Skip to main content

භාෂාව හා සාහිත්‍යයේ ඇති වැදගත්කම රචනාව


කාර්යය බහුල ජීවන සමාජය තුල භාෂාව හා සාහිත්‍ය අධ්‍යයනය කිරීම නිශ්ඵල යැයි සිතමින් පවතී. මේ පිළිබඳව අවධානය යොමුකර වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.



භාෂාව සහ සාහිත්‍යයේ ඇති වැදගත්කම

මිනිසාගේ සොයා ගැනීම් අතර ප්‍රධානතම උපකරනය වනුයේ භාෂාව බව පැවසීම නිවැරදිය. භාෂාව වූ කලී ප්‍රධාන සංනිවේදන උපකරණය බව ඕනෑම කෙනෙක් දනී. නමුත් බොහෝ දෙනෙකුගේ අවධානය නොගිය වැදගත්ම කාරණාව නම් භාෂාව මිනිසාගේ සිතීමේ උපකරණයද වන බවයි. 

අකුරු, වචන, ව්‍යාකරණ භාෂාව තුල වැදගත් වන්නා සේම භාෂාවක් රසවත් වනුයේ එම භාෂාව හා බැදි එම භාෂාවෙන් නිර්මිත සාහිත්‍ය නිර්මාණ තුළිනි. සාහිත්‍ය නිර්මාණ රස වින්දනය තුළ භාෂාව අධ්‍යයනය පහසු වන්නා සේම එම සාහිත්‍ය නිර්මාණ විචාරීම තුළින් භාෂා ඥාන පරාසය පුළුල් වනු ඇත. එසේම නවමු වූ සාහිත්‍ය නිර්මාණ බිහි කල හැකි වනු ඇත. තවද එය සංනිවේදන කටයුතු වලට මහගු උපකාරී වන සේම සිතීමේ හැකියා පරාසය පුළුල් වනු ඇත. 

එසේ බලන කල භාෂාව හා සාහිත්‍ය විෂයට හිමි විය යුත්තේ සුවිශේෂී ස්ථානයකි. ඕනැම පුද්ගලයෙකුට තම දෙමාපියන්ගෙන් උරුම වූ මව් භාෂාවක් පවතී. එම පුද්ගලයා අනෙකුත් සෑම විෂයයක්ම එම භාෂාව උපකාරීකොටගෙන අධ්‍යයයනය කරනු ලබයි. එසේම මව් භාෂාවට අමතරව තවත් භාෂාවන් ද අධ්‍යයනය කරනු ලබනුයේ මව් භාෂාව ඇසුරිනි. එසේ බලන කල භාෂාව හා සාහිත්‍ය වැදගත්ම විෂය බව පැහැදිලිය. ඔබ කුමන වෘත්තීයකින් ඉදිරියට යෑමට සිටිය ද භාෂාව මනා ලෙස අධ්‍යයනය කොට සිටීම වැදගත් වනුයේ එබැවිනි. 

පුද්ගලයන්ගේ මනෝභාවයන් මැනවින් නිරූපණය වන නිර්මාණයන් අතර සාහිත්‍ය නිර්මාණ වලට සුවිශේෂ වූ ස්ථානයක් හිමි වේ. භාෂාව දැන ගත් පමණින් සංනිවේදනය සාර්ථකව සිදු කල නොහැක. විවිධ මිනිසුන් තම හැගීම් භාව ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එම අවබෝධය අපට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි මාධ්‍යයක් ලෙස සාහිත්‍ය නිර්මාණ සැලකීම නිවැරදිය. 

භාෂාව තුල ඇති විවිධ උපහැරණ, ව්‍යාංගාර්ථ ආදිය සාහිත්‍ය නිර්මාණයන් තුළ හමුවන විට ඒවා අපට පහසුවෙන් නිරායාසයෙන් තේරුම් යයි. මතකයේ රැදෙයි. උපමා, රූපක, ව්‍යාංගාර්ථ ආදී මේවායේ වැදගත්කම නම් මේවා තුළින් සංනිවේදන කර්තව්‍ය වඩාත් සාධනීය තලයකට ගෙන යා හැකි වීමයි.

නූතන භාෂාවන් වසර දසදහස් ගණන් විකසනය වෙමින් නිර්මාණය වී ඇත. ඉදිරියට ද භාෂාව දිනෙන් දින වෙනස්කම් වලට භාජනය වෙමින් ගලාගෙන යනු ඇත. මිනිසාගේ සිතුම් පැතුම් වෙනස් වීම සමග භාෂාව ද වෙනස් වීම සිදු වෙයි. එදා අම්මා, අද අම්මි, මමී වී ඇත. හෙට එය තවත් නව්‍යකරණය වනු ඇත. 

විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට ලංකාවට ගෙන්වීම වැඩි වීම සමග හා අන්තර්ජාලය හරහා විදේශ වැඩ සටහන් ටෙලි සීරීස් හෝ ඕනෑම දෙයක් නැරඹීමේ පහසුව ඇති වී තිබීම හරහාත් එම භාෂා හා අප මව් බස වන සිංහල භාෂාව වඩාත් මිශ්‍ර වෙමින් පවතින බව පැහැදිලිය.

අප එකිනෙකා අතර හැගීම් අවශ්‍යතා සංනිවේදනය කල හැකි වී ඇත්තේ ප්‍රධාන ලෙස භාෂාව තුළිනි. ඉගෙනීම, ඉගැන්වීම මෙන්ම ඇගයීම් ද, තරග විභාග ආදිය ද පැවැත්විය හැකි වී ඇත්තේ භාෂාව නිසාය. 

එදි නෙදා කටයුතු සමග කාර්යය බහුල වන අපගේ මනසට ඇත්තේ අසීමිත පීඩනයකි. එම පීඩනයෙන් මිදීමට අපට සුළු මොහොතකට හෝ වෙනත් ලොවකට මනස රැගෙන යාමට අවශ්‍යය වේ. ඒ සඳහා බොහෝ විට අපට උපකාරී වන උපකරණය සාහිත්‍යයි. කවියක්, ගීතයක් රස විදීම තුළ එම කාල සීමාවේදී අපගේ මනසට සැහැල්ලුවක් ඇති වනුයේ අනෙකුත් ප්‍රශ්න අපට අමතක වීම නිසාය.

ඔබගේ විවේක කාලය වඩාත් අර්ථවත් කර ගැනීමට සාහිත්‍ය පොත පත ඇසුරු කල හැකිය. සාහිත්‍ය තුළ ගෙවී යන කාලය මනසට සුවයකි. එහි වටිනාකම මිල කල නොහැකි වන සේම වෙනත් මධ්‍යයක් තුල හමු නොවනු ඇත. ඉතිං කාර්යය බහුලත්වය සමග සමාජ අවශ්‍යතා සංකීර්ණ වීම සමග භාෂාව හා සාහිත්‍යයට ඔබ අපි ලබා දෙන කාලය වටිනාකම අඩු වීමට ඉඩ නොදී භාෂාව අධ්‍යයනය කරමු. සාහිත්‍ය නිර්මාණ රස විදිමු. නව සාහිත්‍ය නිර්මාණ බිහි කරමු. විචාරය කරමු.



Key words 
භාෂාව සහ සාහිත්‍යය රචනා
භාෂාව අධ්‍යයනයේ වැදගත්කම 
සාහිත්‍ය ඉගැනීමේ වැදගත්කම 
Basha ha sahithyaye wedagath kama
Bashave vedagathkama rachana
භාෂාව හා සාහිත්‍ය රචනා pdf

Comments