උම්මග්ග ජාතකයේ එන සතර කන් මන්ත්‍රණය කතාව පහසුවෙන් තේරුම් ගැනීම පිණිස සරල ලෙස මෙසේ ඉදිරි පත් කරමි.
විචාර සදහා අවශ්‍ය උපුටා ගැනීම් මෙමගින් ලබාගත නොහැකිය. තේරුම් ගැනීමට සහ රස වින්දනය සදහා පමණි.
සතර කන් මන්ත්රණය
එකල උත්තර පඤ්චාල නුවර බ්‍රහ්මදත්ත රජ සමයෙහි රජ්ජුරුවන්ගේ අනුශාසක තනතුර දැරුවේ කේවට්ට නම් බමුණෙකු ය. එක් දිනෙක උදෑසන අවදි වූ කේවට්ට බමුණා තමා සතු සම්පත් දැක සතුටුව මෙම සම්පත් ලබාදුන් චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව මුළු දඹදිවටම අගරජු කල යුතු යැයි සිතුවේය. එවිට තමාට ද මුළු දඹදිවටම අග්‍ර පුරෝහිත විය හැකි බවද සිතන්නේ ය. එසේ සිතා රජ්ජුරුවන් වෙත ගොස් රහසක් කීමට ඇති බව පැවසුවේය. එවිට රජතුමා "කියව ආචාරිනී" කීවද කේවට්ට බමුණා පවසන්නේ ඇතුල් නුවර රහස් කිව නොහැකි බවත් මඟුල් උයනට යා යුතු බවත්ය.
මඟුල් උයන වටේට රාජ පුරුෂයින් රදවා මඟුල් උයනේ ඇති සල් ගසක් යටට පැමිණි රජ්ජුරුවන් හා කේවට්ට බමුණා සිතන්නේ එතැන සිටින්නේ ඔවුන් දෙදෙනා පමණක් බවයි. නමුත් සල් ගහේ අතු අතර සැඟවී මහෞෂධ පඩිතුමාගේ ගිරා පෝතකයන් මොවුන් දෙදෙනාගේ කතාව අසාගෙන සිටින්නේ ය.
රජතුමාගේ කන තමා දෙසට යොමු කරන ලෙසත් මෙම කතාබහ සතර කන් මන්ත්‍රනයක් විය යුතු බවත් අප දෙදෙනා හැර වෙන කිසිවෙකු දැන නොගත යුතු බවත් පවසා කේවට්ටයින් තමාගේ අදහස රජතුමාට මෙසේ පැවසුවේ ය.
රජතුමනි පළමුව අපගේ සේනාව රැගෙන ගොස් කුඩා රාජ්‍යයක් වට කර ගන්න වා. පසුව මා කුඩා රහස් දොරකින් ඇතුලට ගොස් එම රාජ්‍යයේ රජ්ජුරුවෝ සමග මෙසේ කථිකා කර ගන්නවා. රජතුමනි යුද්ද කර ඵලක් නැහැ. අපගේ සේනාව විශාල හෙයින් ඔබ අනිවාර්යයෙන් පරාජය වෙනවා. නමුත් ඔබ අපට යටත් වේ නම් ඔබගේ රාජ්‍යය ඔබට ම පාලනය කිරීමට අපි ඉඩ ලබා දෙනවා.
කේවට්ටයා මෙසේ පවසා, එම රජතුමා අපේ යෝජනාවට අකැමැති වුවහොත් යුද්ධ කර ඔහු පරාජය කොට හෝ ඔවුන්ගේ සේනාද අප අතට ගෙන තවත් කුඩා රාජ්‍යයන් වෙත යනවා. පෙර පරිදිම එම රාජ්‍යයේ බලය ද ලබාගෙන තවත් රාජ්‍යයකට යනවා. මෙසේ දඹදිව සියලුම රාජ්‍යයන්ගේ සහාය අප වෙතට ගෙන, පසුව ඒ සතුට සැමරීමට බව පවසා අපගේ මඟුල් උයනේ සාදයකට සියලු රජ වරුන් කැදවා ඔවුන්ට විෂ දැමූ රා පානය කිරීමට දී සියලු රජවරුන් මැරුණ පසු ඔබ වහන්සේ මුළු දඹදිවටම අග රජ වන බව පවසනවා.
රජ්ජුරුවෝද "යහපත ආචාරිනී" යැයි පවසා කේවට්ට බමුණාගේ යෝජනාවට එකග වෙනවා.
