ගුත්තිල කාව්‍යයේ උපමා හා රූපකාලංකාර භාවිතය (පුරාතන පද්‍ය)
විචාරය 01
ගුත්තිල කාව්‍ය නිර්මාණය තුළ දී උපමා රූපකාලංකාර යොදා ගැනීමට වෑත්තෑවේ හිමියන් දැක්වූ දක්ෂතාවය අගයන්න.
හෙළයේ විශිෂ්ට කතුවරයාණන් වහන්සේ නමක් වන වෑත්තෑවේ හිමියන් සිය ස්වකීය ජීවිතය තුළ අත් විඳි ගුරු ගෝල ගැටුම නිමිති කොට ගෙන ගුත්තිල කාව්‍ය නම් විශිෂ්ට කාව්‍ය සංග්‍රහය රචනා කරන්නට විය. සලාවත ජයපාල මැතිදුන්ගේ ආරාධනය පරිදි වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වන පද්‍ය සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘතියක් වන ගුත්තිල කාව්‍ය, ගුත්තිල ජාතකය මූලාශ්‍ර කොට ගෙන කෝට්ටේ සාහිත්‍ය යුගයේදී නිර්මිතය. පද්‍ය පන්සිය එකොළහකින් සමන්විත වන මෙම ග්‍රන්ථය අපූරු පද්‍ය නිර්මාණයකි.
මෙකි ගුත්තිල කාව්‍ය රචනා කිරීමේ දී උචිත උපමා රූපකාලංකාර යොදා ගැනීමට වෑත්තෑවේ හිමියන් දැක්වූ දක්ෂතාවය මෙලෙසින් විමසා බලමු.
කාව්‍ය අලංකාර කිරීම සඳහා යොදා ගන්නේ කාව්‍යාලංකාරයි. කවියේ ආභරණ ලෙස කාව්‍යාලංකාර හඳුන්වනු ලැබේ. කාව්‍යාලංකාර ප්‍රධාන කොටස් දෙකකි.
01. අර්ථාලංකාරය
02. ශබ්දාලංකාර
අර්ථය අලංකාර කිරීම සඳහා යොදා ගන්නා උපමා, රූපක, උත්ප්‍රේක්ෂාලංකාර, සංකේත, ස්වභාවයෝක්ති ආදී අලංකාර අර්ථා අලංකාර සේ හැඳින්වේ. ශබ්ධාලංකාර ශබ්දය අලංකාර කිරීමට යොදා ගනී. එළිවැට, එළිසමය, අනුප්‍රාසය, යමක, විරිත් ආදී අලංකාර ශබ්ධාලංකාර ලෙස හඳුන්වනු ලබයි.
" රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින් "
උදේනි පුරවර සැණකෙළි වර්ණනයේ එන මෙම කවිය උපමාලංකාර කවියකි. සුරාවෙන් මත් වූ කෙනෙකුගේ සැබෑ ස්වරූපය අප තුළ චිත්‍රණය කිරීමට සමත් තරම් කවිය මනරම් කවියකි. බීමත්ව භ්‍රමණය වන සිරුරක් ඇති මිනිසුන්ගේ රතු පැහැති දෙනෙත් කවි සිතුවමට නගා ඇත්තේ "සුරත් තඹරු පෙති සෙනෙතින් " යන උපමාව තුළිනි. මත් වූ අයකුගේ රතු පැහැ වූ දෙනෙත් මේ හරහා මනාව ස්පුට වේ. භාවිතා කරන උචිත උපමාව තුළින් අවස්ථාවට උචිත අර්ථය තීව්‍ර කරයි. (එළිවැට, එළිසමය, ව්‍යාකරණ අංග රැකගෙන ඇත.)
"සැරයට ලං නොවන
ලිහිණියෙකු අත් පසුරන
ගනිමී තැත් කරන
එකෙකු මෙන් ගයනා කරමින"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
වෙළඳුන් සතුටු කිරීමට මූසිල දරන උත්සාහය තුළ මෙම පද්‍ය රචනා වේ. ව්‍යංගාර්ථය හා වචනාර්ථය තුළ මනාවූ ගැලපීමක් දක්නට ලැබෙයි. පැරැණි කවි සමයේ එන උපමාලංකාරයක් කවියට යොදා ගනියි. "හීයට ලන් නොවන ලිහිණියකු අත් වලින් අල්ලා ගනිමි" යි උත්සාහ කරන පුද්ගලයෙකු මෙන් ගායනා කරන කල්හි යන වචනයේ අර්ථය දනවන උපමාව කවියේ ව්‍යංගාර්ථය වන මූසිලයන්ගේ අසාර්ථක වීනා වාදනය ඉස්මතු කිරීමට මනා සේ ගැලපේ.
