Skip to main content

මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජය ගනිමු රචනාව

විද්‍යුත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වාදීමේ දී ඇතිවන අභියෝග ජය ගනිමු.

කවුළුව හැර සුළං සුව විදිය යුතු බවත් ඒ සුළඟට අප සතු දෑ ගසාගෙන යෑමට ඉඩ නොහැරිය යුතු බවත්" මහත්මා ගාන්ධිතුමෝ පැවසූහ. 

එකී ප්‍රකාශය විද්‍යුත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට ද එකසේ අදාලය. අධ්‍යාපනයට නූතන විද්‍යුත් සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව අපට වඩා දැනෙන්නට වූයේ 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමගය. පසුව කොරෝනා වසංගතය නිසාද එකී අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය.

කුමන තත්ත්වයක් යටතේ වූවද රටේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගත යුතුය. උපතේ සිට මරණය දක්වාම යමෙකු අධ්‍යාපනය ලබන බැව් ගාන්ධි තුමානන් ප්‍රකාශ කළහ. අධ්‍යාපනයෙහි ඇති ස්වර්ණමය වටිනාකම කවරාකාරදැයි එයින් කියවේ. කොවිඩ් වසංගත තත්ත්වය යටතේද අධ්‍යාපනය ක්‍රියාවලිය බිඳවැටෙන විට රජයත්, පෞද්ගලික අංශත් විද්‍යුත් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට වඩාත් යොමුවිය. 

එකී ක්‍රියාවලිය ගැන විවිධ වාද විවාද, සුසංවාද මෙන්ම විසංවාද ද ඇති විය. කෙසේ වෙතත් කොරෝනා වසංගතයේ දෙවන රැල්ල පැමිණීමත් සමඟ විද්‍යුත් මාර්ගගත ක්‍රමයට අපට එකඟ වීමට සිදුවූයේ අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම අනිවාර්ය වූ නිසාය.

වියදම් අඩුවීම, තොරතුරු පහසුවෙන් ලබාදීමට හැකිවීම, සිසු දරුවන්ගේ සුරක්ෂිතතාව, තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවීම, කාලය හා අවකාශය පිළිබඳව අවම ගැටලු ඇතිවීම, පරිසර හිතකාමී බව, එක් පිරිසකට හෝ එක ගුරුවරයෙකුට සීමා නොවීම ආදී වාසි විද්‍යුත් මාර්ග ගත ක්‍රමයෙන් ශිෂ්‍යයා හට අත්වේ.

එහෙත් ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයටම යම් යම් තාක්ෂණික ගැටලු වලට මුහුණ දීමට සිදුවීම මෙකී අධ්‍යාපන ක්‍රමයේ ඇති ජයගත යුතු ප්‍රබල අභියෝගයක් වේ. ගුරු සිසු දෙපිරිස අතරින් පරිගණක හෝ සුහුරු දුරකථන ඇත්තේ සීයට හැට හතකට පමණකැයි කියවේ. ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් නොව ඇතැම් නාගරික ප්‍රදේශවලට පවා සංඥා තරංග ගැටලුව දක්නට ලැබේ. 

එසේම සුහුරු දුරකථන හා පරිගණක භාවිතය පිළිබඳ දැනුම අඩුවීම මෙන්ම වැඩිහිටි පරපුර අලුත් තාක්ෂණය තුළ දක්වන අනියත බියද ජය ගතයුතු තවත් අභියෝගයකි. මෙකී අධ්‍යාපන ක්‍රමයේ දිගටම නිරත වන විට යම් ස්නායු ගැටලු දරුවන්ට ඇතිවන බව මෑතකදී අනාවරණය වූ නිසා එකී කරුණද සැලකිල්ලට ගත යුතුවේ. අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන යහපත් ගුණගරුක දරුවන් බිහි කිරීම උදෙසා මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රබල පිටුවහලක් ලැබෙන්නේ නැත. මෙකියන ගැටලු හා අභියෝග ජයගත යුතුව ඇත. එවිට මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන් යහපත් ඵලයක් ගත හැකිවේ.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 




සංඥා පද්ධති පුළුල් කිරීම, දත්ත පහසුකම් ලබාදීම, අධ්‍යාපනික වෙබ් අඩවිවලට නොමිලේ පිවිසීමට අවස්ථාව ලබාදීම රජය සතු වගකීමකි. එසේම තාක්ෂණය වගකීමෙන් සහ වග වීමෙන් භාවිත කිරීමට කවුරුත් වගබලා ගත යුත්තෙමු. විද්‍යුත් මාර්ගගත ක්‍රමයෙන් නිර්මාණය කෙරෙන මිනිසා යාන්ත්‍රික රොබෝවරයෙකු බවට පත්වීම වළක්වා ගැනීම සදහා අප පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. 

සාහිත්‍යය රසාස්වාදය අරමුණු කරගත් සාමූහිකත්වය වර්ධනය කෙරෙන වැඩසටහන් සම්පාදනය කිරීම ඉන් එකකි. ප්‍රාථමික හා ද්විතීක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් විද්‍යුත් මාර්ග ගත ක්‍රමය භාවිතය අනිවාර්ය නොව අතිරේක ක්‍රමයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් එය වඩාත් යහපත්ය.

තාක්ෂණ අධිවේග මාර්ගයේ ගමන් කරන අපි අනාගතයේ එල්ල විය හැකි අධ්‍යාපන අභියෝග වලට මුහුණ දිය යුත්තෙමු. ඒ සඳහා විද්‍යුත් මාර්ග ගත අධ්‍යාපනය අපට අවැසිමය. එහෙත් එහි ඇති අභියෝග අපි කළමනාකරණය කරගත යුත්තෙමු. අශ්වයා පැන යාමට පෙර ස්ථාලය වැසීමද අප දැනගත යුත්තෙමු. එසේම අධ්‍යාපන ගසෙහි අරටුව ශක්තිමත් කිරීමට ගතහැකි සෑම ක්‍රමයක්ම දායක කරගත යුතුය. එසේ නොවුනහොත් කරන සෑම දෙයක්ම ගඟට ඉනි කැපුවක් මෙන් ම විය හැකිය.

- නෙතුලි නෙරංජලී - 



ආදිවාසීන්ගේ ආහාර රටාව පිළිබඳ රචනා

වැද්දන්ගේ ජීවන රටාව පිළිබඳව රචනාව



Key words 

මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ අභියෝග 

මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයේ වාසි අවාසි

මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය රචනා

මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය රචනා pdf

ඔන්ලයින් අධ්‍යාපනයේ අභියෝග රචනා

විද්‍යත් මාර්ග ගත ක්‍රමවේදය


Comments