Skip to main content

සිංහල රචනා 13 - ස්වාභාවික විපත් රචනාව

ස්වාභාවික විපත් හා ආපදාවන් අවම කර ගැනීම පිණිස උපදෙස් දෙමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


ස්වාභාවික විපත් අවම කර ගනිමු

"වන සතුන් සහ ඔවුන් පදිංචි කලාපත්, මනස්කාන්ත හා අසිරිමත් වනයත් අපගේ ස්වභාවික දායාදයේ කොටසක් සේ සැලකිය යුතු වේ. අපගේ අනාගතය සුභ සාධනය හා ජීවනෝපාය ඒ ඔස්සේ රැඳී ඇත."

 -ජුලියස් නියරේ-

ජුලියස් නියරේ නම් අධ්‍යාපනඥයා වරෙක එලෙස පැවසීය. එනයින්ම ස්වභාවික පරිසරය මානව වර්ගයා සමග දක්වන සහසම්බන්ධතාවය කවරාකාර දැයි ඉගි කෙරේ. එහෙත් ඒ සම්බන්ධතාව අමතක කිරීමේ අහිතකර ප්‍රතිඵලය නම් ස්වාභාවික විපත් ආපදාවලට මුහුණ දීමට මිනිසාට ම සිදුවීමයි. ගංවතුර, නායයාම්, නියන්, ලැව් ගිනි, ගිනිකඳු පිපිරීම්, සුනාමි හා භූමිකම්පා ද මිනිසාට සහ සතා සිව්පාවන්ට ද මුහුණ පෑමට සිදුවන ස්වභාවික විපත් ය.

මිනිසාගේ මැදිහත්වීමෙන් මෙන්ම මැදිහත් නොවීමෙන් ද ස්වාභාවික විපත් සිදුවෙයි. කදු කැපීම, අවිධිමත් බෝග වගාව, සැලසුමකින් තොර ඉදි කිරීම් ආදී මානව ක්‍රියාකාරකම් නායයෑම් සිදුවීමට ද, ගංගා, ඇළ දොළ හරස්කොට ගොඩනැගිලි ඉදිකිරීම්, වතුර බැස යාමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම, පහත් බිම් ගොඩකිරීම ආදී මිනිස් ක්‍රියාකාරකම් ගංවතුර වැනි ස්වාභාවික විපත් තත්ත්වයන් ඇති වීමට ද බලපායි. කොරල්පර විනාශ කිරීම, කඩොලාන පරිසර විනාශ කිරීම ද මුහුදු කාදනයට බලපායි. මුහුදු පතුලෙහි ඇති වන භූමි කම්පා තත්ත්වයන් සුනාමි වැනි ස්වභාවික විපත් ඇති වීමට හේතු වෙයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



මානව සම්පත මෙන්ම සත්ව සම්පත අහිමි වීම ද ස්වාභාවික විපත් නිසා සුලභව සිදු වෙයි. දේපල හා සම්පත් විනාශ වීම, භූමිය විනාශ වීම, වසංගත රෝග තත්ත්වයන් ඇතිවීම, ආපදා අවස්ථාවලදී රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩාල වීම, විදේශ ආධාර මත යැපෙන්නට සිදුවීම ආදී අහිතකර විපාකයක් ස්වාභාවික විපත් නිසා රටකට අත්පත්වෙයි. එහෙයින් මෙම ස්වාභාවික විපත් දියුණුවේ රන් හිණි මඟ නඟින්නට වෙර දරන රටකට බලවත් පාඩුවකි.

ඇතැම් ස්වාභාවික විපත් මිනිසා බලහත්කාරයෙන් තමා කරා ළංකර ගන්නා තත්ත්වයන් වන නිසා ඒවා වළක්වා ගැනීමට බහුල ව හැකි වේ. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පරිසරය සුරැකීමේ නීති පද්ධතිය පුළුල් කිරීම, නීතියට කෙරෙන දේශපාලන මැදිහත්වීම නැති කිරීම, ඉහළ නිලධාරීන්ගේ අක්‍රමිකතා වැළැක්වීම, වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණ වීම ආදිය තුළින් ස්වාභාවික විපත් අවම කර ගැනීමට විශාල පිටිවහලක් සැපයෙයි.

එසේම රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජල කළමනාකරණය හා ජලයෙහි වටිනාකම ගැන දැනුවත් කිරීම, දීන කල්ප වෙනුවට යහපත් ආකල්ප ඇති කිරීම හා අධ්‍යාපනය මහ පොළව සමග සම්බන්ධ කිරීම ආදී ක්‍රියාවලීන් රටක පවතින්නේ නම් රටක ස්වාභාවික විපත් අවම කර ගැනීමටත් ඒවා කළමනාකරණය කර ගැනීමටත් ඇති හැකියාව නිසැකවම වර්ධනය වේ.

"මේ පොළොව අපගේ මාතාව බව ඔබේ දරුවන්ට කියා දෙනු මැන. මක් නිසා ද පොළොවට සිදුවන දෙයම ඔබේ දරුවන්ට ද සිදුවන නිසා ය. මිනිස්සු බිමට කෙළ ගසත් ද ඔවුහු ඔවුන්ටම කෙළ ගසා ගනිති" යි යනුවෙන් රතු ඉන්දියානු ජාතික සියැටල් විසින් පවසන ලද කියමන මසුරන් වටින්නේ අද ලෝකවාසීන් මුහුණ දී ඇති ස්වාභාවික විපත් වනාහි මාතෘ භූමියට කෙළ ගැසුවන්ට මාතෘ භූමිය ලබා දුන් කදිම දඬුවමක් බැව් දැනෙන වැටහෙන නිසා ය. එහෙත් තවම මෙකී නිරස කටුක යථාර්ථය පිළිගැනීමට කී දෙනෙකු කැමති දැයි යන්න නම් සැක සංකා උපදවයි.

- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)




Key words 

ස්වාභාවික විපත් රචනා

ස්වාභාවික ආපදා රචනා pdf

ස්වාභාවික විපත් pdf

ලංකාවේ ස්වාභාවික විපත් රචනා

මිනිස් ක්රියාකාරකම් හා ස්වාභාවික විපත්

ස්වාභාවික විපත් අවම කරමු රචනා

ස්වාභාවික විපත් යනු

ස්වාභාවික විපත් හා ආපදා රචනා

ස්වාභාවික ආපදා රචනා

ස්වාභාවික ආපදා රචනා pdf

Swabavika vipath rachana pdf


Comments