මඟුල් ගීය රසාස්වාදය (හෙළ හවුලේ කවි)
හෙළ හවුලේ භාෂා රීතිය පොදු රසික හදවතට වඩාත් සමීප කරවීමට කටයුතු කළ අරිසෙන් අහුබුදු ශූරීන් විසින් හැටේ දශකයේ මුල් භාගය තුළ රචනා කරන්නට යෙදුණු පරෙවිය පද්‍ය සංග්‍රහය තුළ අන්තර්ගත විචිත්‍රවත් පැදි පෙළක් ලෙස මගුල් ගීය පද්‍ය පන්තිය හැදින්විය හැකිය. වසන්ත සමය උදාවත්ම ඇතිවන පාරිසරික ප්‍රබෝධයට සමගාමීව පොදු මිනිස් වර්ගයා තුල ඇතිවන්නා වූ උද්යෝගයත් වසන්ත සමය හා බැදුණු සංස්කෘතික අංගෝපාංගත් හේතුවෙන් බක් මාසය පුරාවටම ප්‍රීති සුඛය පැතිරෙන ආකාරය රසිකයා තුල චමත්කාරයක් ජනනය වන ආකාරයට ඉදිරිපත් කිරීම කවියාගේ අරමුණ වී ඇත.
කවියා ස්වකීය කාව්‍යානුභූතිය රසවත් නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමට උපයුක්ත කොට ඇත්තේ ධ්වනිතාර්ථවත් මටසිළුටු භාෂා රීතියකි. විශේෂයෙන්ම පාලි සංස්කෘත ආදී භාෂාවලින් සිංහලයට එක් වූ තත්සම පද බැහැර කොට ඒවායෙන් බිදගත් තත්භව පද හෝ නිෂ්පන්න පද පමණක් තෝරාගෙන කවියා ස්වකීය නිර්මාණය සදහා භාෂාව යොදාගෙන ඇති බව පෙනේ.
එය හෙළ හවුලේ කවීන්ගේ නිර්මාණවල දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍යතා ලක්ෂණයකි. "ඇ" කාරය භාවිතා කිරීමද හෙළහවුලේ සෙසු කවීන්ගේ නිර්මාණ වල සේම අහුබුදු කවියාගේ නිර්මාණ වල ද දක්නට ලැබේ.
මී වදැවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී"
කවියාගේ සංකල්පය අනුව වසන්තය පැමිණීමෙන් ලොවම උයනක් බවට පත්වී ඇත මල් ගොමු තුළින් මීමැසි නාදය ඇතිරීම මී වදවල පැණි පිරවීම දෙසවන් පිනවන්නා වූ පක්ෂීන්ගේ හඩ නැගීම ආදී පාරිසරික සංසිද්ධි ඇසුරින් පාඨකයා තුළ භාවමය ප්‍රබෝධයක් ඇති කිරීමට කවියා උත්සුක වී ඇත ඒ සඳහා කවියා භාවිත කොට ඇත්තේ ද ඉතා සරල සුඛ නම්‍ය භාෂාවකි.
කිසියම් සංසිද්ධියක යථා ස්වභාවය දැන දැනම එය වෙනත් ආකාරයකින් කල්පනා කිරීමට හැකි නම් එසේම අචේතනික වස්තූන් සචේතනිකව දැක්වීමට කවියා සමත් වන්නේ නම් එය උත්ප්‍රේක්ෂාලංකාරයකි. අහුබුදු සූරීන්ගේ මෙම පැදි පෙළ එකී අලංකාර ක්‍රමවේදයෙන් විපුල ඵල ලබා ගත් නිර්මාණයකි.
යොවුනන් සිත් ඉන් බැඳලන්නී
දෙක දෙක එක් කැර ඈදන්නී
නොමිලේ කපු කම් කරවන්නී"
ඉහත පද්‍ය තුළින් වසන්ත සමයේ සිදුවන සුවිශේෂී සංසිද්ධියක් විවරණය කිරීමට කවියා උත්සුක වී ඇත. නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර ප්‍රේමණීය බැඳීම ඇති වීම වසන්ත සමයේදී සිදුවන බව කවියා ඉතා අභිරුචියෙන් යුක්තව වර්ණනා කර ඇත.
