Skip to main content

සිංහල විචාර 16 - සතර කන් මන්ත්‍රණය විචාර ප්‍රශ්ණ අංක 02

හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම සතර කන් මන්ත්‍රණය පාඩම ඇසුරෙන් විමසන්න.

දීර්ඝතම ජාතක කතාව වන උම්මග්ග ජාතකයේ අන්තර්ගත සුවිශේෂ කතාවක් ලෙස සතර කන් මන්ත්‍රණය හැදින්විය හැකි අතර එහි අවසානය ධර්ම යුද්ධයෙන් කෙලවර වෙයි. පන්සිය පනස් ජාතක පොත පාලි ජාතකට්ඨකථාව මූලාශ්‍ර කොට ගෙන නිර්මාණය කරන ලද විශිෂ්ට සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකි අතර ජාතක කතා පොත සිංහලට නැඟුණු පසුවත් එහි ඇතැම් කතා වෙන වෙනම ලියැවුණු අතර එසේ ලියවුනු කතා අතර උම්මග්ග ජාතකයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ. 

අප මහා බෝසතාණන් වහන්සේගේ බුද්ධිය නුවණ පිළිබිඹු කරන උම්මග්ග ජාතකය වඩා රසවත් කතාවක් කිරීම සඳහා හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති ආකාරය උම්මග්ග ජාතකයේ සතර කන් මන්ත්‍රණය කොටසේ නිදසුන් සමග විමසා බලමු. 

චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ ප්‍රධාන අනුශාසක තනතුර දැරූ කේවට්ට ආචාරීතුමා නුවණැති පණ්ඩිතයෙකු වූවද රචකයා නිරතුරුවම හාස්‍ය රසය මැවීම සදහා ඔහුගේ චරිතය යොදාගෙන ඇති අතර උපහාසයෙන් යුතුව ඔහුගේ අනුවණ අනුචිත ක්‍රියා කතාව තුළ ඉස්මතු කරයි.

"සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඩක් හෙළා, "කිමෙක් දැ" යි කට දල්වාගෙන උඩ බැලූ තැනත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඩක් හෙළා, .."

කේවට්ට බමුණා තමාගේ උපාය බ්‍රහ්මදත්ත රජුට පවසා එනම් කේවට්ට බමුණාම නම් කරන පරිදි "සතර කන් මන්ත්‍රණය" සිදු කර අවසන් වූ පසු මහෞෂධ පඬිතුමාගේ ගිරා පණ්ඩිතයෝ මෙසේ කේවට්ට ආචාරීන්ගේ හිසෙහි වර්චස් හෙලමින් පාඨක ශ්‍රාවක මුවට සිනහවක් ගෙනෙන අතර නැවත ඒ කුමක්ද කියා උඩ බැලූ විට මුඛයටද වර්චස් හෙලන බව පැවසීමෙන් එම අවස්ථාවේ හාස්‍ය රසය තව තවත් තීව්‍ර කරයි. හාස්‍ය මැවීම සදහා උපහාසයෙන් යුතුව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කල අපූරුව නම් බමුණා උඩ බලන්නේ නිකම්ම නොව "කට දල්වාගෙන" බව සදහන් කරයි. 

"කේවට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ"

"මේ නිවට වූ කේවට්ටයා මා නුවණැති නියාව නොදන්නා වනැ"

මියුලු නුවර වටලා යුද්ධෝපාය යෙදීමේදී කේවට්ට බමුණාගේ උපායන් දැනගන්නා මහෞෂධ පන්ඬිතයෝ සිතනා ආකාරය තුළින් ද කේවට්ට බමුණාගේ චරිතය හාස්‍යට හා උපහාසයට ලක් කර ඇති බව පිළිබිඹු වෙයි. මෙහිදී "කේවට්ට මහල්ලා" සහ "ජඩයෝ" යන වචන සේම "කේවට්ටයා" ලෙස හැදින්වීමෙන්ද කේවට්ට බමුණාගේ චරිතය පහත් කොට හාස්‍ය හා උපහාස රසය මවාලයි.

" තාගේ එයිත් උපායෙක් නොවෙයි"

"මේ සා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දැ"

කේවට්ට බමුණාගේ යුද්ධෝපාය අසාර්ථක වූ පසු ‍බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම තමාගේ අනුශාසක පණ්ඩිතයා වන කේවට්ට බමුණාට මෙසේ පවසමින් ඔහුගෙන් ඇති වැඩක් නොමැති බව හගවමින් ඔහුගේ චරිතය හාස්‍යයට ලක් කරයි.

"නැවත අඥාන වූ මහලු බමුණු කියන්නේ.."