"හිමි තම නැණ නැවින්
සැදී ගී තරඟ බෙහෙවින්
වෙන සිප් මහණ වින්
කළේ ඔහු පරෙතරට මැනවින්"
රූපකාර්ථවත් කවියකි. මේ වූ කලී වෑත්තෑවේ හිමියන්ගේ අපූර්ව වූ කවි ප්‍රතිභාවයේ තවත් එක් නිදර්ශනයකි. ශිල්පය ඉගැන්වීමේදී ගුත්තිල ආචාර්යවරයා තුළ වූ උදාර ගුණයත්, මූසිලයන්ගේ ශිල්ප ඉගෙනීමේ දක්ෂතාවයත් කවිය තුළින් කියැවේ. ( නැවින් - ඥානය නැමැති නෞකාව, ගී තරග - ගී ශිල්ප නමැති තරංග, වෙන සිප් මහණ වීන් - වීනා ශිල්පය නැමැති සාගරය) ආදි වූ අවස්ථානෝචිත රූපක යොදා ගනිමින් කවියා කවියේ අර්ථ රසය තීව්‍ර කරයි.
"පුන් මදාරා මල් දමින් මෘදු
දිගු සුනිල් වරලස ගොතා
මන් මදා කිතුලිය ලෙසින් උර
තුර සරා දිලි මුතු ලතා
මන් නාදාවන මිණි මෙවුල් නද
වෙන නදින් එක් කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව
සත් සැපක් කවරෙක් පතා "
උපමා, රූපකාලංකාර කවියකි. පිපුනා වූ මදාරා මල් මාලාවලින් සිනිඳු වූ දිගු නිල් කෙස් කළඹ ගොතා අනංගයාගේ කීර්ති ලතාව මෙන් දිලිසෙන මුතු වැලින් උර පෙදෙස සරසා ගනිමින්" ආදී වූ උපමා තුළින් මෙම අවර්ණිත අවස්ථාව මනා ලෙස පාඨකයාට රස විඳීමට හැකිය.
"දිය දිය ගොස ඵල කරමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය වෙණ නද එන මෙන් ගෙන මිණි සිය සිය ගුණයෙන් වෙන නද නික්මිණි"
පෙදෙ විරිත හෙවත් වෙන විරිත ලෙස හැඳින්වෙන මෙම පද්‍ය පදයක සතර තැනින් (මාත්‍රාවෙන්) විරාමය හෙවත් යතිය ඇතිවන සේ සොළොස් මාත්‍රාවකින් රචිත පද්‍ය පන්තියකි. මෙම වීනා තරගයේ ගුත්තිලයන්ගේ වීනා වාදනයේ ප්‍රබල බව කියාපෑමට මෙම අවස්ථානුකූල වර්නණය ඉතා යෝග්‍ය වේ. කවියා යොදාගන්නා ශබ්දාලංකාර ශබ්ද මාධූර්ය දැනවීමට ඉතා අගනේය.
උක්ත පැහැදිලි කිරීම මඟින් පැහැදිලි වන්නේ උචිත උපමා, රූපක, කාව්‍යාලංකාර යොදා ගැනීමට වෑතෑවේ හිමියන් දැක්වූ දක්ෂතාවය අතිමහත් බවය.
H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
විචාරය 02
උපමා හා රූපකාලංකාර භාවිතා කිරීමේදී ගුත්තිල කතු වෑත්තෑවේ හිමියන් සතු වූ පූර්ණ කවිත්වය නිදසුන් මගින් පෙන්වා දෙන්න.
