Skip to main content

සිංහල විචාර 64 - කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යය විචාරය 01 | සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය

කෝට්ටේ යුගය තුළ සංදේශ කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, බණකතා කාව්‍ය, මහා කාව්‍ය ආදී විවිධාංග වලින් පෝෂිත පද්‍ය සාහිත්‍යයක් දක්නට ලැබේ." සාකච්ඡා කරන්න.

ලාංකීය මධ්‍යකාලීන සාහිත්‍ය යුගයන් අතර කෝට්ටේ සාහිත්‍ය යුගය ස්වර්ණමය සාහිත්‍ය යුගයක් ලෙසට බොහෝ වියතුන් විසින් පිළිගනු ලබයි. එයට හේතුව වන්නේ නිර්මාණ සාහිත්‍යය අංග රාශියකින්ම මෙම යුගය ප්‍රතිපෝෂණය වී තිබීම නිසයි. Vi වන පරාක්‍රමබාහු රජුගේ දූරදර්ශී වූ පාලන ක්‍රමවේදයන් තුළින් රට පාලනය කිරීමේදී උගතුන් විෂයෙහි දක්වන ලද සුවිශේෂී සැලකිල්ල පසුබිම් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම යුගයේ විවිධාකාර නිර්මාණයන් රචනා කරන ලද බවට හඳුනාගත හැකිය.

එසේ සාහිත්‍යකරණයේ විවිධත්වය ඇති කළ නිර්මාණකරුවන් අතර තොටගමුවේ ශ්‍රි රාහුල හිමි, දෙවන කවිකාර වීදාගම මාහිමි, වෑත්තෑවේ මාහිමි, ඉරුගල් කුලතිලක හිමි, රාමචන්ද්‍ර මාහිමි යන ලේඛකයන්ගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව පැහැදිලිවම හඳුනාගත හැකි සාධකයයි.

කෝට්ටේ යුගයේ ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථයන් අතර විශේෂතාවයන් මෙලෙස සංක්ෂිප්තව දැක්විය හැකිය. 


01. සංදේශ කාව්‍ය බිහිවීම. - හංස සංදේශය, සැලලිහිණි සංදේශය, පරවි සංදේශය, ගිරා සංදේශය 

02. ඛණ්ඩ කාව්‍ය බිහිවීම. - ගුත්තිල කාව්‍යය

03. බණකතා කාව්‍ය බිහිවීම. - සද්ධර්මාලංකාරය 

04. මහා කාව්‍ය බිහිවීම - කාව්‍යශේකරය 05. ප්‍රශස්ති කාව්‍ය නිර්මාණය - පැරකුම්බා සිරිත

06. උපදේශ කාව්‍ය බිහිවීම. - ලෝවැඩ සඟරාව 

07. වෙෙද්‍ය ග්‍රන්ථ - යෝග රත්නාලකාරය,                 

යන නිර්මාණයන් තුළින් මේ බව මනාව අවබෝධ කරගත හැකිය. නිර්මාණ ග්‍රන්ථයන් රචනා කිරීමේදී පිරිවෙන් අධ්‍යාපනය වඩාත් ප්‍රබල ලෙස දියුණු වීම මේ උදෙසා හඳුන්වා දිය හැකි හොඳම සාධකය ලෙසට පෙන්වා දිය හැකිය. කෝට්ටේ යුගයේ ලියන ලද බහුල ග්‍රන්ථයන් වන්නේ සංදේශ කාව්‍ය නිර්මාණයන්ය. සංදේශ කාව්‍ය තුළින් ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා සදාචාරාත්මක තොරතුරු විවරණය වී ඇති අයුරු පෙන්වා දිය හැකිය. 

මේ අතර ගැමි ජන ජීවිතය පදනම් කරගෙන පරිසරය තුළ ඇති සුන්දරත්වය මැනවින් විග්‍රහ කරන සංදේශයක් ලෙස දෙවන කවිකාර වීදාගම හිමියන්ගේ හංස සංදේශය හඳුන්වා දිය හැකිය. මෙහි පරමාර්ථය වන්නේ vi වන පරාක්‍රමබාහු රජු ද රටවැසියන්ද  සම්බුද්ධ සාසනය ද ආරක්ෂා කර දෙන ලෙස සතරවරම් දෙවියන්ගෙන් ඉල්ලන ලෙසද රතන සූත්‍රය සහස් වාරයක් පිරිත් කියමින් පින් අනුමෝදන් කරන ලෙසද කරන ඉල්ලීමයි. 

කෑරගල වනරතන හිමියන්ගෙන් මෙම ඉල්ලීම සිදුකරන අතර එම පරිසරයෙහි සුන්දරත්වය වර්ණනා කරන්නේ මේ ආකාරයටයි.