මෙම රහස අසා සිටි ගිරා පෝතකයා කේවට්ට බමුණාගේ හිස මත අසූචි දමනවා. ඒ කුමක්ද කියා උඩ බැලූ විට මුඛයට කෙලින්ම වැටෙන ලෙස නැවත අසූවි දමා වේගයෙන් පියඹා ගොස් මියුළු නුවර මහෞෂධ පඩිතුමාගේ මාලිගයට පැමිණෙනවා.
පසුව ගිරා පණ්ඩිතයා මහෞෂධ පඩිතුමාගේ උරහිස මතට පැමිණෙනවා. එයින් කියැවෙන්නේ එදින මහෞෂධ පඬිතුමාට පමණක් පැවසිය යුතු රහසක් ඇති බවයි. මහෞෂධ පඬිතුමා හා අමරා දේවිය යන දෙපලටම පැවසීය යුතුනම් මහෞෂධ පඩිතුමාගේ උකුළට පැමිණීමට ද අනෙක් සියල්ලන්ටම ද කිව යුතු නම් බිමට පැමිණීමටද ගිරා පණ්ඩිතයා පුරුදුව සිටියහ. ගිරා පණ්ඩිතයා උරහිසට පැමිණි නිසා අනෙක් සියල්ලන්ම පිටව යන අතර පසුව තමන් අසා පැමිණි සතර කන් මන්ත්‍රණය සැකවින් මහෞෂධ පඩිතුමාහට පැවසුවේය.
කලගුණ මනා ලෙස දක්වමින් ගිරා පණ්ඩිතයාට සාත්තු සප්පායම් කල මහෞෂධ පඬිතුමා කේවට්ටයන්ගේ මෙම උපාය සාර්ථක වීමට ඉඩ නොතබන බව සිතා ගත්තේය.
චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ට ආචාරී කී පරිදි අශ්ව හස්ති ආදී තම සේනා රැගෙන ගොස් එක් කුඩා රාජ්‍යයක් වට කර ගත්තේය. කේවට්ට ආචාරීන් පෙර කී පරිදි රහස් දොරකින් රාජ්‍යය තුළට ගොස් එහි රජු හා කතිකා කොට රවටා ගෙන එම රාජ්‍යයේ ද සහය සමග තවත් කුඩා රාජ්‍යයක් වට කර ගත්තාය. මේ අයුරින් චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ට ආචාරීන්ගේ උපදෙස් පරිදි අවුරුදු හතයි මාස හතයි දින හතක් ගත වූ විට වේදේහ රජුගේ රාජ්‍ය හැර දඹදිව අනෙක් සියලුම රාජ්‍ය තමන් යටතට ගත්තේය.
අවසානයේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මියුලු නුවර වේදේහ රජුගේ රාජ්‍ය යටත් කර ගනිමු යැයි කේවට්ට ආචාරීන්ට පැවසූහ. එම රාජ්‍ය ලබා ගැනීම පහසු නොවන බවත් වේදේහ රජුට උපදෙස් දෙන මහෞෂධ පඬිතුමාගේ නුවන පිළිබඳවත් ආචාරීන් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පැවසීය. පසුව මියුලු නුවර ඉතා කුඩා ප්‍රදේශයක් බවත් එයින් අපට ඵලක් නොමැති බවත් පවසා රජ්ජුරුවන්වද රවටා ගෙන අනෙකුත් රජවරුන් සමග ජය සැමරීමට කේවට්ට ආචාරීන් රජ්ජුරුවන්ව එකග කර ගැනීමට සමත් විය.
මඟුල් උයන සරසා විෂ යෙදු රා ද පිළියෙල කර ජය පැන් පානයට කේවට්ට ආචාරීන් හා බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සැරසෙන බව මහෞෂධ පඬිතුමා හට රහස් ඔත්තු කරුවන්ගෙන් දැනගන්නට ලැබිණ. තමන් වැනි පඬිවරයකු සිටියදී එසේ රජදරුවන්ට මිය යෑමට ඉඩ දිය නොහැකි බව සිතා තමාගේ මිත්‍ර යෝධයන් සේනාව බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මඟුල් උයනට පිටත් කර හැරියේ ය. යෝධයෝද මහෞෂධ පඬිතුමා පැවසූ පරිදි වේදේහ රජුට ආසනයක් ඉල්ලමින් රණ්ඩු කර විෂ යෙදූ රා මුට්ටි පෙරලා විනාශ කර තමන් මියුලු නුවර මහෞෂධ පඬිතුමාගේ යෝධයින් බව පවසා මියුලු නුවරට පලා ගියාය.
