බණකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව පූජාවලියේ හමුවන ජීවක වෛද්‍ය වරයාගේ කතාව ඇසුරින් විමසන්න.
භාරතය හා බුද්ධ කාලීන සමාජ තොරතුරු කැටිකොට ගත් පූජාවලිය ග්‍රන්ථය ලංකා ඉතිහාසය පිළිබඳව ද සුවිසල් තොරතුරු රැගත් ඓතිහාසික බෞද්ධ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. මහාවංශයේ පවා හමු නොවන ඇතැම් ඉතිහාස ගත තොරතුරු අන්තර්ගත බුද්ධපුත්‍ර හිමියන්ගේ මේ සුවිශේෂී ග්‍රන්ථය බණ කතා පොතක් වශයෙන්ද බෞද්ධයා හට ඉමහත් වැදගත්කමක් ඇති පුස්ථකයක් බව එහි අන්තර්ගත කතා වස්තු පරිශීලනයේ දී මනාව අවබෝධ වේ.
පොලොන්නරුව යුගයේ දී ලියැවුණු අමාවතුර, බුත්සරණ වැනි බුදු ගුණ සාහිත්‍යයේ දිගුවක් ලෙස ද දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියැවුණු මේ පූජාවලිය හැදින්විය හැකි වනුයේ තථාගත සාම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ අරහං බුදු ගුණය විදහා දක්වමින් එය රචනා වී ඇති නිසාවෙනි.
ප්‍රධාන ලෙසම බණ කතා ග්‍රන්ථයක් වශයෙන් වැදගත් වන මේ පූජාවලිය ග්‍රන්ථයේ එන ජීවක කතා වස්තුව අධ්‍යයනයේදී පෙනී යන බණකතාකරුවාගේ සුවිශේෂී කතා ලක්ෂණ කෙරෙහි මෙසේ අවධානය යොමු කර බලමු.
පූජාවලියේ රචකයා වන මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන්ට පමණක් නොව පූජාවලිය ග්‍රන්ථය රචනා කරන සමයේ දඹදෙණියේ රජකම් කල ඒ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ද්විතීයික පරාක්‍රම බාහු රජතුමාටත්, පූජාවලිය ග්‍රන්ථය රචනා කරන ලෙස බුද්ධ පුත්‍ර යථිවරයාණන්හට ඇරයුම් කල දේව පතිරාජ ඇමතිහටත් බුද්ධත්වය ප්‍රාර්ථනය කොට රචනා වූ ග්‍රන්ථයක් බැවින් පූජාවලිය ග්‍රන්ථයේ පින සහ පව ගැන නිතර නිතර සඳහන් වීම සාමාන්‍ය යැයි සිතේ.
"බුදුන්ට පිළියම් කෙරෙමි'යි කප් ලක්ෂයක් පැරුම් පුරා ආ කෘතාධිකාර පුන්‍යවන්තයා .."
"කුමාරහුගේ පින් බලයෙන් කිසිවක් කොට ලිය නොහී කා රැස් බදිති"
බුදු වරයන්ගේ ප්‍රධානතම ඉගැන්වීමක් වන පවින් වැළකී කුසලයෙහි යෙදෙන්න යන්න දිරි ගන්වන සිදු වීම් හා ප්‍රකාශ සුලභ වීම බණකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණයකි. පෙර කල අකුසලයක් නිසා ජීවක බිලිඳු කල කුණු ගොඩකට විසි කල අයුරුත්, පෙර කල පින් මහිමයෙන් කපුටන් වට වී සිටියත් බිළිදාට කිසිඳු හානියක් සිදු නොවූ අයුරුත්, අභය රාජ කුමාරයාට හමු වී රජ ගෙදර ජීවත් වීමට වාසනාව උදා වූ අයුරුත් සඳහන් කරමින් සපයන්නේ ඒ සඳහා කදිම උදාහරණ පෙළකි.
ගුරු ගෙදරින් ශිල්ප නිමා කොට තමාගේ ගමට යන අතරතුර ජීවක තමාගේ පළමු වෙදකම සිදු කරයි. ඒ සාකේත නුවර සිටු දේවිය විදි ශීර්ෂාබාධයයි.
"පුතණුවනි සත් අවුරුද්දක් මුළුල්ලෙහි නින්දක් නොලද්දා වූ මා එක දවසක් නිදවාපිය නොහෙනුයේ දැ'යි විචාලහ "
මෙහිදී ගිලන් සිතක ඇතුලේ ගැහෙනා වේදනාව හරි අපූරුවට බණ කතා කරුවා ඉදිරිපත් කර ඇත. බුද්ධ පුත්‍ර හිමියන්ගේ සුවිශේෂීත්වය එයයි. පද පේලි කිහිපයකින් ලොකු කතාවක් පවසන්නට ඔහු සමත්කම් කියයි. අවුරුදු හතක් පුරා විදි වේදනාවේ තරම නම් රෝගය සුව කිරීමට නොව එක දවසක් නිදිකරවන ලෙසයි ජීවකයානන්ගෙන් සිටු දේවිය ඉල්ලා සිටිනුයේ. මෙහිදී සිටු දේවියගේ අසරණ භාවය මනාව නිරූපණය කිරීමට බණකතාකරුවා සමත් වී තිබෙනවා.