" සාර ඵලය අඹ තඹ ද වල්                පිට 
  වීර ජලය ඇළ දොළ කඳු පිටින්       බට 
  නෑර ලොලය වඩවන දුටු දනන්       හට
  කෑරගලය වැජඹෙයි මේ ලෙසින්     සිට "


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


ඉහත උදාහරණයෙන් මේ බව අවබෝධ කර ගත හැකිය. සාරවත් වූ කෙත්වතුවලින් අලංකාර වීම, ගැමි පරිසරයේ සුන්දර බව ද චිත්ත රූප මැවෙන භාෂාවකින් ඉදිරිපත් කිරීම මෙම සංදේශයෙහි දැකිය හැකි සුවිශේෂී අංගයන් ලෙසට පෙන්වා දිය හැකිය. 

කෝට්ටේ සාහිත්‍ය යුගය වඩාත් වැදගත් වන්නේ ලංකාවෙහි ආරම්භකම ප්‍රශස්ති කාව්‍ය නිර්මාණය වීම තුළය. Vi වන පරාක්‍රමබාහු රජුගේ උදාරත්වය, වීරත්වය, කරුණාවන්ත බව, රාජකීයත්වය යන සියල්ලක්ම ගුණාත්මකව විවරණය කිරීම, කෝට්ටේ යුගයෙහි ඇති වැදගත්කම ද එම ප්‍රශස්ති කාව්‍ය තුළින් තහවුරු කරගත හැකිය. රජුන් වීරත්වයෙන් වර්ණනා කරන්නේ මෙම ප්‍රශස්ති කාව්‍ය තුළය. 

ඒ අනුව තොටගමුවේ ශ්‍රී රාහුලයන් මෙහි රචකයා බව එහි භාෂාත්මක ව්‍යවහාරයේදී මැනවින් අවබෝධ කරගත හැකිය. ඒ බව 

"තෙදැති විකුම් රජු තෙසි විපුල විකුම් කරායන 

යුවති නයන මන පිනවන රුසිරු තෙතස නරායන... "

යන කාව්‍ය නිර්මාණය තුලින් වුවද හඳුනාගත හැකිය. මෙහිදී රජ්ජුරුවන්ගේ ස්වභාවය, රජ්ජුරුවන්ගේ චරිත නිරූපණයත් සංගීතයට අවනත වෙමින් ප්‍රශස්තියක යථා ස්වරූපය නිරූපණය වන පරිදි ඉදිරිපත් කර තිබීම අගය කළ හැකි වේ. 

එමෙන්ම මෙම කෝට්ටේ සාහිත්‍ය යුගයේ නිර්මාණය කරන ලද සාහිත්‍ය නිර්මාණයන්හි සුවිශේෂිතා අතර "උපදේශ කාව්‍ය" වැදගත් නිර්මාණ අංගයක් ලෙස හඳුන්වා දිය හැකිය. එහිදී "ලෝවැඩ සඟරාව" අගය කළ හැකි තවත් එවැනි ග්‍රන්ථයකි. "ලොවට වැඩ ඇති සඟරාව" යන අනුවර්ත නාමයෙන් මෙය හඳුන්වා දෙන බව තහවුරු වෙයි. දන් දීම, සිල් රැකීම, භාවනාව ආදීය සිදු කිරීම මෙන්ම පස් පව්වලින් ඈත් වීමට මෙහි උපදෙස් දීම සිදුව ඇත. මෙම සියල්ල විමර්ශනය කර බලන විට තහවුරු වන අවස්ථාවක් ලෙස බුදුන් වඳින ආරම්භක කවිය තුළින්ම මේ බව දැකගත හැකය.

"සෙත්සිරි දෙන මහ ගුණ මුහු දානන්
 සත්හට වන බව දුකට      වෙදානන් 
 සිත් ගණ දුර දුරුලන       මිහිදාණන්
 සිත් සතොසින් නමදිමි   මුණිදාණන්"

යන කාව්‍ය නිර්මාණය දෙස බලන විට ද මෙය අවබෝධ කරගත හැකිය. ඒ අනුව උපදෙස් දීම, සාර්ථක ජීවිතයකට මග පෙන්වීම යන සාධක සියල්ලම මෙමගින් විවරණය කිරීමට වීදාගම හිමියන් උත්සාහ දරා ඇති බව පෙන්වාදිය හැකිය.