මියුලු නුවර වැටලීම
රජදරුවන් මැරීම සදහා පිළියෙල කල රා බදුන් ආදිය විනාශ කල නිසා චූලනී බ්‍රහ්මදත්ත රජ මහෞෂධ පඬිතුමා සමග උරන වූ අතර තමන්ට ජය සැමරීමට ඉඩ නොදුන් නිසා අනෙකුත් රජවරුන්ද මහෞෂධ පඬිතුමා සමග උරණ විය. මේ හේතුන් නිසා මියුලු නුවර අල්ලාගෙන වේදේහ රජුගේ හිසගසා දමා ජය පැන් පානය කරමු යැයි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අනෙකුත් රජවරුන්ට පැවසීය. මේ බව දැනගත් නැණවත් කේවට්ට ආචාරීන් රජ්ජුරුවන්ට පවසන්නේ මහෞෂධ පඬිතුමා මියුලු නුවර ආරක්‍ෂා කිරීමට උපදෙස් දෙන බවත් එම නිසා අපට එම රාජ්‍ය අත්කර ගත නොහැකි සේම ඒ සදහා ගියහොත් ලැජ්ජා වී පැමිණීමට සිදුවන බවත්ය. එහෙත් බල ලෝබී වූ බ්‍රහ්මදත්ත රජතුමා ආචාරීන්ගේ කීම නොසලකා මියුලු නුවර වැටලීම සදහා පිටත් විනි. තේරුම් කර දීමට නොහැකි වූවද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට විරුද්ධ විය නොහැකි නිසා කේවට්ට ආචාරීන් ද ඔවුන් සමගින් මියුලු නුවර වෙත පිටත් විය.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ හා අනෙකුත් රජවරුන්ගේ ඇත්, අස්, පාබල ආදී සියලුම සේනාවන් මියුලු නුවර වටකරගෙන ප්‍රීති ඝෝෂා නගමින් සිටියි.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ විසින් තම රාජ්‍ය වටකර ඇති බව දැනගත් වේදේහ රජු සියලු දෙනාටම මියයාමට සිදුවේ යැයි බියට පත්ව සේනක ආදී පඬිවරුන් සමග සාකච්ඡා පවත්වයි.
බියට පත්ව සිටින වේදේහ රජුන් අස්වැස්වීමට මහෞෂධ පඬිතුමා රජුන් හමුවට ගිය අතර වේදේහ රජු බියෙන්ම බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යුධ සේනා පිළිබඳව වර්ණනා කිරිමට විය. තවද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පඬිවරුන් දස දෙනෙකු පිළිබඳව වර්ණනා කරන අතර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ මව එනම් තලතා දේවියට පඬිවරුන්ටත් වඩා නුවණක් ඇති බව වර්ණනා කරමින් පවසාලයි.
තවද තලතා දේවියගේ නුවණ කොතරම්ද කියනවනම්,
දිනක් එක මිනිසෙක් සහල් නැලියක්, බත් මුලක් සහ මසුරන් දහසක් රැගෙන ගගකින් එතෙර වීමට උත්සාහ කල අතර රල පහර වැඩි නිසා තනිව ගගින් එතෙර වීමට නොහැකි වීය. එතෙර මිනිසුන් සිටිනු දුටු ඔහු එම මිනිසුන්ට අමතා මෙසේ කීවේය. මා අතේ සහල් නැලියක්, බත් මුලක් සහ මසුරන් දහසක් තිබේ. මාව ගගෙන් එගොඩ කරන කෙනෙකුට මේවායින් මම කැමති දෙයක් දෙමි. එය ඇසුනු එක මිනිසෙකු ගග තරනය කොට ඇවිත් ඔහුව ගගෙන් එතෙර කරවූ පසු මොහු කියනුයේ සහල් නැලිය හෝ බත් මුල ගන්නා ලෙසටය. නමුත් ගගින් එතෙර කරවූ තරුණයා පවසන්නේ ඔහුට බත් මුලින් හෝ සහල් නැලියෙන් ඵලක් නැති බවත් මසුරන් දහස දෙන ලෙසටත් ය. කෙසේ හෝ මෙම ගැටලුව නිරාකරණය කිරීමට සමතෙකු නොසිටි නිසා අධිකරණය හමුවට ගිය අතර එයින් ද සෑහීමට පත් නොවූ තැන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් වෙත ගැටලුව යොමු විය. ඔහුගේ ද පිළිතුර වුයේ අනෙකුත් අය කී ලෙසම එතෙර වීමට ආ මිනිසා ඔහු කැමති දෙයක් දෙන බව කීවේ නම් ඔහු කැමැත්තෙන් දෙන සහල් නැලිය හෝ බත් මුල ලබාගත යුතු බවය.
