාධයකින් පීඩා විදිමින් සිටියි. මේ බව දැන ජීවක වෛද්‍යවරයා සිටු මැදුර වෙත පිය නගයි. 

".. කිරි බොන තරම් බාල දරු කෙනෙක් කුමක් කෙරෙද්දැ'යි කියා තමන් බඩ සා වූව හොත් බත් ලවා ගෙන කන්ට කියව, අනිත් කිසි අපාසුවෙක් ඇත්නම් ඉල්වා ගෙන යන්ට කියව. .."

උඩු මාලෙ සිටින සිටු දේවිය මාලිගාව පාමුල සිටිනා ජීවකගේ වයස ගැන විමසා උසුලු විසුලු කරයි. කිරි බොන වයසේ ළමයෙකු කුමක් කරන්නද යනුවෙන් පවසමින් සමච්චලයට ලක් කරයි. මෙහිදී බුද්ධ පුත්‍ර හිමියන් හරි අපූරු සංකේතයක් භාවිත කර ඇති බව පෙනෙයි. එනම් උඩු මාලයේ නැතිනම් උඩ තට්ටුවේ සිටු දේවිය සිටීමත් මාලිගය පාමුල ජීවක සිටීමත් තුළ අපට සියුම් ලෙස පෙන්වන්නට උත්සාහ කරනුයේ ඒ සමාජ පංති පරතරයයි. ජීවක හට උඩු මාලයට යෑමට ඇති එකම මග තමන් උගත් ශිල්පයයි. ජීවිත සාර්ථක කර ගැනීමට ශිල්පය හේතු වන බව නැවත මතක් කර දෙන මෙම සිදු වීම ඉතා අපූරුයි.

ශිල්ප ශාස්ත්‍ර නිසි ලෙස හැදෑරීම නිසාවෙන් ඇති වන ආත්ම අභිමානය ප්‍රබලය. එතරම් සමච්චල් කරද්දීත් ජීවක තමා හැදෑරූ ශිල්පය මත ඇති වූ අභිමානයෙන් කතා කරයි.

"මා දත් ශාස්ත්‍රය මුත් මාගේ වයසින් තමන් වහන්සේට ප්‍රයෝජන කිම් ද? තෙල රුජාව සන්හිඳුවා මිස නොයෙමි.."

මෙහිදී අපට බුද්ධ පුත්‍ර හිමි ලබා දෙන උපදේශය නම් අධ්‍යාපනය තුළින් අභිමානය ඇති වන වග නොවේද?. ජීවිත සාර්ථකත්වය සඳහා අධ්‍යාපනයම හේතු වන බව අපට කියා දෙමින් ජීවක උඩු මහලට ගමන් කරයි. සිටු දේවියගේ රෝගය සුව කර තම හැකියාව ප්‍රදර්ශනය කරයි. 

පෙන්වූ ශිල්පය නිසා වස්තු සම්පත් ලබයි. කීර්තිය ලබයි. එපමණක් නොව ආදරය ලබයි. සිටු දේවිය " පුතණුවනි " යනුවෙන් ජීවකට ආමන්ත්‍රණය කිරීම තුළ ඒ බව තහවුරු වෙයි. මේ සියල්ල ජීවකට ලැබුනේ උපතින් නොව තමා වෙහෙස මහන්සි වී උගත් ශාස්ත්‍රයට පින් සිද්ධ වෙන්නටය. ජීවක වෛද්‍යවරයාගේ කතාව තුල අපට ලබා දෙන පණිවුඩය එයයි.


>> ජීවක කතා වස්තුව විචාරය 01

>> ජීවක කතා වස්තුව විචාරය 03


ජීවක කතා වස්තුව කියවීමට >>





Key words 
ජීවක කතා වස්තුව විචාරය 
ජීවක වෛද්‍යවරයා අපට කියා පානා අධ්‍යාපනයේ වැදගත්කම 
ජීවක කතාවෙන් ජීවිතයට උපදෙස් විචාර 
පූජාවලිය ජීවක කතා වස්තුව විචාර pdf
අධ්‍යාපනයේ වැදගත්කම ජීවක කතා වස්තුව 

Comments