Skip to main content

සිංහල විචාර 60 - උතුරෙන් පද්‍ය රසාස්වාදය 01 | Nuthana padya | OL

උතුරෙන් පද්‍ය පන්තිය රසාස්වාදය 

(විමසා බලමි ඔවුනගෙ හදවතෙහි හැටී-කළුගල් යකඩ නොව උණු වී හැලෙන ඉටී)

නූතන යුගයේ මුල් පරපුරට අයත් කවීන් අතර සාගර පලන්සූරිය මහතා ප්‍රකට කවියකි. මානව දයාව, එකමුතුකම මානව හදවත් තුළ කුළුගැන්වෙන ආයුරින් සිය නිර්මාණ ඉදිරිපත් කරන්නට සාගර පලන්සූරිය මහතා යොමුවිය. "කේයස්" යන අනුවර්ත නාමයෙන්ද මෙතුමා හඳුන්වන අතර "උතුරෙන්" පද්‍ය පංතිය කේයස්ගේ ශ්‍රේෂ්ඨ කාව්‍යයකි. මෙතැන් සිට ඒ පිළිබඳව රසාස්වාදයක යෙදෙමු.

රටක පැවැත්ම රඳා පවතින්නේ එරට වෙසෙන වැසියන් තුළ ඇති එකමුතුකම සහයෝගීතාවය පදනම් කරගෙනය. පුද්ගල සමගිය නොමැති වූ විට ඕනෑම රටක් දිනෙන් දින පිරිහෙන දේශයක් බවට පත්වනු ඇත. එබැවින් රටක ජනතාව එකිනෙකා කෙරෙහි ආදරය කරුණාව දැක්වීම අතිශය වැදගත්ය.

"දකුණේ මෙන්ම උතුරෙත් හිරු නගියි        උදේ
 රන් තරු රිදී තරු හවසට පෙළට               ඇදේ
 හඳ ඇති දාට රසබර රස් දහර                   හඳේ
 පොල් ගස් මුදුනේ මෙන් තල් ගස් මුදුනේ වැදේ
"

සිංහල හා දෙමළ ජනතාව තුළ ඇති අනවබෝධය නිසා උද්ගත වී ඇති දුරස්ථභාවය පිළිබඳ කවියා බලවත් පසුතැවිල්ලට පත්ව ඇත. ඔවුනොවුන් අතර ඇති අනවබෝධය වටහාගමින් මුළු රටම එකම පවුලක් ලෙසට එකතු කිරීම කවියාගේ අපේක්ෂාව වී ඇත. සිය නිර්මාණයේ අත්දැකීම සිංහල දමිළ ජනතාවගේ හදවත් තුළට කාවද්දන්නට කවියා විවිධ වූ පරිසර සංසිද්ධීන් උපයෝගී කරගෙන ඇත. කවියා පෙන්වා දෙන අන්දමට මිනිසුන් අතර ආගම් භේද තිබුණද ස්වභාවධර්මයට එලෙස ජාති භේදයක් නොමැත. උතුරු දේශයට පායන හිරු ඒ ලෙසින්ම දකුණටද පායයි. උතුරේ අහසේ මෙන්ම දකුණේ අහසේ ද දීප්තිමත් තාරකාවෝ දිදුලමින් රටා මවයි. තවද "පොල්ගස" සහ "තල්ගස" යනුවෙන් යොදාගන්නා කවියා එතුළින් සිංහල දෙමළ ජනයා සංකේතවත් කර ඇත. චන්ද්‍රයාගේ රැස් දහර කිසිදු භේදයකින් තොරව එක හා සමානව පොල්ගස් මුදුනේ මෙන්ම තල්ගස් මුදුනේද වැදෙයි. ඒ අනුව සිය අත්දැකීම මානව හදවත් වලට සියුම්ව ස්පර්ශ කරන්නට කතුවරයා දක්ෂ වී ඇති බවට පෙනී යයි. කෙසේ වෙතත් කවියා මේ මඟින් ඉස්මතු කරවන්නේ ස්වභාව දහමට නැති ජාති භේදයක් සිත්හි දරාගෙන අතිශය නූගත් ලෙසට ක්‍රියා නොකරන ලෙසටය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.  


කවියා සිය අත්දැකීම ඉදිරිපත් කිරීම සඳහා නිරවුල් බස්වහරක් යොදාගෙන ඇත.