ජීවිතය පරදුවට තබා ගගින් එතෙර කරවීමට ඉදිරිපත් වූ තරුණයාට අසාධාරණයක් වනු දුටු තලතා දේවිය බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට මෙය සාධාරණය නොවන බව පවසන අතර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගැටලුව විසඳීමට තලතා දේවියට භාර කලේය.
තලතා දේවිය ගගින් එතෙර වීමට පැමිණී මිනිසා කැදවා ඔහුගේ සහල් නැලිය, බත් මුල හා රන් මසු බිමින් තබන්නැයි පවසා මින් කැමති දෙයක් රැගෙන පිටව යන්නැයි කීවාය. මිනිසා රන්මසු දහස රැගෙන මගක් අන විට දේවිය ඔහුට ආපසු කතා කොට ඔබ මේ තරුණයාට ඔබ කැමති දෙයක් දීමට පොරොන්දු වූවා නේද, එසේ නම් ඔබ කැමැත්තෙන් රැගෙන යෑමට හැදූ රන්මසු දහස තරුණයාට දෙන්නයි කීවාය. මෙම සිද්ධියෙන් පසු තලතා දේවියගේ නුවණ පිළිබඳව මුළු දඹදිව පුරා පැතිර ගියේය.
මෙවැනි වූ නුවණැත්තන්ගේ උපදෙස් අනුව ඇත්, අස්, පාබල සේනා අප වටකොට සිටින විට ඔබ වැනි පණ්ඩිතයෙකුට මිස අපගේ ජීවිත බේරාගත නොහැකි බව පවසන වේදේහ රජුන් මහෞෂධ පඬිතුමාගේ උපදෙස් පතයි.
ඔබතුමා බිය සැක අතහැර රජ සැප විදින්න මා ඔවුන් පලවාහරින්නේ යැයි මහෞෂධ පඬිතුමා රජු අස්වසාලූ ය.
එසේම කිසිවකු ඔබලාව වට කර ඇති බව නොසිතා කා බී විනෝද වන ලෙසත්, ප්‍රීති ඝෝෂා පවත්වන ලෙසත් අඬබෙර කරුවන් ලවා රට වැසියන්ට දැන්වූහ.
යුද්ධෝපාය යෙදීම
සතුරන් වටකොට සිටියදී මියුලු නුවර වැසියන් ප්‍රීති ඝෝෂා පවත්වන බව ඇසුනු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ලග සිටි අයගෙන් මේ කෙබදු ආශ්චර්යයක් දැයි විමසුවේය. දඹදිව සියලු රජවරුන් හා ඔවුන්ගේ සේනා පිරිවරා අප නුවර සිටියදී ප්‍රීති උත්සව පැවැත්වීමේ ආශාවක්
වේදේහ රජුට කුඩා කල සිට තිබූ බව, දැන් එය ඉටු වීමෙන් දින හතක් ප්‍රීති උත්සව පැවැත්වීමට නියෝග කල බවත් රට වැසියෙක් පැවසූ බව අසල සිටි චර පුරුෂයෙකු බ්‍රහ්මදත්ත රජුට පැවසුවේය. ඒ අසා තවත් කේන්තියට පත් වූ රජු මියුලු නුවරට කඩා වැදී මිනිසුන් මරා රජුවද මැරීමට නියෝග කළේය.
බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයින්ට මියුලු නුවරට ඇතුල වීමටවත් නොහැකි වූ අතර මහෞෂධ පඬිතුමාගේ යෝධයින්ගෙන් ප්‍රහාරයන්ට ලක්ව ආපසු බ්‍රහ්මදත්ත රජුවෙත ගොස් මේ නුවර කිසිවෙකුට ලබාගත නොහැකි බව පැවසීය.
