වෙසක් පොහොය
වෙසක් පොහොය යනු බෞද්ධ ප්රජාවට ඉතාමත් වැදගත් ආගමික දිනයකි. මෙම දිනය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තෙමගුල වන උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කිරීම සඳහා සමරනු ලබයි. වෙසක් උත්සවය ආගමික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද ඉතා වැදගත් වේ.
වෙසක් දිනය සාමාන්යයෙන් වෙසක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනයට යෙදෙයි. ලෝකයේ බොහෝ බෞද්ධ රටවල විශේෂයෙන් ශ්රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල මෙම දිනය විශාල ආගමික උත්සවයක් ලෙස සමරනු ලබයි.
සිදුහත් කුමරුන්ගේ උපත ලුම්බිනි සල් උයනේ ද, බුද්ධත්වය ජය ශ්රී මහා බෝධි වෘක්ෂය පාමුල ද, පරිනිර්වාණය කුසිනාරාවේදී උපවත්තන නම් සල් උයනේදී ද සිදු වූ බව පැරණි මූලාශ්ර වල සදහන් වේ. මෙම තෙමගුල සිහි කිරීම වෙසක් උත්සවයේ ප්රධාන අරමුණයි.
එම සිදුවීම් තුනම මිනිසාට ජීවිතයේ සත්ය, අනිත්ය බව, සහ නිවැරදි ජීවන මාර්ගය ගැන මඟ පෙන්වයි. ඒ නිසා වෙසක් දිනය බෞද්ධයන්ගේ අධ්යාත්මයට ආලෝකයක් ගෙන දෙන විශේෂ උත්සවයක් ලෙස හැඳින්වෙන්නේ එබැවිනි.
බුද්ධ දර්ශනය යනු එක් වරම ගිහියෙකුට අවබෝධ කරගත නොහැකි සංකීර්ණ සහ දුක්ඛදායක නමුත් ලෝකය සහ ජීවිතය පිළිබද සත්යයයි. සියලු භෞතික හා ලෞකික සැප සම්පත් වල අනිත්ය කියා පාන සත්යයේ පිළිබිඹුවයි.
ශ්රී ලංකාව තුළ වෙසක් උත්සවය විශේෂ ආකාරයකින් සමරනු ලබයි. ශ්රී ලංකාවේ වෙසෙන බහුතරය බෞද්ධයන් වීමද ඊට ප්රධාන හේතුවක් වන අතර වෙසක් උත්සවය රාජ්ය නිවාඩු දිනයක් ලෙස ද ප්රකාශ කර ඇත. මෙම කාලය තුළ රට පුරා ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් පැවැත්වේ.
වෙසක් මාසය පුරාවටම, වෙසක් කූඩු සහ වර්ණවත් ලාම්පු, වෙසක් තොරණ, අලෝක සැරසිලි, පන්සල් වල දාන- සීල වැඩසටහන්, දන්සල්, බෞද්ධ භක්ති ගීත සහ භාවනා වැඩසටහන් ඇතුලුව වැඩසටහන් රාශියක් පැවැත්වේ.
මෙම ක්රියාකාරකම් මගින් ජනතාවට කරුණාව, දානශීලීත්වය සහ සමාජ එකමුතුව වර්ධනය කිරීමට අවස්ථාව ලැබේ.
වෙසක් උත්සවය ආගමික උත්සවයක් පමණක් නොව සමාජය එකට එක් කරන උත්සවයකි. මෙය මිනිසුන් අතර සහයෝගීතාවය, ආදරය සහ සාමය ද වර්ධනය කරයි.
වෙසක් කාලයේදී බොහෝ දෙනා, විශේෂයෙන් බෞද්ධයන් නිත්ය පන්චශීලයට එහාගිය අටසිල්, දසසිල් ආදී සීලයන් රකින්නටත් පුණ්ය කර්ම වල නිරත වීමටත් කටයුතු කරයි.
මෙවැනි ක්රියා මගින් සමාජය තුළ සදාචාරාත්මක වටිනාකම් ද වර්ධනය වේ.
වෙසක් දිනය ජාත්යන්තර වශයෙන්ද පිළිගත් උත්සවයකි. එක්සත් ජාතීන් විසින්ද වෙසක් දිනය ජාත්යන්තරව වැදගත් ආගමික දිනයක් ලෙස පිළිගෙන ඇත. ලෝකයේ බොහෝ රටවල බෞද්ධ ජනතාව මෙම දිනය සමරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමට උත්සාහ කරති.
- ආලෝකා සයුරංගි -
Comments