මෙම කෝට්ටේ සාහිත්‍ය යුගයේ නිර්මාණ අටසියයක් අතර ගද්‍ය සාහිත්‍යයේ අඩුවීමක් දක්නට ලැබේ. නමුත් ලාංකික නිර්මාණකරණයේ පවතින සුවිශේෂීතා අතර මෙම කෝට්ටේ යුගයෙහි නිර්මාණය වූ නිර්මාණයක් ලෙස "ඛණ්ඩ කාව්‍ය" හඳුන්වා දිය හැකිය. "ඒකාර්ථ පාදක කාව්‍ය" ලෙස ද මෙය හඳුන්වා දෙයි. එනම්, පරිච්ඡේදවලට නොබෙදී එකම මාතෘකාවක් යටතේ ආරම්භයේ සිට අවසානයේ දක්වා කවිය නිර්මාණය වීම නිසා මෙයට මේ නම ලැබීම යෝගය වේ. වැත්තෑවේ හිමියන් ගුත්තිල ජාතකය පදනම් කර ගනිමින් ගුත්තිල කාව්‍ය රචනා කර ඇත. ඒ අනුව,

"සිය පින් සිරින්                   සරු 
 දෙතිස් ලකුණින්         විසිතුරු 
 කෙලෙසුන් කෙරෙන්         දුරු 
 වඳිමි මුනි උතුමන් තිලෝගුරු

යන කවියෙන් මේ බව පෙනේ. මේ සියල්ල නිරීක්ෂණය කර බලන විට සනාථ වන කරුණ වන්නේ ගුත්තිල කාව්‍යයෙහි ස්වභාවයත් එහි සරල බව, ගැමි බව, නිර්මාණාත්මක බව යන සාධකයන් තුළින් රචනා කරනු ලැබූ බවයි. 

කෝට්ටේ සාහිත්‍ය වූ කලී නව ප්‍රවණතා රාශියකින්ම නිර්මාණය වූවකි. ඒ නිසා ගද්‍ය පද්‍ය ක්ෂේත්‍රයෙහි සෑම ප්‍රවණතාවක්ම සම්බන්ධ කරමින් විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කරන ලද බව මෙමගින් පෙනේ. 

ජාතක කතා අතර ගුත්තිල කාව්‍ය හැරුණු විට කාව්‍යයශේකරද වේ. කාව්‍යශේකරය මහා කාව්‍ය ගනයට අයත් කාව්‍යයකි. සත්තුභත්ත ජාතකය වස්තු කොටගෙන මේ කාව්‍ය ලියවී ඇත. එහි සර්ග පහළවකි. කවි සංඛ්‍යාව 887කි. කතුවරයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ය. මෙය ලියා ඇත්තේ උඩකුලය දේවියන්ගේ ආරාධනය පරිදි හෙළ බසින් බණක් කීම සඳහා ය. බුදුන් වහන්සේ පෙර ආත්ම භාවයකදී සේනක නමින් නිපද ස්වකීය බුද්ධිය හා ශාස්ත්‍රඥානය මඟින් ලෝකයාට සැලසූ යහපත පිළිබඳව මෙම ජාතකයෙන් විස්තර කෙරේ. මහා කාව්‍ය ලක්ෂණ අන්තර්ගත වන සේ සාගර, උද්‍යාන, සන්ධ්‍යා වර්ණනා ආදිය නවකතාවයකින් ඉදිරිපත් කරමින් රචිත කාව්‍යශේකරය බහුශ්‍රැත භාවයෙන් හෙබි ප්‍රතිභාපූර්ණ කවියකුගේ උසස් නිර්මාණයක් ලෙස සැලකේ.

කාව්‍ය නිර්මාණ අතර ප්‍රධාන තැනක් ගන්නා සංදේශ කාව්‍ය සියල්ල නිර්මාණය කර ඇත්තේ මෙම කෝට්ටේ සාහිත්‍යය යුගයේදී ය. පරවි සන්දේශය, සැළලිහිණි සංදේශය, ගිරා සන්දේශය, හංස සංදේශය, කෝකිල සංදේශය යන සියලු සංදේශ කාව්‍යයන් නිර්මාණය වී ඇති යුගය මෙම කෝට්ටේ සාහිත්‍ය යුගය යි. 

පරවි සංදේශය

පරවි සන්දේශයේ කතුවරයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය. සංදේශ කවි 203 කින් සමන්විත වේ. පරවි සංදේශය ලිවීමේ අරමුණ වූයේ සවන පැරකුම්බා නිරිඳුන්ගේ දියණියක වූ චන්ද්‍රාවතී කුමරියට යෝග්‍ය සැමියෙකු හා පුත්‍රයෙකු ලබාදෙන ලෙස ඉල්ලා දෙවිනුවර උපුල්වන් දෙවියන් යැදීමයි. සවන පැරකුම්බා රජුට හා යුව රජුට සෙත් පැතීම තවත් එක් අරමුණකි. පරවියෙකු මගින් අස්නක් යැවෙන පරිදි මේ සංදේශය රචිතය. ගමන් මාර්ගය කෝට්ටේ දෙවිනුවර තෙක් ය. 