ප්‍රතිභා පූර්ණ කවිත්වයෙන් හෙබි කවීන් තම නිර්මාණ රසවත්ව රසිකයා ඉදිරියේ විවරණය කිරීමට විවිධ කාව්‍ය උපක්‍රම උපයුක්ත කරගනු ලබයි. ඒ සඳහා නිර්මාණකරුවා සෑම විටම ප්‍රමුඛත්වය දී තම නිර්මාණය ප්‍රශස්ත තැනකට ගෙන ඒමට උත්සුක වේ. එමෙන්ම තම නිර්මාණයේ රසාලිප්ත බව පරිපූර්ණත්වයට පත් කිරීමට මෙන් අවස්ථානෝචිතව උපමා හා රූපක අලංකාර යොදා ගනු ලබයි. සැබැවින්ම කාව්‍ය නම් ශරීරය සරසන ආභරණ පරිද්දෙන් වෑත්තෑවේ හිමියන් උපමා අලංකාර යොදා ඇති අයුරු විමසා බලමු.වෑත්තෑවේ හිමියන් විවිධ අවස්ථාවලදී ඖචිත්ත ලෙස උපමා සහ අලංකාර උපයුක්ත කරගත් බව විවිධ වර්ණනා තුළින් පැහැදිලි වනු ඇත. එනම් උදේනිපුර සැණකෙළිය, සුරඟන රැඟුම් ගුත්තිල මූසිල හමුවීම, ගුත්තිල මූසිල වීණා වැයුම ආදී අවස්ථාවන් හි දී අපූරුව උපමා රූපක අලංකාර ගලපාගෙන තිබේ. ඒ අනුව උදේනිපුර සැණකෙළි වර්ණනයේදී සුරා බී මත්වූ අයෙකුගේ ස්වරූපය ඉතා තාත්වික ලෙස රසිකයා හමුවේ කදිමට චිත්ත රූපයට නංවයි. එයට දස් දෙන්නක් ලෙස,
"රැගත් සුරා පිරූ වි තින්
සුරත් තඹරු පෙති සෙ නෙ තින්
පුවත් නොදැන බමණ ග තින්
නටත් අයෙක් සුරා ම තින් "
මෙම පැදිය විමසා බලන කල එයින් ප්‍රකාශ වන්නේ සුරාව පිරුණු බදුන් අතින් ගත් සුරා සොඬුන් අවට සිදුවන්නා වූ කිසිම දෙයක් පිළිබඳ ව අවබෝධයක් නැතිව එහෙට මෙහෙට වාරු නැතිව තම ශරීරය ඍජුව තබාගත නොහැකිව කිසිම අරමුණක් නොමැතිව නටන ආකාරයයි. ඒ අතරම ඔහු අධික ලෙස බීමත්ව සිටින බව පැවසීමට ඔහුගේ දෙනුවන් රන් තඹරු නැතහොත් රතු නෙළුම් පෙත්තකට සමාන කර දක්වා ඇත. සත්‍ය වශයෙන්ම අධික ලෙස මදුවිත පානය කළ අයෙකුගේ දෑස් රතු පැහැ ගැන්වෙනු අපි ද දැක ඇත්තෙමු. එය චිත්‍ර රූප ගැන්වීමට හැකිවන පරිද්දෙන් කවියාගේ ප්‍රතිභාව විෂද කරමින් අපූරු උපමාවක් තැබීම වඩාත් අගනේය. එයට දෙස් දෙන්නක් ලෙස,
"මත් වූ නෙත් රත් නෙළුමක පෙති මෙන්"
දැක්විය හැකිය. මෙම උපමාව කවි සමයේ සුලභ උපමාවක් වූවද මෙම පැදිය තුළ මැනවින් ස්ථානගත කර ඇත්තේ කවියාගේ නිර්මාණශීලීත්වය ප්‍රකට කරමිනි. සැබැවින්ම කවි සමයේ උපමා රූපක මෙන්ම කාව්‍යමය උපමා රූපකද යොදා ගනිති. එහි දෝෂයක් නොමැති බව විචාරක මතයයි. නමුත් වඩාත් වැදගත් වන්නේ යොදාගන්නා උපමා අලංකාරවල ඖචිතය ස්වභාවයයි.