සියලු උපායන් අසාර්ථක වූ තැන, දැන් කුමක් කලයුතු දැයි බ්‍රහ්මදත්ත රජු කේවට්ට ආචාරීන්ගෙන් විමසුවේ ය.
කේවට්ට ආචාරීන්ගේ උපදේශය වූයේ මියුලු නුවරට ජලය පිටතින් සපයන බවත් එම සැපයුම් නවතාලීමෙන් නුවර අල්ලාගත හැකි බවත්ය. බ්‍රහ්මදත්ත රජු එම උපදෙස් පරිදි ජල සැපයුම නැවැත්වූ අතර එම පුවත චර පුරුෂයෙකු ඊ තලයක ඇමුණූ පනිවිඩයක් මගින් මහෞෂධ පඬිතුමාට දැන්වීය.
මහා නුවණැති මහෞෂධයන් රියන් හැටක් දිග උණ දණ්ඩක් ගෙන්වා එය දෙකට පලා ඇතුළත ගැට ඉවත් කර නැවත එකට අලවා හිමාලයෙන් ගෙන්වූ මැටි හා ඇඹුල නම් බීජ පොකුණ අසල සිටුවා සකස් කල උණ දණ්ඩ ද එම මැටි වල සිටුවා වතුර පිරවීය.
අප මහා බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් එක් රැයකින් ම ඇඹුල බීජ පැලවී උණ දණ්ඩ මුදුනින් රියනක් පමණ විශාල ඇඹුල මලක් පිපුණේය. එම මල දණ්ඩ මුලින්ම ගලවාගත් මහෞෂධ පඩිතුමා එය ගෙනගොස් බ්‍රහ්මදත්ත රජුගේ පුරුෂයෙකුට දෙන්නැයි කියා චරපුරුෂයකු අත යැවී ය. බ්‍රහ්මදත්ත රජු අසල වූ මහෞෂධ පඬිතුමාගේම චරපුරුෂයෙකු එම ඇඹුල මල හා ඇඹුල දණ්ඩ ගෙනැවිත් බ්‍රහ්මදත්ත රජුට පෙන්වා මෙතරම් විශාල ඇඹුල මලක් හා දණ්ඩක් දැක තිබේ දැයි රජුගෙන් විමසීය. එය දැක පුදුමයට පත් රජු එය කොතැනක සැදුනේ දැයි විමසීය. මහෞෂධ පඩිතුමාගේම චරපුරුෂයෙකුම තමා රා බීමට රහස් දොරින් මියුලු නුවරට ගිය බවත් එහිදි නුවර වැසියන් ජල ක්‍රීඩා කරන ඔරු පාරු පදින විශාල පොකුණක් දුටු බවත් මෙය එම පොකුණෙහි ගොඩට අසල පිපි මලක් බවත් ගැඹුරු තැනක පිපුණේ නම් දණ්ඩ රියන් සියයක් පමණ වන බවත් පැවැසීය.
එය එසේ නම් ජලය නැවැත්වීමෙන් මියුලු නුවර අල්ලාගත නොහැකි බවත් එම උපායෙන් ඵලක් නැති බවත් බ්‍රහ්මදත්ත රජු කේවට්ට ආචාරීන්ට පැවසූහ.
නැවත උපායක් යොදන කේවට්ට ආචාරීන් පවසන්නේ මියුලු නුවරට සහල් නම් පිටතින්ම රැගෙන එන බැවින් සහල් රැගෙන ඒම නැවැත්වීමෙන් නුවර දොරවල් විවර වන බවත් එවිට නුවර තුලට කඩා වැදී යටත් කර ගත හැකි බවත්ය. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද ඒ උපදෙස් පරිදි සහල් සැපයුම නැවැත්වීමට කටයුතු කලේය. මේ බවද පෙර පරිදිම චරපුරුෂයෙකු මගින් මහෞෂධ පඬිතුමාට දැනගන්නට ලැබිණ. පසුව මහෞෂධ පඬිතුමා මියුලු නුවර ඇති මහා පර්වතයක් මත වී ඉස්සවා ලූ අතර එක රැයකින්ම එහි පැල වැඩී නීල පැහැයට ඈතින් දිස්වන්නට විය. එය දැක පුදුමයට පත්ව බ්‍රහ්මදත්ත රජු අසල සිටින්නන්ගෙන් ඒ පිළිබඳව විමසීය. පෙර පරිදිම චරපුරුෂයෙකු තමන් රහස් දොරින් නුවර තුළට ගිය බවත්, කල් තියා නුවණින් දැක මහෞෂධ පඬිතුමා වී රැස් කොට අටු කොටු පුරවා ඉතිරි වී වපුරා ඇති බවත් ඒවායින් ආ පැල නිල් පාටින් දිස්වන බවත් පැවසීය.
