Skip to main content

අකුරට යන වෙලාවේ කෙටි කතාව විචාරය 01

අකුරට යන වෙලාවේ නම්, මහාචාර්ය ඒ. වී සුරවීර මහතා විසින් රචනා කරන්නට යෙදුනා වූ  කෙටි කතාව මෙලෙසින් විචාරය කරමු.

පන්ති විෂමතාවය සහිත සමාජයේ නිර්ධන පංතියේ ඉරණම මනාව ප්‍රතිනිර්මාණය කළ අකුරට යන වෙලාවේ කතාව ඒ. වී. සුරවීරයන්ගේ විශිෂ්ට ගණයේ නිර්මාණයකි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියැවුණු මෙම අකුරට යන වෙලාවේ කෙටි කතාව තුළ මධ්‍යම පන්තියක ආකල්ප හා ගැමි ආකල්ප අතර ඇතිවන සීතල යුද්ධයක් ද ගලා යයි.

මහාචාර්ය ඒ. වී. සුරවීරයන් මෙම අකුරට යන වෙලාවේ කෙටි කතාවට අනුභූතිය කරගෙන ඇත්තේ සිය පෞද්ගලික අත්දැකීමක් වීම විශේෂය. මෙම අත්දැකීම තම පරිකල්පන ශක්තිය මෙහෙයවා අපූරු කතා වින්‍යාසයකින් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට මහාචාර්යවරයා සමත්ව ඇත.

අකුරට යන වෙලාවේ කෙටි කතාව ගලා යන පරිදි මධ්‍යම පාන්තික නිවසක පවුලක් සඳහා මෙහෙකාර කමට නිවසේ සිටි නේවාසිකයා දරුවෙකු ගෙන්වා දෙයි. ඇය ටික කලක් නිවසේ දරුවන් සමග කෙළි දොළෙන් කාලය ගත කරයි. ඇයගේ අරමුණ වූයේ පාසල් යාමයි. විවිධ හේතූන් නිසා මෙහෙකාර දරුවා හා ස්වාමි දූ අතර ගැටුම් ඇති වේ. පසුව මෙහෙකාර දැරිය රැගෙන යෑමට ඇයගේ පියා පැමිණි විට ඇය පියා සමඟ යෑමට අකමැති වේ. කෙසේ හෝ රැගෙන යයි. 

මෙම කථා ප්‍රවෘත්තිය කෙටිකතාවක් ලෙස කතුවරයා රසවත් ව අකුරට යන වෙලාවේ යන නමින් ඉදිරිපත් කර ඇත. කතාවේ ගැටුම ඇතිවන්නේ ස්වාමි ඳුව හා මැණිකා අතරයි. එය සංකේතවත් වන ලෙස ඔවුන්ගේ නම් යොදා ඇත. ස්වාමි දුවගේ නම "බද්‍රා" ය. මෙහෙකාරියගේ නම "සුබද්‍රාවති" ය. බද්‍රා යනු යහපත් බවයි. එසේනම් සුබද්‍රා යනු වඩාත් යහපත් බවයි. 

" හොඳ ජෝඩුව. ඔයා බද්‍රා, කෙල්ල සුබද්‍රා"

යැයි කියා සිනාසෙන ස්වාමියා තම බිරිඳ මෙහෙකාර කෙල්ලගේ නමට අකමැති බැවින් "මැණිකා" නමින් අමතන බවට තීන්දුවක් දෙයි. මැණිකා ඉගෙනීමට දක්ෂව සිටි බවද ඇයට දිගටම ඉගෙන ගත හැකි බවට බලාපොරොත්තු ඇතත් ආර්ථික අපහසුතා නිසා, කැදවාගෙන පැමිණි බව ද පුංචිරාල පවසයි.