මෙහිදී රචකයාගේ වචන වලින්ම කේවට්ට බමුණාගේ චරිතය හාස්‍යයට හා උපහාසයට නගා තිබෙයි. මෙම වචන වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රකාශන නොවීමෙන් පාඨක ශ්‍රාවක සිත්තුල වඩා විශ්වාසයක් ඇති වන අතර කේවට්ට බමුණාගේ චරිතය ප්‍රබල ලෙස උපහාසයට ලක් වීම මෙහිදී සිදුවෙයි.

"මමත් මහා නුවණැත්තෙමි"

"මම ඉතා වැඩි මහල්ලෙමි...මා දුටු කල සැක නැතිව වැ දනාහ"

ධර්ම යුද්ධය උපාය පවසන කේවට්ට බමුණා තමා නුවණැති බව තමාම පවසාගනී. නුවණැති බව තමන් කිව යුතු නොවෙයි එය ඔහුගේ ක්‍රියාවෙන් කතාවෙන් පිළිබිඹු විය යුත්තකි. තමාම පවසා ගැනීම තුල හාස්‍ය රසයක් ජනිත වේ. එලෙස නැවත තමා මහලු බවත් මහලු නිසා වැදුම් බලාපොරොත්තු වීම තුලද හාස්‍ය හා උපහාස රසය මතු කර තිබෙයි.

"පෙර මඟ කර ඔසව-ඔසවා බලාගෙන සිටීමෙන් කොක් කරක් සේ දික් වූ කර ඇති වූහ"

චිත්තරූප මවමින් කේවට්ට බමුණාගේ ස්වරූපය පවා හාස්‍ය ඉපදවීමට යොදාගෙන ඇති මෙවැනි අවස්ථා කතුවරයා හාස්‍ය හා උපහාසය මැවීමටම කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති ආකාරය විදහාපායි.

"ඔබගේ තේජසින් සිටි පල සිටින්නට අපොහොසත් වැ පෙර ගමන් කොට"

" එසේ වී නම් දෙව"

තෑගි බෝග බලාපොරොත්තු වන කේවට්ට බමුණා තුල ඇති ලෝබී ගති ගුණ, හාස්‍යයට හා උපහාසයට ලක් කිරීමට ප්‍රබලව යොදාගෙන ඇති අයුරු මෙහිදී පෙන්නුම් කරයි. දෙවරක් නොසිතාම මැණිකට ලෝබයෙන් එය ඉල්ලා ගන්නට හදන්නේ උදුරාගන්නා ආකාරයකිනි. පසුව මැණික බිම වැටුණ අවස්ථාවේ තමා ආ කාරනය පවා අමතකව ලෝබී සිතින් මැණික ගැනීම ගැන පමණක් සිතා එය ඇහිලීමට යෑමෙන් ධර්ම යුද්ධය පවා පරාජය වීමට සිදුවිය.

"නැගී සිටුව! ආචාරිනී නැගී සිටුව!, මම බාලයෙමි. තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි"

කේවට්ට බමුණාගේ ලෝබී කම නිසාම මුහුණ පෑ මේ අකරතැබ්බය මගින් ද පැහැදිලි වන්නේ කතුවරයා හාස්‍ය හා උපහාස රසය ජනිත කිරීමට කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති බවය.

"ඉතා අලජ්ජි වූ දුෂ්ට වූ කේවට්ටයා"

" කටින් ලේ දම-දමා නළලේ ලේ පිස-පස දිවන්නේය"

"කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ට අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.




ධර්ම යුද්ධය පරාජය වීම සමග කතාව තුළ ඒ දක්වා කේවට්ට බමුණාගේ චරිතයට ගොඩ නගා තිබූ ඒ උපහාසාත්මක බව උපරිමයට පැමිණ පිපිරීයාමක් මෙන් සෙසු චරිත ඔහු වෙත කතුවරයාගේ වචනයෙන්ම " ආක්‍රෝශ පරිභව බෙණෙමින්" පාඨක ශ්‍රාවකයින් සිනා සාගරයක නහවාලයි. මේ සෑම කරුණකින්ම පෙන්නුම් වන ලෙස උම්මග්ග ජාතකය තුල හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කෙවට්ට බමුනාගේ චරිතය නිර්මාණය කර ඇති බව පැහැදිලිය.

-Admin-


මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය විචාරය


මහෞෂධ පණ්ඩිතයාගේත් කේවට්ට බමුණාගේත් චරිත තුල ඇති සම විෂමතා විචාරය 


සතර කන් මන්ත්‍රණය කතාව පහසුවෙන් තේරුම් ගැනීම පිණිස සරලව



Key words 

සතර කන් මන්ත්‍රණය විචාර pdf

කේවට්ට බමුණාගේ චරිතය

කේවට්ට බමුණාගේ චරිතය විචාර 

හාස්‍යයෙන් හා උපහාසයෙන් යුත් කේවට්ට බමුණා

සතර කන් මන්ත්‍රණය විචාර ලිවීම 




Comments