සැළලිහිණි සන්දේශය

මෙම සංදේශය ලියන ලද්දේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසිනි. කවි ප්‍රමාණය 108කි. සැලලිහිණි සන්දේශය ලිවීමේ අරමුණ වූයේ සවැනි පැරකුම්බා රජුගේ දියණියක වූ උලකුඩය දේවියට පුත්‍ රුවනක් ලබාදෙන ලෙස විභීෂණ දෙවියන්ට ආයාචනා කිරීමයි. සංදේශ හාරකයා ලෙස දැක්වෙන්නේ සැළලිහිණියෙකි. ගමන් මාර්ගය කෝට්ටේ සිට කැලණිය තෙක් ය.

ගිරා සංදේශය

ගිරා සංදේශයේ කතුවරයා අවිනිශ්චිත ය. මෙය තොටගමුවේ විහාර පාර්ශවයට අයත් (ග්‍රාමවාසි) යතිවරයෙකුගේ කෘතියක් ලෙස සැලකේ. පද්‍ය දෙසිය දහ අටකින් (218) සමන්විත වෙයි. ගිරා සංදේශය ලිවීමේ අරමුණු ලෙස සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ සවැනි පැරකුම්බා රජුනුත් ලංකා බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් තොටගමු විජයබා පිරිවනේ විසූ ශ්‍රී රාහුල හිමියන් මඟින් නාත දෙවියන් වෙත සංදේශයක් පිරිනැමීමයි. ගමන් මාර්ගය කෝට්ටේ සිට තොටගමුව තෙක් ය. අම්බලමේ කතා ඇසුරෙන් ඉදිරිපත් කරන පැරකුම් රජු වැනුමත්, තොටගමුවේ විජයබා පිරිවෙන් වැනුමත්,අධ්‍යාපන තොරතුරුත් මෙහි දැක්වෙන විශේෂ ලක්ෂණය යි. 

හංස සන්දේශය

හංස සන්දේශයෙහි කතුවරයා අවිනිශ්චිත ය. (වනවාසි) වීදාගම පරපුරට අයත් යතිවරයෙකුගේ කෘතියක් ලෙස සැලකේ. මෙම සංදේශය ලිවීමේ අරමුණ රටේ සතුරු වියවුල් දුරු කරවා සවන පැරකුම්බා රජුට සෙත් පැතීමයි. ගමන් මාර්ගය කෝට්ටේ සිට කෑරගලය තෙක් ය. සංදේශයේ හාරකයා හංසයෙකි.

කෝකිල සංදේශය

මෙහි කතුවරයා දෙවි නුවර ඉරුගල්තික පිරිවේණාධිපති හිමියන් ය. දෙවිනුවර සිට යාපනය දක්වා මඟ තොරතුරු මෙහි ඇතුළත් වේ. දුර ප්‍රමාණය වශයෙන් මෙන්ම කවි ගණනින්ද දීර්ඝතම සංදේශ කාව්‍ය මෙයයි. පද්‍ය 291 කින් මේ කෘතිය සමන්විත වේ.

පද්‍ය ග්‍රන්ථ බහුල වශයෙන් දක්නට ලැබීම කෝට්ටේ සාහිත්‍ය යුගයෙහි කැපී පෙනෙන විශේෂත්වයකි. ජාතක කතා, උපදේශ, විරුදා, සංදේශ, භක්ති හා නිසණ්ඩු ආදි විවිධ විෂය යටතේ ලියවුණු ග්‍රන්ථ මෙකී කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් වේ. පද්‍ය උදෙසා විවිධ විරිත් භාවිතය ද දක්නට ලැබේ. රස නිෂ්පත්තිය අතින් ද මෙකල කාව්‍යයේ උසස් බවක් දක්නට ලැබේ. විවිධ විෂයයන්ගේ ගද්‍ය පද්‍ය කෘති සමුදාය නිසාද ගිහි පැවිදි සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය "කෝට්ටේ යුගය" ලෙස සැලකේ.


H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල




Key words 

කෝට්ටේ යුගයේ විවිධාංග සාහිත්‍ය

සංදේශ කාව්‍ය විචාර

සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය

කෝට්ටේ යූගයේ සාහිත්‍ය pdf

කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය

කෝට්ටේ යුගය

කෝට්ටේ යුගයේ සාහිත්‍යය pdf download 

කෝට්ටේ සාහිත්‍ය යුගය

Kotte yugaye vividanga padya sahithya

සිංහල සාහිත්ය රසාස්වාදය විචාර pdf

Kotte yugaya 

Kotte yugaye sinhala sahithya

Kotte sahithya yugaya vichara pdf

Sandesha kawya vichara pdf

Comments