Skip to main content

සතර කන් මන්ත්‍රණය විචාරය 06

උම්මග්ග ජාතකය රචනා කිරීමේ දී එහි සාර්ථකත්වයට ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ අයුරු සතර කන් මන්ත්‍රණය පාඩමේ උදාහරණ ඇසුරින් විමසන්න.

14 වන සියවසේ කුරුණෑගල රජකම් කල iv වන පරාක්‍රම බාහු රජ දවස රචනා වූ පන්සිය පනස් ජාතක පොත වනාහි බෝධිසත්ව කතා ඇතුලත් අග්‍රගන්‍ය බෞද්ධ පුස්තකයකි. ජාතක කතා 547 අන්තර්ගත වන මෙම පොතෙහි දීර්ඝතම ජාතක කතාව වනුයේ උම්මග්ග ජාතකයයි. සතර කන් මන්ත්‍රණය පාඩම එම උම්මග්ග ජාතකයෙන් උපුටා ගත් කොටසක් වන අතර උම්මග්ග ජාතකයේ සාර්ථකත්වය සඳහා ජාතක කතා කරුවාගේ භාෂා භාවිතය හේතු වූ ආකාරය මෙසේ විමසා බලමු.

"සුවද තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්භිත නා නා වර්න විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක, මේ මාගේ යසස සන්තක දෝ හෝ යි සිතන්නාහු අනෙක් කෙනෙකුන් සන්තක නොවෙයි: චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තක ය."

ඉහත දැක්වෙන පරිදි වූ ඉතා දිගු වැකි භාවිතය ජාතක කතා කරුවාගේ භාෂා ලක්ෂණය කි. විවිධ සිත් ගන්නා වූ විශේෂණ පද යොදමින් නැවතීමකින් තොරව කියාගෙන යනු ලබන දීර්ඝ වැකි පාඨක හද ආකර්ෂණය කරයි. පාඨකයා කතාව තුලම රදවා ගැනීමට ද එවැනි දිගු වැකි ජාතක කතා කරුවා අපූරුවට භාවිතා කර තිබීම සුවිශේෂී වේ. මිශ්‍ර සිංහල භාෂාවක් තම කතාව තුල යොදාගන්නා ජාතක කතා කරුවා මෙසේ තැනින් තැන දිගු වැකි භාවිතා කරමින් කතාවේ ඇති ඒකාකාරී බව ද නැති කරමින් පාඨක ශ්‍රාවක ජනයා පිනවීමට සමත්කම් පා ඇත.

උම්මග්ග ජාතකය තුල දැකිය හැකි තවත් භාෂා ලක්ෂණයක් වනුයේ අවස්ථානෝචිත උපමා භාවිතයයි. පහත නිදසුන් සමගින් ඒ බව විමසා බලමු.

"සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා.."

පාඨක ශ්‍රාවක ජනයාට වඩා රසවත් කතාවක් ඉදිරිපත් කිරීම පිණිස ජාතක කතා කරුවා මෙවැනි වූ උපමා රාශියක් කතාව තුල අන්තර්ගත කර ඇති ආකාරය සතර කන් මන්ත්‍රණය තුළින් ද පැහැදිලි වේ. සාම්ප්‍රදායික උපමා මෙන්ම ජන වහරින් සාදාගත් උපමා ද උම්මග්ග ජාතකය තුල දැකිය හැකි වේ. කේවට්ට බමුණා හා බ්‍රහ්මදත්ත රජු අතර ඇති වූ සතර කන් මන්ත්‍රණය, ගසක අතු අතරේ සැගව අසා සිටි මහෞෂධ පඬිතුමාගේ ගිරා පෝතකයා, කේවට්ට බමුණාගේ හිසෙහි සහ මුඛයෙහි වර්ජස් දමයි. 

කේවට්ට බමුණාගේ කපටි උපාය සාර්ථක නොවන බව හැගවෙන මේ සිදුවීම රසවත් ලෙස ඉදිරිපත් කර ඇත්තේ "සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන්" යන රසවත් කදිම උපමාව භාවිතය තුළිනි. එවැනි සිත් ගන්නා උපමා භාවිතය නිසා උම්මග්ග ජාතකය සාර්ථක වූ බව කිව යුතුය.

"නැගී සිටුව ! ආචාරිනී, නැගී සිටුව! මම බාලයෙමි , තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි. මා නො වදුව'යි කිය කිය මුඛය හා සමග නළල පෙරල පෙරලා කොරසැඩි බිම උලා .."

බෝධිසත්වයන් වහන්සේ ධර්ම යුද්ධයේ දී තමන් ගෙනා මැණික කේවට්ට ආචාරීන්ට ලබා දෙන ලෙසින් ගොස් එය බිම වට්ටා මැණික අහුලා ගැනීමට සැරසෙන කේවට්ට බමුණාට නැවත නැගිටීමට නොදී නලල හා මුඛය බිමට තද කරයි. මේ සිද්ධිය ජාතක කතා කරුවා සජීවී ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අන්දම නම් එය කියවන පාඨක ශ්‍රාවක ජනයාගේ සිත් තුල එම සිද්ධිය චිත්‍ර රූප මැවෙයි. මෙය වූ කලී ජාතක කතා කරුවාගේ භාෂා භාවිතයේ ඇති දක්ෂතාවය යි.

මෙසේ බලන කල ඉහත නිදසුන් අනුව ද පැහැදිලි වනුයේ දිගු වැකි භාවිතය, උපමා භාවිතය හා සජීවී සිද්ධි නිරූපණය යන භාෂා කෞශල්‍යයන් නිසා වෙන් උම්මග්ග ජාතකය සාර්ථක කර ගැනීමට ජාතක කතා කරුවා දක්ෂ වූ ආකාරයයි.




Comments