වෑත්තෑවේ හිමියන්ගේ උපමා අලංකාර භාවිතයෙහි ප්‍රතිභාව තවදුරටත් විමසා බලන කල නළගන රැගුම් තුළින් කදිමට හෙළිවේ. ගුත්තිල පඬිතුමාගේ වීණාවාදනයේ මිහිරියාවෙන් උද්දාමයට පත් දිව්‍යාංගනාවන් මනරම් ලාස්යය නර්තනයක යෙදුණු ආකාරය සහෘද මනසේ සජීවී නර්තන අවස්ථාවක් සිත්තම් කරයි. එයට දෙස් දෙන අවස්ථාවක් ලෙස,
"රූ රැසේ අදිනා ලෙසේ අත්
ලෙලදිදී විදුලිය ප බා
රන් රසේ එක් වන ලෙසේ මවණ
නාද' නු පා තබ ත බා
කම් පසේ සැර දෙන ලෙසේ දෙස
බල බලා නෙතගින් ස බා
මම් කෙසේ පවසම් එසේ වර සුර
ලදුන් දුන් රඟ සො බා"
මෙම පද්‍යයෙන් විස්තර වන්නේ රූප රාශියක් අඳින්නා මෙන් දිව්‍යාංගනාවන් තම නර්තන ලීලාවෙන් විදුලිය සේ ගමන් කරන ආකාරයයි. එමෙන්ම ඔවුන්ගේ පා තබන තාල කතු හිමියන් සමාන කර දක්වන්නේ රත්තරන් හා රසදිය සම්මිශ්‍රණය වන්නාක් මෙනි. සැබවින්ම එම උපමාවන් දෙක අවස්ථෝචිතය. එනම් සුදුසු පරිදි ගලපා ඇති බව කිව යුතුය. එම උපමා නම් "රූ රැසේ අදිනා ලෙසේ" , රන් රසේ එක්වන ලෙසේ" මේ ආකාරයට නුපුන් සඳ විරිතට අනුව රචිත එම පැදිය දෙව්ලියන්ගේ ලාස්සය නර්තනයක අපූර්වත්වය ශක්‍ර දෙවියන් ඉදිරියේ කෙසේ නම් පවසන්නද යනුවෙන් කතු හිමියන් එම පැදියෙන් තවදුරටත් පැහැදිලි කරයි.
වෑත්තෑවේ හිමියන් ගුත්තිල පඬිතුමාගේ මධුර මනෝහර වීණාවාදනය ඇසීමට පැමිණි ජනයාගේ නෙත් සිත් වශී කරන අන්දමින් අහසින් බැසගත් දෙව්ලියන් රගදෙන්නේ කෙසේදැයි අපූර්ව උපමාවකින් කාව්‍ය පබඳා ඇත්තේ මෙසේය.
"දෙව්ලියන් සැමට දිස් වූයේ විදුලි එළිය සිය දහස් වරක් නැගෙන්නාක් මෙනි"
එම ගුත්තිල පඬිතුමාගේ වීණාවාදනයට ජනයාගේ සිත් වශී කරන අන්දමට දෙව්ලියන් රඟ දක්වන ආකාරය සහෘද මනසේ චිත්ත රූප මවා යථාර්ථයක් ලෙස සිත්තම් කරයි. එයට දෙස් දෙන්නත් ලෙස,
"යට සිත් ලන බැල්මෙන් සුර විල සී
වෙසෙසින් දනමන මත්කර එක සි
අහසින් බැස රඟ ගත් රඟ කෙලෙ සි
දිසි මෙන් විය විදුලිය සියදහ සී"
වෑත්තෑවේ හිමියන් ඇතැම් විටක කාව්‍ය උපමා ලබා ගනිමින් ඖචිත්තය සිද්ධාන්තය මනා ලෙස රකින ලද කවියෙකු ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ගුත්තිල මූසිල වීණා වාදනයේ ප්‍රබලත්වය හා දුබලත්වය විවිධ අවස්ථාවන්වලදී විවිධ උපමා භාවිත කරමින් විවරණය කරනු ලබයි. එයට දෙස් දෙන්නක් ලෙස,
"සැරයට ලං නොව න
ලිහිනියෙකු අත් පයුරෙ න
ගනිමියි තැත් කර න
එකකු මෙන් ගායනා කෙරෙමින"
මෙම පැදියේ වාච්චයාර්ථය විමසන කළ මෙසේය. "හීයට ලං නොවන ලිහිණියෙකු අත් තලින් අල්ලා ගනිමි. උත්සාහ කරන්නෙකු මෙන් ගායනා කරන කල්හි" යන්නයි. සැබවින්ම මෙම උපමාව පැරණි කවි සමයේ හෝ සමකාලීන නිර්මාණයන්හි දකින්න නොලැබෙන නවතම උපමාව කි.
සැබැවින්ම එම කවියෙන් වයංගාර්ථව ඉදිරිපත් කරන්නේ හීයකින් විද අල්වා ගැනීමට නොහැකි වන පක්ෂියෙකු අතින් අල්ලා ගැනීමට ගත් ප්‍රයත්නයක්ය. සැබැවින්ම එය නිශ්ඵල කාර්යයකි. යමෙකුට ඊතලයකින් විද අල්ලා ගත නොහැකි සත්වයෙකු දෑතින් කෙසේ නම් අල්ලා ගනී ද?
