ගුත්තිල කාව්‍ය මනා පුද්ගල වර්ණනයෙන් ද මනා ස්ථාන වර්ණනයෙන් ද කතුහිමියන් රචනා කර ඇත. සුදුසු නිදසුන් දක්වා අදාල වර්ණනා භාවිත කරමින් විමර්ශනය කරන්න.
හොඳම වචන හොඳම පිළිවෙලට තැබීම කාව්‍ය වේ. S.T කොල්රිජ් යන කවියා පවසා ඇත. මේ අනුව යමින් ශ්‍රී ලාංකේය පුරාතන පද්‍ය සාහිත්‍ය තුළ එන බොහෝ කවිහු කවි නිර්මාණය කළහ. ඒ අතරේ සුවිශේෂ කවියකු ලෙස වෑත්තෑවේ හිමි නම් කළ හැකි අතර කෝට්ටේ සාහිත්‍ය යුගය තුළ ගුත්තිල ජාතකය පදනම් කරගනිමින් උන්වහන්සේ විසින් ලියන ලද ගුත්තිලය සුවිශේෂ විය. මෙතුළින් මනා පුද්ගල වර්ණනයන් ද මනා ස්ථාන වර්ණනයන් ද ඉදිරිපත් කරමින් ගුත්තිලය රචනා කර ඇති බවට උදේනිපුර වර්ණනයෙන් ද ගුත්තිල පඬිවරයා පිළිබඳ වර්ණනයෙන් ද මනාව පැහැදිලි වේ.
ගුත්තිල කාව්‍යයේ ප්‍රධානතම වර්ණනය ලෙස උදේනිපුර සැණකෙළි වැනුම හදුන්වාදීම නිවැරදිය. සජීවී අයුරින් ඉදිරිපත් කරමින් බරණැස සිට උදේනිපුරයට වෙළදාමේ ගිය පිරිස් මෙහි විසිතුරු අලංකාරය දකින අයුරු වෙළදුන්ගේ ප්‍රකාශන වශයෙන්ම උදේනි පුර වැනුම තුළ ගෙන හැර දක්වා ඇත.
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹතුරු
තබවා පුන්කුඹු විසිතුරු"
මෙම වර්ණනයෙන් විස්තර කෙරෙනුයේ උදේනි පුර වැසියන් සැණකෙළි සදහා සූදානම් වූ ආකාරයයි. එසේම උදේනි පුරයට ආගන්තුක වෙළදුන් දුටු චමත්කාරය යි. මාවතක් පාසා සුදු වැලි අතුරා මං මාවත් දෙපස අලංකාර කොඩි දජ වලින් සරසා වැසියන් උත්සව සැණකෙළි සදහා වන සූදානම දක්වා සිටී. තව දුරටත් උදේනි පුර සෞභාග්‍යය ද විදහා දක්වමින් සැණකෙළියට සූදානම් වන ජනයා තම නිවෙස් ඉදිරිපිට කෙසෙල් ගස් සිටුවමින් පුන්කලස් තබමින්ද සැරසිලි කරනා ආකාරය ද දක්වා ඇත. සැණකෙළි සදහා ලහි ලහියේ වන්නා වූ සූදානම සදවා, බඳබා .. ආදී ලෙස ලඝු අකුරු දෙකක් හා ගුරු අකුරක් සමග පද ආරම්භ කිරීම තුළ ඇති වූ ශබ්දත් ධ්වනිය මගින් පාඨකයාට ගෝචර වන ලෙස වර්ණනය කර ඇත.
සල්ලාල ජනයාට විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි නිදහස් සමෘද්ධිමත් වටපිටාවක් උදේනි පුර විය. විනෝද වෙමින් සතුටු වන ඇතැම් පිරිස් මධුවිත පානය කරමින් ද නැටුම් නටන ආකාරය සජීවී චිත්ත රූප මැවෙන අයුරින් පාඨකයා හමුවේ තැබීමට ගුත්තිල කතුවරයා සමත් කම් පා ඇත.
සුරත් තබරු පෙතිසේ මතින්
පුවත් නොදැන බමණ ගතින්
නටත් අයෙක් සුරා මතින් "
සුරාව පිරවූ භාජන අතින් රැගෙන තුටු වන මත් වූ පිරිමින්ගේ ඇස් ඉතා රතු පැහැ වී ඇත්තේ යම් සේ ද පවසන ගුත්තිල කවියා එය රත් පැහැ නෙළුම් මල් පෙති වලට සමාන කරයි. සුරා මතින් මත් වූවන් යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව එහෙ මෙහෙ කැරකෙමින් නටනා ආකාරය ප්‍රබල ලෙස චිත්ත රූප මවමින් මෙහිදී විස්තර කරයි.
මෙලෙසින් දිවයන උදේනිපුර වර්ණනය මගින් ගුත්තිල කවියා ස්ථානීය වර්ණනා සිදු කලේ යම් සේ ද යන්න මැනවින් ගම්‍ය මාන වේ.
ගුත්තිල කාව්‍ය තුල හමුවන පුද්ගල වර්ණනා සැලකීමේ දී ගුත්තිල ඇදුරු වැනුම සදහා සුවිශේෂ ස්ථානයක් හිමි වෙයි. යම් තැනක අතිශෝක්තියෙන් ද යම් තැනක ස්වභාවෝක්තියෙන් ද විස්තර වන මෙම වැනුම උපමා රූපකා දී අංග තුළින් ද ඔපවත් වී ඇත.
විදුමිණ රුවන කර ධුත්
පසිඳු මත ධන වත්
ගදෙවි කුලයක ඉපද බෝසත් "
රාජ පරම්පරාවේ නොමද ආදරය ගෞරවය ලබමින් විද්‍යාව නම් මැණික් ආකාරයක් බඳු වූ ප්‍රසිද්ධ ගාන්ධර්ව කුලයක උපන් උක්ත ගුත්තිල ඇදුරිදු නම් අප මහා බෝධිසත්වයන් වහන්සේම ය. මෙසේ ඉතා සාරවත් ආරම්භයක් ගනිමින් ගුත්තිල කවියා ගුත්තිල වර්ණනය ඉදිරියට රැගෙන යයි.
ගුරුන් පෙම් කොඳ තරි ඳුව
දිසි පින්පිඬුව බ ඳුව
සොඳුරු ගුත්තිල නමින් පසි ඳුව"
කුමාර කල්හි එනම් කුඩා කල කලයුතු කෙලි සෙල්ලම් කරමින් ගුරුන්ගේ ප්‍රේමය නැමති කුන්ද මල පුබුදුවන සඳ වූ ගුත්තිල කුමාරයා පින් පිඬක් වැනිය. පින් සදහා භෞතික දෘශ්‍ය රූපයක් වේ නම් එය මෙසේ යැයි ගුත්තිල කුමාරයා පෙන්වීමට හැකි බව මෙහිදී ගුත්තිල කවියාගේ අදහස වන්නට ඇත. ගුත්තිල යන බෝධිසත්ව චරිතය උපරිම ලෙස වර්ණනාවට ලක් කරන මෙවැනි අවස්ථා කීපයක්ම ගුත්තිල වැනුම තුළ දැක ගත හැකිය.
එසේ නම් යථෝක්ත සනිදර්ශන හා සවිස්තර මගින්ද සනාථ වන පරිදි කතු හිමියෝ පුද්ගල වර්ණනයෙන් මෙන්ම ස්ථානීය වර්ණනයෙන් ද යුතුව ගුත්තිල කාව්‍ය රචනා කර ඇති බව ගම්‍යමාන වේ.
- අමර්තා දෙව්මිණී -
Comments