ඒ අසා බ්‍රහ්මදත්ත රජ ආචාරීන්ට පවසන්නේ වී නවතා ද එම නුවර ගත නොහැකි බවත් ඔබගේ එම උපායෙනුත් ඵලක් නොවන බවත් ය.
ආචාරීන්ගේ මීලඟ උපාය වූයේ මියුලු නුවර වනයක් නොමැති නිසා දර සැපයුම නවතා නුවර වැසියෝ දර නොමැතිව දර සෙවීම පිණිස දොරටු විවර කල පසු නුවර තුලට කඩා වැදීමයි. මේ ගැනද පෙර පරිදිම චරපුරුෂයෙකු මගින් දැන ගත් මහෞෂධයෝ තම යෝධයින් ලවා දර කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ යෝධයින් දෙසට විසි කලේය. එම දර කොට දැක මේ තරම් දර නුවර තුලට කොහෙන්දැයි බ්‍රහ්මදත්ත රජ විමසූ කල පෙර පරිදිම චරපුරුෂයෙකු පවසන්නේ මහෞෂධ පඬිතුමාන් කල්තියා නුවණින් දැක ඇතුලු නුවර සෑම නිවසකම දර රැස් කර ඇති බවත් ඉතිරිය පවුරින් පිටත ගොඩ ගසා ඇති බවත්ය.
ආචාරීන්ගේ එම උපායද අසාර්ථක වූ නිසා නැවතත් උපායක් පැවසීමට තැත් කල විට බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එය කීමට පෙරම වළක්වා පවසනුයේ මෙතෙක් ඔබගේ උපායවල් කොතෙක් අසාර්ථක වූවා ද, වේදේහ රජුගේ රාජ්‍ය අපට අත්කර ගත නොහැකිය, ආපසු අපගේ නුවරට යා යුතු බවය.
ධර්ම යුද්ධය
උත්සාහය අත් නොහල කේවට්ට ආචාරීන් නැවත පවසනුයේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් එක් සියයක් රජවරුන්ද චතුරාංගනී සේනාද සමග ඇවිත් වේදේහ රාජ්‍ය අත්කර ගැනීමට නොහැකිව පලාගියායි විශාල නින්දාවක් සිදුවන බවය. තවද නුවණ ඇත්තේ මහෞෂධ පඬිතුමාට පමණක් නොවන බවත් තමාද නුවණැති බවත් පවසා එක උපායකින් මහෞෂධ පඬිතුමා පරාජය කරන බව පැවසීය. ඒ කෙසේ දැයි රජතුමා විමසූ කල ධර්ම යුද්ධය නම් දෙයක් කරන බව පැවසුවේය.
ධර්ම යුද්ධය යනු කුමක්දැයි විමසූ කල දෙපාර්ශ්වයේ සේනාවන් සටන් නොකර රජවරුන් දෙපළගේ අග්‍ර පුරෝහිත වරු දෙපල එක තැනකට ඇවිත් වාද කරන අතර එක් පුරෝහිතයෙකු අනෙත් පුරෝහිතයන්ට වැන්ද විට වැන්ද පාර්ශවයේ රජ පරාජය වන අතර වැදුම් ලැබූ පාර්ශවයේ රජ ජයග්‍රහණය කරන අතර මෙය ධර්ම යුද්ධය නම් වන බව කේවට්ට ආචාරීන් පැවසීය. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද එම උපාය අගය කර හෙට දින ධර්ම යුද්ධය පැවැත්වෙන බවත් එයට නොපැමිණිය හොත් පරාජය භාර ගත් බව සලකන බවත් සදහන් කර හසුනක් වේදේහ රජු වෙත යැවීය.
වේදේහ රජු බෝධිසත්වයන් වූ මහෞෂධ පඬිතුමා කැදවා එම පුවත කියූ පසු බස්නාහිර වාසල දොරටුවෙන් පිටත ධර්ම යුද්ධ මණ්ඩපයක් සකස් කලේය.
Continue..
Update in soon..