" පවුලගේ මහන්තත්වේ තිබුණාට, මට පුළුවනැයි මහත්තයෝ ඕවා කරන්න"

පුංචිරාලලා දුගී බාවයේ දුෂ්ට චක්‍රයට හසු වී පීඩා විඳින ආකාරය ඒ වචන කීපය මතින්ම මැනැවින් නිරූපණය කිරීමට අකුරට යන වෙලාවේ කෙටි කතාව දිග හරින මහාචාර්ය ඒ. වී සුරවීරයන් සමත් වී ඇති බව පෙනෙයි. තම බිරිඳත්, දුවත් කැමති කරවා ගැනීමට පුංචිරාල උපායක් යොදා ඇත. එනම් බංගලාවේදී ඉංග්‍රීසි ඉගෙන ගැනීමටත්, බේබිලා සමග පාසල් යාමටත් හැකි බව පැවසීමයි. මැණිකා ඒ ගැන බලාපොරොත්තු වූ බැවින් නිවාඩුවෙන් පසු දරුවන් සමඟ පාසල් යාමට ඇයගේ ද සූදානම් වීමක් පෙනෙයි.

පාසල් පටන් ගන්නට පෙර දින ඇය සුදු ගවුම සෝදා අකුරට යන්නට සූදානම් වන අතර මම ඉස්කෝලේ යන් නැද්දැයි සිරීගෙන් අසයි. දරිද්‍රතාවය නැමැති වතුරට ඇයගේ ඉගෙනීමේ දක්ෂතාවය නැමැති රබර් බෝලය යටවී තිබුණද එය උඩට මතුවී එන ආකාරය අකුරට යන වෙලාවේ කටි කතාවෙන් නිරූපණය කරන්නේ පාඨක හදවත් කම්පනය කරවමිනි. එහි සුබද්‍රාගේ ඉගෙනීමේ ශක්තිය හා ආශාව ස්වාමි ඳූගේ ඊර්ෂ්‍යාවට ලක්වෙයි. ඇය ආපසු ගෙදරම යවයි. එහෙත් වජිරා, දුලානි සහ මැණිකා අතර සබදතාවයෙන් ළමා ලෝකයට පන්ති භේදය බලනොපාන බව මනාව පසක් කර දීමට ඒ. වී සුරවීරයන් අමතක නොකර තිබෙයි. 

මෙහි කරුණාපාල මහත්මියගේ චරිතය මගින් මධ්‍යම පාන්තික කාන්තාවන්ගේ ආකල්ප හා හැසිරීම් මනාව නිරූපණය වේ. මැණිකා පැමිණීමට පෙර මේ නිවසේ සිංහල කවි හඬ නගා තාලයට ගායනා කිරීමක් නොතිබිණි. කවි කීම ගැමි දිවියේ ශාක්‍යතාවයකි. එහෙත් මැණිකා ගේ කුසලතාව ස්වාමි දුගේ ඊර්ෂ්‍යාවට ලක් වීම අවාසනාවකි.

"මැණිකා පහට විතරලු ඉස්කෝලේ ගියේ. අපේ ළමයින්ට තමයි මහ ලොකු කොලේජ් වලට ගියාට මොකොවත් බැරි"

සිංහල කවි ගායනයෙන් මැණිකා පැරදවීමට අපොහොසත් වූ මිසිස් කරුණාපාල තම දරුවන්ට ඉංග්‍රීසි කවි උගන්වයි. එම දරුවන් සමග එක්වී මැණිකාද ඉංග්‍රීසි කවි කියයි. මධ්‍යම පාන්තික කාන්තාවක් තුළ සමලිංගිකයන් කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාව පිළිඹිබු කිරීමට අකුරට යන වෙලාවේ රචනා කරන මහාචාර්ය ඒ. වී සුරවීරයන් මෙහි දී උත්සාහ දරා ඇති බව සිතෙයි.

මැණිකාත්, ස්වාමිඳූත් අතර තිබූ සීතල යුද්ධයේ උච්ච අවස්ථාවක් ලෙස දරුවන් ඉංග්‍රීසි කවි කියා පියාගෙන් අයිස් ක්‍රීම් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාව ගත හැකිය. එහිදී ස්වාමි දුව සාලයෙහි හිද තම දස්කම් සැමියාට ප්‍රදර්ශනය කිරීමට අර අදින විට මැණිකා දොර රෙද්දට මුවා වී බලා සිටි. දරුවන් කවි කියන්නේ ස්වාමිඳූ කියාදුන් ආකාරයට නොව මැණිකා කියාදුන් ආකාරයට ය 😁. දරුවන්ගේ ගායනය කරුණාපාලගේ හාස්‍යයට ලක් වේ.