තවත් අවස්ථාවකදී වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනයේදී ඖචිත්‍ය රූපකාර්ථවත් යෙදුම් භාවිත කළ බවට කදිම නිදසුනක් දැක්විය හැකිය. එනම් යම් තැනැත්තෙකුට විශේෂයෙන් සූදානම් කර සියලු සැප සම්පත් සමගින් මුළු රටම තෑග්ගක් වශයෙන් ලබා දුන්නද සතුටු නොවන අයෙකුට සතුටු පඬුරු වශයෙන් ගමක් ලබාදීම ඉතා නිශ්ඵල කාර්යයකි. ඒ බව කතු හිමියන් මෙසේ දක්වා ඇත.
"වෙසෙසින් නියම කො ට
දුන්නත් ඉසුරු මුළු ර ට
තුටු නොවන එකතු ට
ගමක් දෙන මෙන් සතුටු පඬුර ට "
තවදුරටත්ව වෑත්තෑවේ හිමියන් ඖචිත්‍ය රූපකාලංකාර භාවිතා කළ බවට කදිම නිදසුනක් මෙසේ දැක්විය හැකිය.
" හිමි තම නැණ නැ වීන්
සැදි ගී තරග බෙහෙ වීන්
වෙණ සිප් මහණ වීන්
කෙළේ ඔහු පරතෙරට මැන වීන්"
මෙම පැදියේ අර්ථය වන්නේ "හිමි ගුත්තිල පඬිතුමා" එනම් ගුත්තිල පඬිතුමා තමාගේ ඥානය නමැති ගී තරංගයෙන් යුත් වීණා ශිල්පය නමැති සාගරයෙන් ඔහු මැනවින් පර තෙරට පත් කළේය යන්නයි. අවස්ථානෝචිතව මෙහි යෙදූ රූපකාර්ථය ඉතා අගනේය. එනම් "නැණ නැව්" යන රූපකාර්ථය මූසිල ශිල්ප පරතරයට පත් කිරීමට මුල් වූ සාධකයයි.
සැබැවින්ම එය ගුත්තිලාචාර්යවරයාගේ දක්ෂතාවය ධ්වනිත කරවයි. සත්‍ය වශයෙන්ම වීනා ශිල්පය ගී තරංග බහුලත්වයෙන් යුත්ත එකිනෙකාට බද්ධව සුසලිතව ඇදී යන මාධූරයෙන් පරිසමාප්ත සියුම් ශිල්පයකි. වෑත්තෑවේ හිමි එය කාවයට නංවා ඇත්තේ සමුද්‍රයේ රැළිපිට රැලි නැගෙන රළ පෙළ සේ රූපකාර්ථයක් දනවමිනි. මෙය කෙතරම් රූපකාර්ථ යෙදීමක්ද. සැබැවින්ම වීණා ශිල්පයේ පරතෙරක් නොමැත. එය සප්ත මහා සාගරය වැනිය. මේ සියල්ල වෑත්තෑවේ හිමියන්ගේ අනූපමේය කවීත්වය ප්‍රකට නොකරයිද?
මේ ආකාරයට ගුත්තිල කතු හිමියන් ගුත්තිල කාව්‍ය රචනයේදී අවස්ථානෝචිතව උපමා හා රූපකාලංකාර භාවිත කල බව මැනවින් පැහැදිලි වේ.
D.G කවීෂා දෙව්මිණී
උසස් පෙළ කලා අංශය
ර/පොහොරබාව මහා විද්‍යාලය
වැඩිදුර අධ්‍යයනයට,
Key words
ගුත්තිල කාව්ය උපමා හා රූපකාලංකාර භාවිතය
උපමා හා රූපකාලංකාර ගුත්තිල කාව්‍ය
ගුත්තිල කාව්ය විචාර pdf
ගුත්තිල කාව්ය විචාර උසස් පෙළ pdf download
ගුත්තිල කාව්ය වර්ණනා pdf
ගුත්තිල කාව්ය උපමා භාවිතය
ගුත්තිල කාව්ය උසස් පෙළ
Guththila kawya upama rupaka
Guththila kavya vichara livima
Guttila kawya vichara usaspela
A/L vichara guththila kawya pdf
Comments