තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, කෝට්ටේ යුගයේ විසූ පඬිවරයෙක්, කවියෙක්, යකැදුරෙක් මෙන්ම භාෂා ගණනාවක ප්‍රගුණතාව ද හෙබවූ හිමි නමකි. උන් වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පතිව වාසය කර ඇති අතර භාෂා ගණනක් ප්‍රගුණ කර ඇති නිසාවෙන් සහ දැනුම් සම්භාරයකින් යුක්ත වූ නිසාවෙන් ෂඩ්භාෂා පරමේශ්වර, ත්‍රිපිටකාචාර්‍ය ලෙස හදුන්වා දී ඇත.
මුන් වහන්සේ ක්‍රි.ව. 1408 වසරේ දී වික්‍රමබාහු නම් කුමරෙකුට දාව සීලවතී නම් කුල කුමරියකගේ කුසින් මෙලොව එළිය දුටුවේ දෙමටාන නම් ග්‍රාමයේ දීය. කුඩා කළම සිදුවූ තම පියාගේ අභාවයෙන් පසුව මව වූ සීලවතී කුමරියව, සිරි පැරකුම් රජු විසින් තම බිසෝ තනතුරේ තබා ගත් අතර 'දෙමටාන කුමරු' නමින් හැදින්වූ මේ බිළිදාව ද තම පුත් ලෙසම හදාවඩා ගත්තේ ය.
වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ දෙමටාන කුමරුන් කුඩා කළම පැවිදි දිවියට පා තැබූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන නමිනි. එමෙන්ම උන් වහන්සේ කුඩා කළ පටන්ම තමන් වහන්සේගේ නුවණේ මහිමය පෙන්වීමට ද සමත්කම් දැක් වූයේ ය. කෙසේ නමුත් රාහුල හිමියන් තම රජ පවුල සමග තිබූ සබදතා අත් නොහළ අතර පසු කළෙක සිරි පැරකුම් රජු විසින් තම උපදේශක තනතුර ද රාහුල හිමියන්ට පිරි නමා රජ වාසල අසලින්ම ආරාමයක්ද ඉදි කර දුණි.
කෝට්ටේ යුගයේ ලියවුණු සන්දේශ කාව්‍යයන්හි ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභාව මනාව දිස් වෙයි. උන් වහන්සේගේ හැකියාව දුටු අනෙක් කවියන්ද එය අගය කළ අයුරු ගිරා සහ කොවුල් සන්දේශ වලදි ප්‍රකට වෙයි. විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පති තනතුරට පත් වීමෙන් අනතුරුව උන් වහන්සේ තම හසල භාෂා දැනුමද, කවීත්වය ද, පණ්ඩිතබාවය ද ආශ්‍රය කොටගෙන හෙළ සසුනේ ඉතිහාසය පෝෂණය කළහ.
පැපිලියානේ මංගල තෙරුන්ගෙන් පසුව සංඝරාජ පදවිය ද ලැබූ මුන් වහන්සේගෙන් ගුරු හරුකම් ලබන්නට දෙස් විදෙස් උගතුන් බොහෝ දෙනා උත්සාහ කළහ. එමෙන්ම ඉන්දීය සාහිත්‍ය ලෝකයේ මුලසුන් හෙබවූ කාලිදාස, තාගෝර්, වසුබන්ධු ආදී මහා කවියන්ගේ කෘතීන් පිළිබද නිබන්ධනයන් ලිවීමට ද රාහුල හිමියන් සමත් වුණි.
හෙළ සංදේශ කාව්‍යයන්ගේ ස්වර්ණමය යුගය ලෙස, කෝට්ටේ යුගය නම් වීමට තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් දැකිය හැක. උන් වහන්සේ පරෙවි සංදේශය, කාව්‍යශේඛරය, සැළලිහිණි සංදේශය, පන්චිකාප්‍රදීපය මෙන්ම බුද්ධිප්පසාදිනී යන මහා වටිනාකමකින් යුත් ග්‍රන්ථ ගණනාවක් රචනා කොට හෙළ සාහිත්‍ය නිතැතින් පෝෂණය කළහ.
ඊට අමතරව සීමා සංඛර චේදනී, තොටගමු නිමිත්ත හා චතුරාර්‍ය සත්‍ය කාව්‍ය, පැරකුම්බා සිරිත යන ග්‍රන්ථ ද රාහුල හිමියන් විසින් රචිත බව සදහන් වන නමුත් එය නිශ්චිත නොවේ.
හය වැනි සිරි පැරකුම් රජුගේ මරණයත් සමග එතුමාගේ දියණිය වූ උලකුඩය දේවියගේ පුත්, දෙවන ජයබාහු කුමරුන් රාජ්‍යත්වයට පත් විය. පසුව ඒ කෙරෙහි කුපිත වූ, කුඩාකළ පටන් සිරි පැරකුම් රජු ඇති දැඩි කළ වෙනත් කුමාරයෙකු වූ සපුමල් කුමරු දෙවන ජයබාහු කුමරුන් සමග සටනට එළබ ඔහුව මරා හය වන බුවෙනෙකබාහු නමින් රජ කමට පත් විය.
මේ හේතුවෙන් රජ පවුල හා නිතැතින් බැදී සිටි ශ්‍රී රාහුල හිමියන් එළිපිටම සපුමල් කුමරුට විරෝධතා පෑහ. එයින් සපුමල් කුමරු රාහුල හිමියන් හා උරණ විය. තමාව සපුමල් කුමරුන්ට මුණ ගැසුනහොත් මරණය නියත බව දැන සිටි ශ්‍රී රාහුල හිමියන් එම හේතුව නිසාවෙන් තම දිවියෙහි අවසන් කාලය ඇල්පිටිය පිටුවල පාරේ අම්බන ප්‍රදේශයේ කැලෑවක පිහිටි ඉදුරුලෙන ගල් ගුහාවෙහි ගත කළේ මියගිය ගිහියෙකුට සිවුරු අන්දවා, දායක පිරිස ලවා රාහුල හිමියන් අපවත් වූ අසත්‍ය පුවත සපුමල් කුමරුන් වෙත ලැබීමට සැලැස්වීමෙන් අනතුරුවය.
තම පැවිදි දිවියෙහි අවසන් භාගය එම ගුහාවෙහිම ගතකල රාහුල හිමියන් වයස අවුරුදු අසූව පමණ වන විට අපවත් වූ අතර පසු කළෙක පෘතුගීසීන් මෙරට ආක්‍රමණය කිරීමේදි ලෙනෙහි සුරැකිව පැවති මෘත දේහයක් දුටු පූජකවරයෙකු විසින් උන් වහන්සේගේ දේහය පෘතුගාලයේ ගෝව නම් ප්‍රදේශයට රැගෙන ගිය බව ද සදහන් වේ.
- ආලෝකා සයුරංගි -
Comments