"අම්මි ඔහොමද ඉගැන්නුවේ"

ස්වාමි දූ අසන්නේ තම ආධිපත්‍යය පිළිබඳ අභිමානයෙනි,

" නෑ හරි එහෙම තමයි මැණිකාත් කියන්නේ"

දැන් දැන් මැණිකා තමාට තර්ජනයක් වී ඇතැයි ස්වාමි දුවට සිතෙයි. දරුවන් පිළිගන්නේ ද මැණිකා නිවැරදි බවයි. මෙසේ ගලා යන අකුරට යන වෙලාවේ කෙටිකතාවේ කතා නායකයින් දෙදෙනාගේ ගැටුම්හි උච්චතම අවස්ථාව දරුවන්ගේ සෙල්ලම් ගෙදරයි. කුහක කමක් නැති දරුවන් මැණිකාට ප්‍රධානත්වය දී ඇයගෙන් ඉගෙනීමට සැරසෙයි. නොසිතූ වෙලාවක එතනට පැමිණි මිසිස් කරුණාපාල මෙතෙක් කල් සිරකර දරා සිටි අදහස් වේල්ලක් කඩා පිටවන වතුර මෙන් පිට කරන්නීය.

"පේනවා නේද මේකිගේ උජාරුව නෝනා, ඉස්කෝලේ නෝනා, ඔලුවටත් අත හෝදන්න.."

මැණිකාට ඇති කනස්සල්ල එම සංපප්පලාප නොව පාසල් යාමට නොහැකි වීමයි. පියා ඇය නැවත කැඳවාගෙන යාමට පැමිණියේ නැවත පාසල් යැවීමටයි. ඒ ගුරුවරුන්ගේ බලකිරීම නිසයි. කථකයාද මැණිකා ආපසු යෑම පිළිබඳ කැමති වුවද මැණිකා ඊට කැමති නැත. මැණිකාට අවශ්‍ය වූයේ ඉංග්‍රීසි සමඟ අධ්‍යාපනය ලැබීමට බේබිලාගේ පාසලට යාමටය. වැඩිහිටියන්ගේ ඇනුම් බැනුම් ගණන් නොගන්නා ඇය දරුවන් සමග ගත කළ ළමා ජීවිතය අත්හැර යාමට කැමති නැත.

අකුරට යන වේලාවේ කෙටි කතාවේ පසුබිම මධ්‍යම පාන්තික සමාජය බැවින් මහාචාර්ය ඒ.වී සුරවීර මහතා ඒ සඳහා උචිත වූ ව්‍යවහාර භාෂාවක් යොදා ගනී. මැණිකාගේ සුදු ගවුම අගනා සංකේතයකි. එම ගවුම බල්ලා නොපෑගීමෙන් ඇයට තවදුරටත් පාසල් යාමට හැකි බව සංකේතවත් වේ.

අකුරට යන්නට කම්මැලි හිතිලා බොරුවට හඬනා පුංචි දූලා පුතාලට අපූර්ව ආදර්ශයක් වූ,  කෙටිකතාව යනු ජීවිතය පිළිබඳ සමීප රූපයක් ය, යන කියමන තහවුරු කළ විශිෂ්ට ගණයේ තවත් නිර්මාණයක් ලෙස අකුරට යන වෙලාවේ කෙටිකතාව අගය කළ හැකිය.

- දිසල්ජා කෝණාර-




Key words 

අකුරට යන වෙලාවේ කෙටි කතාව විචාර

අකුරට යන වෙලාවේ කෙටි කතාව pdf

අකුරට යන වෙලාවේ කෙටි කතාව විචාරය

අකුරට යන වෙලාවේ pdf download 

උසස් පෙළ කෙටි කතා විචාර pdf




Comments