"තනි බව දැනේ එහි කවුතුක රසය          ඇත
 මා පිට ගෙයක බව සලකනු පුරුදු          නැත
 හැම මොහොතකම ඇති උණුසුම් ගතිය මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත        තෙත"

යථෝක්ත නිදසුන විමසන කල "මා" , "දැනේ" ආදී සරල සුගම බස් වහරක් භාවිත කොට ඇති බව පෙනෙයි. එතුළින් විදග්ධ අධ්‍යාපනයක් නොමැති සාමාන්‍ය ජනයාහට වුවද මෙහි අත්දැකීම අවබෝධ කරගත හැකිය. තවද "කවුතුක" ආදී ගැමි බස් වහරක් ද සංකේතාත්මක බස් වහරක් ද මෙම නිර්මාණයට යොදාගෙන ඇත. සිංහල මෙන්ම දමිළ ජනයාගේ ද ලෙංගතු බව, මෘදු බව ඇති බවට කවියා පෙන්වා දී ඇත්තේ "උගතිමි කිමද මිනිසා සතු දෙනෙත තෙත" යනුවෙන්ය. මේ අයුරින් සංකේත යොදා ගැනීම තුළින් පද්‍ය පන්තියේ අර්ථ රසය තීව්‍ර කරන්නට හැකි වී ඇත.

ඕනෑම පද්‍ය නිර්මාණයක සාර්ථකත්වය උදෙසා එයට යොදා ගත් කාව්‍යාලංකරණ ඉවහල් වනු ඇත.

"ඩහදිය හෙලන අය හිරිහැර අතර       වැටී
 දකුණේ මෙන්ම උතුරෙත් හැමතැනම   සිටී
 විමසා බලමි ඔවුනගෙ හදවතෙහි       හැටී
 කළුගල් යකඩ නොව උණු වී හැලෙන  ඉටී"

"කළුගල් යකඩ නොව උණු වී හැලෙන ඉටී" ආදී රූපක තුළින් මිනිසාගේ හදවතෙහි ඇති තෙතමනය පිළිබඳ ඉස්මතු වෙයි. මිනිසාගේ හදවත කළුගල් යකඩ මෙන් නොව උණු වී හැලෙන ඉටි මෙන් අතිශය සියුම්ය. කුඩා දෙයකට වුවත් අතිශය සංවේදී වන හදවතක් දකුණේ ජනයාට මෙන්ම උතුරේ ජනයාටද ඇති බව මෙමගින් නිරූපණය වෙයි.

මෙලෙස රූපක යොදා ගනිමින් ජනතා හද තුළ එකට එක්ව එකා මෙන් ක්‍රියා කළ යුතුය යන හැඟීම ජනිත කරවන්නට කවියා උත්සාහ කර ඇත. තවද "වටී", "සිටී" , "හැටී", "ඉටී" යනුවෙන් පද ගැලපුම තුළින් පද්‍ය පන්තියේ ශබ්ද රසය දෙගුණ තෙගුණ කරන්න අවකාශය හිමි වී ඇත. 

එපමණක් නොව සිය අත්දැකීම නිරවුල්ව ඉදිරිපත් කරන්නට කවියා යොදා ගෙන ඇත්තේ සඳැස් ආකෘතියයි. පැදි පේලි හතරකින් සමන්විත වීමත් තාලානුරූපීව ගායනා කළ හැකිවීමත් සහ කිසියම් රිද්මයකට අනුව ලියැවී තිබීමත් මෙහි විශේෂ ලක්‍ෂණවේ. පද්‍ය පන්තිය තාලානුරූපීව ගායනා කරන විට එහි අත්දැකීම් පාඨක හදට කාවැදෙනු නොඅනුමානය. සිංහල දමිළ යනුවෙන් භේද ඇති කර ගැනීම අනවශ්‍ය බවද එකට එකතු වී ක්‍රියා කිරීම වැදගත් බවද පාඨක හදට දැනෙනු ඇත.

ඒ අනුව උතුරෙන් පද්‍ය පන්තිය සිංහල දෙමළ හදවත් එකට යා කරන්නට තරම් සමත් වන සාර්ථක නිර්මාණයක් බවට තහවුරු වෙයි.


K. ජස්මිරා තරණි
බෞද්ධ බාලිකා විද්‍යාලය කිරිමැටියාන
 


Comments