Skip to main content

අපේ කුඹුරේ ගොයම් කැපූ දා

අපේ කුඹුරේ ගොයම් කැපූ දා

එදා අපේ ගෙදර බොහෝ කලබලකාරී තැනක් විය. අම්මා, අප්පච්චී එක්ක අපි හැමෝම උදෙන්ම කුඹුරට ගියේ මද්දහන වන්නට පෙර හැකි තරමක් ගොයම් කැපීමට ය. ආච්චි අම්මා ගෙදර නැවතුනේ වැඩ කරන අයට කෑම ලෑස්ති කරන්නටයි. 

ගිය සුමානයේ හේරත් මාමලගෙ කුඹුරේ ගොයම් කපන්න අපි ගියා වගේම හේරත් මාමලත් අපේ කුඹුරේ ගොයම් කැපිල්ලට ඇවිත් හිටියේ පවුලේ හැමෝම එක්කයි. 'අත්තම' කියන්නේ ඒ විදියට ශ්‍රමය හුවමාරු කර ගන්න එක බව අම්මා මට කියලා දුන්නේ බොහොම ඉස්සරයි.

ගොයම් කැපිල්ල ආරම්භ විය. අම්මත්, සෝමා නැන්දත්, යශෝ අක්කත් ඇතුළු ගැහැණු උදවිය තාලෙට ගොයම් කවි කියමින් ගොයම් කැපුවා. ඒ කවි අහගෙන ඉන්න ආසයි. වෙල් යාය පුරාවටම ඒ ලස්සන ගොයම් කවිවල රාවය පැතිරුණා. වැඩිහිටි අය ගොයම් කපන අතරේ මමත් මල්ලිත් වක්කඩෙන් වැටෙන වතුර එක්ක සෙල්ලම් කළේ අම්මගෙ, අප්පච්චිගේ ඇස් අපෙන් ඉවතට ගියාමයි.

ඉර ටිකින් ටික මුදුන් විය. බැලූ බැල්මට ගොයම් කපන උදවියට දැන් නම් මහන්සි පාටයි. ' ආ අම්මා ඇඹුලත් අරන් ඇවිත් ' අම්මා කිව්වේ කෑමත් අරගෙන කුඹුරට එන ආච්චි අම්මව දැකලයි.

"ඇයි අම්මේ කෑම වලට එහෙම කියන්නේ? " ඒ වචනය අහලා තිබුණත් තේරුමක් හරි හැටි නොදැන හිටි නිසාම මම ඇහුවා. 

" පුතේ අපි පන්සල් ගියාම වතුර වලට පැන් කියනවා, අතුගානවට අමදිනවා කියනවා වගේ කුඹුරටත් ආවේණික වුණ භාෂාවක් තියෙනවා. ඒකට කියන්නේ 'කමත් භාෂාව ' කියලයි. ඒ භාෂාවෙන් කුඹුරෙදී කෑම වලට අපි කියන්නේ 'ඇඹුල' කියලා. " අම්මා පැහැදිලි කළා.

හැමෝම එදා දවසට කුඹුරේ ගොයම් කැපිල්ල ඉවර කරලා දොළ පාරෙන් අතපය හෝදගෙන දොඹ ගහ යට හෙවණට ආවේ ආච්චි අම්මා ගෙනා ඇඹුල ගන්නයි. තවමත් උණුවෙන් තිබුණ ඉඹුල් කිරිබත් මාත් මල්ලිත් ආසාවෙන් කෑවා.

දවසම දොළ පාරෙයි වක්කඩෙයි සෙල්ලම් කරපු අපිට ඒ දවස ගොඩාක් ලස්සන දවසක් වුණා. අපේ කුඹුර ගොඩක් ඈතට පැතිරුණ කුඹුරු යායක් නිසා තවත් දවස් දෙකකට වැඩ ඉතුරු කරලා අපි ගෙවල් වලට ගියේ හෙට දවසෙත් ගොයම් කැපිල්ලට එන්න ඉමහත් ආසාවෙනි.

- ආලෝකා සයුරංගි -

Comments