අවුරුදු උත්සව ආදී අවස්ථාවන්හිදී කිසිම භේදයකින් තොරව යෞවන යෞවනියන් ඒකරාශි වන අතර ඔවුන්ගේ හැකියා කුසලතා එළිදැක්වීමට ද එවැනි අවස්ථා මහඟු තෝතැන්නක් බවට පත්කර ගනී. එබඳු මොහොතක ප්‍රේම සබඳතා වල මූල බීජ රෝපණය වීම ද අතිශය සාමාන්‍ය සිදුවීමකි. එබැවින් මංගල කටයුතු වෙනුවෙන් කපු මහත්වරුන්ගේ සහාය අනවශ්‍ය බව කවියා පවසයි. මෙහිදී කවියා දකින්නේ මෙම ක්‍රියාවලිය වසන්ත සමය විසින් සිදුකරන ලද්දක් සේ ය. මෙහිදී කවියා සපයන්නී, බැඳලන්නී, ඈදන්නී, කරවන්නී ආදී වශයෙන් කවියා වසන්ත ඍතුව වෙත ස්ත්‍රිත්වයක් ආරෝපණය කරමින් එකී අවස්ථාව අපූර්වාකාරයෙන් විවරණය කරයි.
ස්වකීය දැකීම පාඨකයා වෙත සූචනය කිරිම පිණිස කවියා වහල් කොට ගෙන ඇත්තේ එළිසමය සුරැකී සිව්පද ආකෘතියයි. මාත්‍රා දාහතරකින් යුතු සුගායනීය විරිතක් භාවිතා කරමින් ශබ්ද මාධූර්යය වැඩීම කෙරෙහි ද අවධානය යොමු කරමින් කවියා පද්‍ය පබදා ඇත.
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරිබත උයවන්නී"
පූර්වෝක්ත පද්‍ය ආදී අවස්ථාවන් තුළින් ජනිතවන උද්යෝගීමත් බවත්, ජංගමශීලී බවත් කුළු ගැන්වීම සඳහා කවියා යොදා ගත් විරිතෙන් ලබාගෙන ඇති ආලෝකය අතිමහත්ය.
කවියා විවේක බුද්ධියෙන් යුතුව ස්වකීය කවි බස මැනවින් හසුරුවා තිබීම හේතුවෙන් උත්පාදනය වන ජංගමශීලී ඉන්ද්‍රිය රූප කවියේ රසභාව වර්ධනය කිරීම සඳහා දක්වන්නේ ප්‍රබල දායකත්වයකි. කජු ගස්වල පුහුලං ඉදීම, වවුලු පොළවල් තැන් තැන ඇති වීම, කජු ඇහිලීම සදහා ගැමි දරුවන් යොමුවීම ආදී එකිනෙක බද්ධ වූ සිදුවීම් සජීවී ආකාරයට චිත්‍රනය කිරීමට කවියා සමත් වී ඇත.
සොරුන් බවට වවුලන් ලන්නී
නෙතැන වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී"
වසන්ත සමය වෙත ස්ත්‍රිත්වයක් ආරෝපණය කරමින් සෑම පද්‍ය පාදයක්ම ස්ත්‍රී ලිංග ආඛ්‍යාත පදයකින් අවසන් කරමින් අරිසෙන් අහුබුදු සූරීන් විසින් රචිත මෙම පැදිපෙල දිනෙන් දින වියැකී යන ග්‍රාමීය සංස්කෘතික අංග සිංහල බස පවතින තාක් ලියා තැබූ රසවත් වූත්, හරවත් වූත් අපූර්ව පද්‍ය නිර්මාණයක් ලෙස අගය කල හැකිය.
Comments