Skip to main content

Follow on YouTube

සිංහල විචාර 10 - බැද්දේගම නවකතාව සාහිත්‍යය විචාරය

අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා" යි නැන්චොහාමි  කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍ය වූ අයුරු උදාහරණ දෙමින්  විමසන්න.


සිංහල ජනජීවිතය පිළිබඳව හා එහි වූ දුෂ්කරතා පිළිබඳව අපේ  සිංහල ගැමියෙකුටත් වඩා හොඳ අවබෝධයක් ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් කතුවරයා හට තිබූ බව ඔහු විසින් රචනා කරන ලද "Village in the jungle" නවකතාව සිංහලට පරිවර්තනය කරමින් ප්‍රවීණ ගත් කතුවරයකු වූ ඒ.පී ගුණරත්න මහතා විසින් රචිත බැද්දේගම නවකතාව කියවන ඔබට මට හැගෙයි.

නවකතාවට පාදක වෙන බැද්දේගම නම් ගම  නැන්චොහාමි නම් ආරච්චිගේ බිරිද " අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා" යි කී අනාවැකිය ප්‍රකාරව, ගමේ ගැමියන්ට පැමිණෙන නොයෙක් කරදර කම්කටොළු හමුවේ පිරිහී විනාශ මුඛයට පැමිණෙන ආකාරය එනම් නැන්චොහාමිගේ අනාවැකිය ක්‍රමයෙන් සත්‍ය වූ ආකාරය උදාහරණ ඇසුරින් විමසා බලමු.

"... පළමු පැවති ස්වභාවික තත්වයට ගම පැමිණි බව බැලූ බැල්මට පෙනිණ."

සිලිඳු මරණීය දණ්ඩනයට නියම කර මසකට පසුව ගමේ ස්වභාවය විස්තර කරන කතුවරයා "බැලූ බැල්මට පෙනිණ."
යන්නෙන් ව්‍යංගයෙන් පවසන්නේ ඇත්තටම එසේ නොවන බවයි. මේ අනුව මේ වන විටත් බැද්දේගම යම්තාක් දුරකට පිරිහී ඇති බව පාඨකයාට ව්‍යංගයෙන් මෙන් කතුවරයා පවසයි.

" ක්‍රමයෙන් පිරිහී ගොස් අවටින් තෙරපා ගෙන එන මහා බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි"
කතුවරයා මෙසේ බැද්දේගම හැදින්වීමෙන්ම නැන්චොහාමිගේ අනාවැකිය සත්‍ය වෙමින් බැද්දේගම පිරිහී ගිය බව ප්‍රකාශ වෙයි.

" මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පදුරු ඝනව වැඩී වැට යට කර ගත්තේය. දෙවනුව අළු පැහැති හා හා දම්පාට මල් ඇති වරා පදුරු හා මාන පදුරු ද..
.. ගෙයි බිත්ති වලට හා දොරකඩටත් ලං වීය"

මෙසේ ක්‍රමයෙන් පරිහානියට පත්වූ බව පවසන්නේ අන් කෙනෙකුගේ නිවසක් නොව ආරච්චිලාගේ නිවසයි. ආරච්චි නම් ගමේ ප්‍රධානියයි. ආරච්චිගේ නිවසේ ස්වරූපයෙන් විදහා දැක්වෙන්නේ ගමේ ස්වරූපයයි. ආරච්චිගේ වියෝවෙන් පසු ආරච්චිගේ බිරිද තම දරුවන් සමග ගම් බිම් අතහැර වෙනත් ගමකට යෑමෙන් පසුව මෙසේ ආරච්චිගේ නිවස පරිහානියට පත් වූයේ කෙසේද එසේම බැද්දේගම ද නැන්චොහාමිගේ අනාවැකිය සත්‍ය කරමින් පරිහානියට පත්වූ බව චිත්‍රණය කරයි.

" ගම විනාශ මුඛ යෙහි ය යන හැඟීම ගමටත් ගම්මුන්ට දැනුණේ ඉතා හෙමිනි"

මෙසේ ප්‍රකාශ කිරීමෙන් ගමේ පරිහානිය එකවර සිදුවූවක් නොවන බවත් එය ගැමියන්ටත් නොදැනිම සෙමෙන් සිදු වූ බවත් ප්‍රකාශ වෙයි. නැන්චොහාමිගේ අනාවැකිය වූයේ ද එයයි. ඇය පැවසූයේ " අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා" යි යන්නයි. මෙහිදී ඇය අලින්ට යනවා යන්නෙන් ගම විනාශ වී ගැමියන් ගම හැර ගොස්, ගම වනයටම අයිති වන බව ද අවුරුදු දහයකින් යන්නෙන් එය නොතේරෙන ලෙස සෙමින් සිදුවන බවත් හඟවයි. මෙසේ බලන කල නැන්චොහාමිගේ අනාවැකිය ‍ ක්‍රමයෙන් සත්‍ය වූ බව ප්‍රකාශ කිරීම ද සත්‍යම වන්නේය.

-Admin-






Beddegama navakathava sahithya vicharaya
Avrudu dahayakin mulu gamama alinta yanawai nanchohami ki anavekiya sthya u ayuru udaharana demin vimasanna.