එපමණක් නොව නාට්‍යයෝචිත බවද මේ දෙබස් තුල මැනවින් ගැබ් වී ඇති බව හැගෙනුයේ ඒවා අප දෙනෙත් ඉදිරියේ මැවී පෙනීම නිසාවෙනි. බණකතාකරුවාගේ සුවිශේෂී දක්ෂතාවය එයයි.
"පුතණ්ඩ, එසේ නොකියව. අප උපයන අවස්ථාවෙහි මෙසේ සියුම්ව උපයන සේත් දැනුම්හ. වියදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙන සේත් දැනුම්හ. අනාථයේ වළ දමන සේ නො දනුම්හ."
බණ කතාකරුවා හැකි සෑම අවස්ථාවකදීම කිසියම් උපදේශයක්, ජීවිතයට ගත යුත්තක් තම කතා තුලින් පාඨකයාට ලබා දෙයි. මෙය එයට කදිම නිදසුනකි. උපයන අවස්ථාවේ දී වෙහෙස මහන්සි වී සියුම්ව උපයන ආකාරයත්, වියදම් කරන අවස්ථාවේ දී නිවැරදි දේට නිවැරදි ප්‍රමාණයන්ගෙන් වියදම් කරන ආකාරයත් පිළිබඳව මෙහිදී කදිම උපදෙසක් ලබා දෙයි. සිටු දේවියක විසින් පවසනා කරුණු බැවින් මේවා පාඨකයාට පහසුවෙන් විශ්වාසනීය වේ. එසේ උපයා වියදම් කොට සිටු දේවියක වී සිටී නම් අප ද එලෙසින් සිදු කල යුතුය යන අවබෝධය ඇති කරයි. මේ ලෙස තම කතා වස්තු තුළින් ජීවිතාවබෝධය ලබා දීමට කටයුතු කිරීම බණකතාකරුවාගේ සුවිශේෂීත්වයක් වෙයි.
පහත දැක්වෙනුයේ ඒ සඳහා තවත් කදිම නිදසුනකි.
"මේ මා ලද පලමු වන සැපත නුඹ වහන්සේ මා වැඩි පෝසාවනික මිලයට ගෙන වදාළ මැනවැ'යි කීහ "
ජීවක ගුරු ගෙදරින් නික්මිලා තමාගේ පළමු වෙදකමත් මේ වන විට සිදු කර හමාරයි. පළමු වෙදකමින් ලද ධනය හා වස්තූන් ජීවක තමාව ඇති දැඩි කල පියාට ගිහින් දෙන මේ මොහොත නැවතත් අපට මහත් ආදර්ශයක් සපයයි. බණකතාකරුවාගේ කතා විලාශයේ ලක්ෂණය එයයි. හැකි සෑම අවස්ථාවකදීම සාධූපදේශ ලබා දෙයි. අද කාලයේ බොහෝ දරුවන්ට තම දෙමාපියන් පිළිබඳව එතරම් තැකීමක් නොමැත. ජීවක වැන්නෙක් තම දෙමාපියන්ට මෙසේ සලකයි ද, එසේනම් අප ද අපගේ දෙමාපියන්ට නිසි ලෙස ගරු සැලකිලි ලබා දිය යුතුය යන ආකල්පය බණකතාකරු අපට ලබා දෙයි.
ජීවකගේ උපතේ සිට ජීවිතය ගලා යන ආකාරය අපූරුවට පිළිවෙලින් ඉදිරිපත් කිරීමට බණකතාකරුවා උත්සුක වී ඇති බව පැහැදිලිය. එහෙත් බණ කතාකරුවාගේ සුවිශේෂීත්වයක් නම් කතාව තුල කුතුහලය නිතරම පැවතීමයි. කතාව තුල අද්භූත රසය ගැබ් වී තිබීමයි. එ තුළින් පාඨක ශ්‍රාවක ජනයා කතාව තුළ රදවා ගැනීමට බණකතාකරු අතිශය දක්ෂ වී ඇති බව ජීවක කතා වස්තුව කියවාගෙන යෑමේ දී අපට මනාව පැහැදිලි වේ.
බණකතාකරුවාගේ ලක්ෂණ
බණ කතා කරුවාගේ සුවිශේෂීත්වය විචාර
ජීවක වෛද්‍ය වරයාගේ කතාව විචාර
පූජාවලිය විචාර ප්‍රශ්ණ උදාහරණ
Comments